ප්‍රේමය නම් අපේම කතාවයි | දිනමිණ

ප්‍රේමය නම් අපේම කතාවයි

කල්පන ආරියවංශ වින්දන ආරියවංශ

l සත්‍ය කතාවක් සිනමාවට නැඟීම හරහා මේ වනවිට ලැබෙන ප්‍රතිචාරය සුබයි ද?

මේ වනවිට චිත්‍රපටය සම්බන්ධයෙන් ඉතා ම සුබ හා ධනාත්මක ප්‍රේමණීය ප්‍රතිචාරයි අපට ලැබෙන්නේ. චිත්‍රපටය නරඹා අවසානයේ ඒ ප්‍රතිචාර සිනමා ශාලාවේ කළමනාකරුට දන්වන්නට තරම් සිනමා ප්‍රේක්ෂකයන් දිරිමත් වෙලා. ඒ මෙවැනි සිනමාත්මක අත්දැකීමක් ඔවුන්ට ලබාදීම සම්බන්ධයෙන්. ඒ වගේ ම පෞද්ගලිකව එවන කෙටි පණිවුඩවලින් පෙනෙන්නේත් ඔවුන්ගේ ජීවිතය වෙනස් කරන අත්දැකීමක් ලැබුවා කියලයි. ඒ ගැන අපට තිබෙන්නේ සතුටක්. අපට අවශ්‍ය වුණෙත් සිනමා ප්‍රේක්ෂකයන්ගේ ජීවිතය වෙනස් කරන සිනමා අත්දැකීමක් ලබා දෙන්නයි.

l චිත්‍රපටයක් කිරීමට මඟ පෑදෙන්නේ?

ඒ කාරණය පමණක් නොවෙයි. කුඩා කාලයේ පටන් ම චිත්‍රපටයක් කිරීමේ කැමැත්ත අප දෙදෙනාගේ සිතේ පැළපදියම් වී තිබුණු අදහසක්. අප දෙදෙනා ම කුඩා කාලයේ පටන් චිත්‍රපට රසිකයන්. මා මුල්වරට චිත්‍රපටයක් නරඹන්නේ මේ චිත්‍රපටය තිරගත වන රීගල් සිනමා ශාලාවේදියි. ඒ 1981 වසරේදී ‘ජන්ගල් බුක්’ චිත්‍රපටයයි. පාසලෙන් එක්ක ගෙන ගිහින් නැරැඹූ මේ චිත්‍රපටය මට මතකයි අයියාත් නරඹනවා. ඒ නිසා සිනමාවත් සමඟ ම බැඳුණු රසිකත්වයක් අපට තිබෙනවා. අප මුලින් ම කරන්නේ චිත්‍රපට නැරැඹීමයි. ඒ ඔස්සේ චිත්‍රපටයක් කිරීමට අපේ සිතේ යම් ආසාවක් ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියටයි ‘ප්‍රේමය නම්’ චිත්‍රපටය සිනමා ප්‍රේක්ෂකයන් අතරට පිවිසෙන්නේ.

l කලක් ඔබ දෙපළ ජීවත්ව ඉන්නේ ඇමෙරිකාවේ නේද?

උසස් පෙළ අධ්‍යාපනය අවසාන වනවාත් සමඟයි අප දෙදෙනාට ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට පිවිසීමට වරම් ලැබෙන්නේ. එහිදි අයියා දෘශ්‍ය සන්නිවේදනය ඉගෙන ගත්තට මම ඉගෙන ගන්නේ පරිගණක ඉංජිනේරු විද්‍යාවයි. ඒ විෂයයන් ඉගෙන ගත්තත් අපට සිනමාවේ විවිධ අවකාශ රැසක් ම විවිර වුණා. ඒ ලෝකයේ අප කැමැති චිත්‍රපටයක් නරැඹීමට හා සිනමා පොතපත පරිශීලනය කිරීමටයි. මේ හරහා කුඩා කාලයේ අපේ සිතේ තිබුණු අසාව මුදුන්පත් කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් වුණා. එහි ප්‍රතිඵලයක් විදියට චිත්‍රපටයක් නිර්මාණය කිරීමට අප තීරණය කළා. එහෙත් එය කළ යුත්තේ ශ්‍රී ලංකාවට ගිහින් එහි කතාවක් ආශ්‍රයෙන් බවයි අප සිතුවේ. එහි ප්‍රතිඵලයක් අනුවයි ‘ප්‍රේමය නම්’ නිර්මාණය වන්නේ.

l ‘ප්‍රේමය නම්’ චිත්‍රපටයට පාදක වන්නේ සත්‍ය කතාවක්?

ඔව්. මගේ ජීවන අත්දැකීම් ඇසුරෙන් ගොඩනැඟුණු කතාවකුයි සිනමා නිර්මාණයක් බවට පරිවර්තනය වුණේ. පෞද්ගලිකව මගේ මව්පියන්ට, සහෝදර සහෝදරියන්ට ඉතාමත් ළඟ කතාවක්. අප සියලු දෙනා ම විඳි අත්දැකීමක්. මේ කාරණය චිත්‍රපටයකට නඟන්න කියන යෝජනාව ගෙනාවේ තාත්තා. චිත්‍රපටයක් කිරීම සඳහා විවිධ කතා වර්ධනය කරමින් සිටින කාලයකදියි තාත්තා මෙවැනි යෝජනාවක් අපට ගෙනෙන්නේ. මෙවැනි කතාවක් චිත්‍රපටයට නැඟීම ඇතුළේ සිනමා ප්‍රේක්ෂකයන් අපූර්වත්වයක් දකීවිය යන්න වගේ ම වින්දනීය අත්දැකීමක් ලබාවිය යන්නත් ඔහු අපට පැවසුවා. ඒ වගේ ම අතුරු ප්‍රතිඵලයක් විදියට යහපත් දෙයක් සමාජ ගත වේවි, ඔවුන්ගේ ජීවිතවලට යහපත් බලපෑමක් කරාවිය යන්නත් ඔහුගේ අදහස්වල තිබුණු කාරණා කිහිපයක්. ඒ අනුව ‘ප්‍රේමය නම්’ චිත්‍රපටය අප දෙදෙනා අතින් නිර්මාණය වුණා.

l පවුලක යම් කෙනෙකුට තිබෙන රෝග තත්ත්වයක් සම්බන්ධයෙන් අපේ රටක තිබෙන සමාජයේ පොදුවේ හෙළි කරන්නේ නොමැති තරම්. එහෙත් ඔබ ඇතුළු පවුලේ සියල්ලන් ම වෙනස් අදහසක් දැරීමට හේතුවූ විශේෂ කාරණය කුමක් ද?

තාත්තා ගේය පද ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්. ඔහු නිතර ම අපේ කලා කුසලතා ඔප් නංවන පරිසරයකුයි නිවෙසේ ගොඩනඟලා තිබුණේ. ඔහු අපේ ජීවිතයට කිසිම බලපෑමක් කළේ නැහැ. මේ අවස්ථාවෙත් ඔහු අපට කළේ යෝජනාවක්. ඔහු කවදත් පෙනී සිටියේ කලාව ඇතුළේ යහපත වෙනුවෙන්. තිරිසනුන් නොවී මිනිසුන් වීමේ පින ඒ කියන්නේ අපට මොළයක් ලැබීම, නිර්මාණශීලිත්වයක් ලැබීම ඇතුළේ අප කළ යුත්තේ කුමක් ද? අප කළ යුත්තේ තවත් මිනිසුන්ගේ ජීවිත ආලෝකවත් කිරීමයි. ඔවුන්ගේ ජීවිත ඉහළට ඔසවා තැබීම බවයි ඔහු විශ්වාස කළේ. ඔහු කලා නිර්මාණවල යෙදුණේත් ඒ වෙනුවෙන්. එවැනි කෙනෙකු වූ තාත්තා පළමුවරටයි නිර්මාණයක් සම්බන්ධයෙන් අපට මෙලෙස යෝජනාවක් කරන්නේ. අපත් ඒ කාරණය නිවැරැදි ලෙස තේරුම් ගත්තා.

l රෝගයක් චිත්‍රපටයකට රැගෙන පැමිණීම පහසු කාරණයක් නොවයි. එකක් එය සිනමාත්මක විය යුතුයි. අනෙක් කාරණය නම් එහි කතාවක් තිබිය යුතුයි. මේ කාරණා ජය ගත්තේ කොහොම ද?

විවිධ ප්‍රකාශන මාධ්‍ය මඟින් කතා කිරීමේ කලාවේදී එක් එක් ප්‍රභේදවලින් මහජනාවට වඩාත් සමීප වූයේ බලපෑම් කළේ සිනමාවයි. ඊට හේතුව නම් සිනමාවේ තිබුණු අනන්‍යතාව, ගුණාත්මක අගය නිසයි කතා කිරීමේ කලාවේදී සිනමාව ප්‍රමුඛත්වයක් ගන්නේ. සිනමාවේ අනන්‍යතාවක් තිබෙනවා. එනම් අප කතාවක් කිව යුතුයි. එහිදි සත්‍ය කතාවක් නොවෙයි, සමාජයට වැදගත් මොන දෙයක වුණත් කතාවක් හරහා ගලාගෙන යන මිනිසාට දැනෙන සංකීර්ණ හෝ සරලව ඉදිරිපත් කිරීමත් ඒ හරහා වින්දනීය අත්දැකීමක් ලබාදීමයි අපට කළ යුත්තේ. එය අපට අභියෝගයක් වුණා. මේ චිත්‍රපටය සඳහා අප යොදා ගන්නේ සත්‍ය සිදුවීමක්. අව්‍යාජව, අවංකව මේ සත්‍ය සිදුවීම ඉදිරිපත් කරන්නයි අපට උවමනා වුණේ. එහිදි නිර්මාණයක තිබිය යුතු සිනමාත්මක ගුණ රැකගෙන, ඒ ඇතුළේ ඉඳිමින්, ඒ අනන්‍යතාව හරහා නිර්මාණයක් ඉදිරිපත් කරන්නයි අප උත්සාහ ගත්තේ. අප සිනමාත්මක නිර්මාණය ප්‍රකාශයක් විදියට රැගෙන එන්නේ මහජනතාවටයි. එහිදි සංකීර්ණ ප්‍රස්තුතයක් ප්‍රධාන ප්‍රවාහයට අනුගත කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය පැන නැඟුණා. ඒ සඳහා අප දෙදෙනාගේ ම තිබුණු දැනුම, අවබෝධය සිනමාව වෙනුවෙන් භාවිත කරමින් මේ නිර්මාණය කළා. අද සිනමා ප්‍රේක්ෂකයන් දක්වන ප්‍රතිචාර ගැන සලකද්දි අපට හැඟෙන්නේ ඒ අපට එල්ල වූ අභියෝගය සාර්ථකව ජය ගෙන ඇති බවයි.

l ඒ අභියෝගය ජය ගැනීමට ඔබ දෙදෙනාට විශේෂයෙන් ම බලපෑම් කළේ මෙතෙක් සිනමාව පිළිබඳ කළ හැදෑරීම ද?

හැදෑරීම වගේ ම විවිධ නිර්මාණ නැරැඹීමයි. මතක ඇති කාලයේ පටන් ම අපට තිබුණේ චිත්‍රපට දෙවර්ගයයි. ඒ නරඹන්න පුළුවන් හා නරඹන්න නොහැකි චිත්‍රපට වශයෙන්. මේ වනවිට මා චිත්‍රපට හයදාහකට වඩා නරඹා තිබෙනවා. අයියා පන්දාහකට වඩා පමණ ප්‍රමාණයක් නරඹා තිබෙනවා. ලාංකේය සිනමාව, ඉන්දියාවේ ගොඩනැඟුණු සිනමාවේ සියලු ම වර්ගයේ චිත්‍රපට, ජපානය, චීනය, තායිවානය, කොරියාව එතැනින් පටන් අරගෙන යුරෝපය හරහා ඇමෙරිකාව දක්වාත්, ලෝක සිතියමේ කැනඩාවෙන් පටන් ගත්තට පස්සේ නවසීලන්තය දක්වාමත් නිර්මාණය කරන නිර්මාණකරුවන්ගේ චිත්‍රපට අද දක්වා ම අප නරඹලා තිබෙනවා. ඒකත් එක්ක රසිකයන් පිළිබඳ කළ අධ්‍යයනයකින් පසුව, අපට තිබෙන සහජ ඉවත් සමඟයි අප මේ නිර්මාණය සඳහා පිවිසෙන්නේ. ඒ පසුබිමයි අපට චිත්‍රපටකරණයේ නියැළෙන්නට මඟ පාදන්නේ.

l ‘ප්‍රේමය නම්’ චිත්‍රපටයේ ප්‍රස්තුතයේ හැංඟිලා තිබෙන රෝගය පිළිබඳ සිනමාත්මකව ඉදිරිපත් කිරීම ඔබ රැගෙන එන්නේ ප්‍රේමය හරහායි?

මෙහිදී අප කතා කරන්නේ මානව ප්‍රේමයයි. ඒ සඳහා අප කේන්ද්‍ර ගත කරගෙන තිබෙන්නේ අඹු - සැමි යුවළක්. බිරියකගේ සහ සැමියකුගේ ප්‍රේමය කේන්ද්‍ර කරගනිමින් මේ චිත්‍රපටය පුරාවට දිවෙන්නේ විශ්වීය මානව සංවේදනාවක් වන ප්‍රේමයයි. එය ප්‍රතිවාදියන්ගේ දරුවන්ට, යහළුවන් අතර, වෛද්‍යවරයකුගෙන් රෝගියාට ඒ ආදි වශයෙන් මේ සෑම ප්‍රේමයක් ම මුල්කර ගෙනයි චිත්‍රපටයේදී සැමියා බිරිය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රේමය ගලාගෙන යන්නේ. මමත්, අයියාත් විශ්වාස කරනවා වගේ ම අත්දැකීමෙන් ම දන්නා දෙයක් වන්නේ අප මිනිසුන් වීමේ වාසනාව තිබෙන්නේ එකිනෙකාට අප කරන ප්‍රේමය හරහා බවයි. අපේ ජීවිතයේ බොහෝ දේවල් ජය ගැනීමට ලැබෙන්නේත් එකිනෙකාට අප කරන ප්‍රේමය හරහායි. එය අත්දැකීමෙන් දුටු නිසයි අපට මේ සත්‍ය කතාව හරහා, ධනාත්මකව, සුබවාදී මිනිසුන්ගේ ජීවිතයට යම් යහපතක් සිදු කරන කතා පුවතක් හරහා අපේ මේ හුදු නිර්මාණය රැගෙන එන්නට හැකියාව ලැබුණේ.

l දෙදෙනෙකු එක්ව සිනමාපටයක් කිරීමේදී විවිධ වූ ඒ ඒ තීන්දු තීරණ ගලප්පවා ගත්තේ කෙසේ ද?

වාසනාවට වගේ පුංචි කාලයේ පටන් අප දෙදෙනාගේ රුචිකත්වය, රසඥතාව එක්වයි නිර්මාණය වී තිබුණේ. ඒ කාලයේ පටන් ම අප දෙදෙනා ප්‍රිය කළේ එකම චිත්‍රපටවලටයි. එක ම දර්ශනවලටයි. චිත්‍රපටයක් සම්බන්ධව, දර්ශනයක් සම්බන්ධයෙන් අපේ අතර මතභේදයක් ඇති වන්නේත් කලාතුරකින්. එහෙම අවස්ථාවල දෙන්නාත් සමඟ වාද විවාද කරමින්, එක් අයකුට නොපෙනුණ පැත්ත අනෙක් කෙනාට පෙන්වමින් මධ්‍යස්ථ තැනකට අදහස ගෙනෙමින් ඒ නිර්මාණය අගය කිරීමට දෙදෙනා ම සමත් වෙනවා. අපේ ආකල්ප, කුසලතා එක සමාන නිසා වගේ ම මේ සියලු කාරණාත් සමඟ විමසා බලද්දි අපට නිර්මාණකරණයේ යෙදීම පහසු වුණා. එහිදි පැන නැඟුණ ගැටලු වුණත් කුඩා කාලයේ ඒ ඒ දේවල් විසඳා ගන්න ආකාරයට ම විසඳා ගනිමින්, දෙදෙනාගේ ම අභිලාෂය වී තිබුණු චිත්‍රපට නිර්මාණය කිරීමට අපි මුල්තැන ලබා දුන්නා.

l දෙනොගේ ම එකඟතාව අනුව චිත්‍රපටයේ සියලු ම කටයුතු සිදු වන බව ද ඔය පවසන්නේ?

දෙදෙනෙකුගේ එකතුවෙන් නිර්මාණයක් කිරීම පහසුයි. අයියාත්, මමත් නිතරම නිර්මාණයක් කිරීමේදී බැලුවේ ප්‍රේක්ෂකාගාරයේ ඉඳ ගෙනයි. ඒ අප චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ සිනමා ප්‍රේක්ෂකයාට නිසායි. එතැන ඉඳගෙනයි අප සිනමා තිරරචනය නිර්මාණය කරන්නේත්, දර්ශන වර්ධනය කරන්නේත්. සෑම දෙබසක් ම නිර්මාණය වුණේත් දෙදෙනාගේ ම එකඟතාවෙන්. දර්ශන තලයේදීත් අප දෙදෙනා ම සම අධ්‍යක්ෂවරුන්. එහිදි දර්ශන වාර කිහිපයක් ගත්තත් අප දෙදෙනා ම එකඟතාවට ඇවිල්ලයි ඊළඟ දර්ශනයට පිවිසෙන්නේ. එවැනි වෙලාවට මට නොපෙනෙන පැත්තක් අයියාට පෙනෙන්නත්, අයියාට නොපෙනෙන පැත්තක් මට පෙනෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ හරහා අපට ගෙනාවේ ලොකු වාසියක්.

l ‘ප්‍රේමය නම් චිත්‍රපටයේ එක් ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට වේදිකාවේ දක්ෂතා දක්වන ශ්‍යාම්ව තෝරා ගැනෙන්නේ ඇයි?

මේ නිර්මාණය කිරීමට සියල්ල කතාබහ කළත් කාලයක් යනතුරු මෙහි එන චරිතය නිරූපණය කිරීමට නළුවකු සිටියේ නැහැ. දක්ෂ නළුවන් රැසක් සිටියත් ඔවුන්ට තිබෙන්නේ ජනප්‍රිය ප්‍රතිරූපයි. ඒ හරහා ප්‍රේක්ෂකයන්ට විශ්වාසනීයත්වයක් ඇති කිරීමට ඔවුන්ට හැකියාවක් නොතිබෙන බවයි අප විශ්වාස කළේ. ඒ කියන්නේ ජනප්‍රිය නළුවකු මේ චරිතය කරද්දි ඔහුට මේ අසනීපය තිබෙන වගක් ප්‍රේක්ෂකයන් විශ්වාස කරන්නේ නැහැ. මේ සඳහා ඕනෑ තරම් උදාහරණ ලෝක සිනමාවේ තිබෙනවා. ඒ චරිතය හරහා ගොඩනැඟුණු පෞරුෂයෙන් අද වනවිටත් ඔවුන්ට මිදෙන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඒ ප්‍රේක්ෂකයන් ඔහු ව දකින්නේ පෙර චරිතයෙන් ම වීම නිසයි එසේ සිදුවන්නේ. මේ නිසා ප්‍රේක්ෂකයන්ගේ විශ්වාසය රැක ගැනීම අපට තිබුණු අභියෝගයයි. ඒ සඳහා අපට අවශ්‍ය වූයේ ජනප්‍රිය ප්‍රතිරූපයක් නොමැති දක්ෂ නළුවකුයි. එවැනි අවස්ථාවකයි ශ්‍යාම් ප්‍රනාන්දු මුණ ගැසෙන්නේ.

l සමාධිගේ චරිතය සඳහා සමනලීව තෝරා ගැනෙනවා?

නළුවාගේ ප්‍රශ්නය විසඳුණත් මෙහි අනෙක් ප්‍රධාන චරිතය වන සමාධි සඳහා නිළියක් හමු වී තිබුණේත් නැහැ. කිහිපදෙනෙකු ඒ චරිතයට බැලුවත් ඒ කිසිවකුත් හරි ගියේ නැහැ. රූ ගත කිරීම්වලට සති දෙකක් තිබියදියි සමනලී අපට හමුවන්නේ. ඈ ගෙනැත් කළ පළමු ස්ක්‍රීන් ටෙස්ට් එකේදිමයි අපට හැඟුණේ අපට උවමනා සමාධි ඉන්නේ සමනලී ළඟ බව. ඒ චරිත ප්‍රතිනිර්මාණය කිරීමට දෙදෙනාගෙන් ම අපට ලැබුණේ උපරිම සහයෝගයක්.

l ග්‍රස්ති නියුරෝසියාව රෝගය ගැන කතාබහ කළොත්?

අවුරුදු 16ත් 25ත් අතර වයස් සීමාවේ අයටයි සාමාන්‍යයෙන් මානසික රෝග ඇතිවීමට වැඩි ඉඩකඩක් තිබෙන්නේ. වැදගත්ම කාරණය වන්නේ ලෝක ජනග්‍රහණයෙන් සියයට විසිපහක් කුමන හෝ මානසික රෝගයක ගොදුරක් වී සිටින බව තහවුරු වී තිබීමයි. ඒ අතරින් ග්‍රස්ති නියුරෝසියාව කියන්නේ අද ලෝකයේ දක්නට ලැබෙන සුලබ මානසික රෝගයක්. මේ රෝගයට කොතරම් මිනිසුන් ගොදුරු වුණත් ප්‍රතිකාර ගන්නේ සියයට දහයක් වගේ ප්‍රමාණයක්. මමත් ඒ අත්දැකීම වින්ඳා. මා සමීප අයත් ඒ අත්දැකීම වින්ඳා. ඒ සියල්ලන්ගේ ම තිබුණු ආදරයයි මට ඉන් මිඳිලා ජීවත්වීමට අවස්ථාව උදා කරන්නේ. අද වනවිට එය චිත්‍රපටයකට රැගෙන පැමිණීමත් සමඟ මගේ අත්දැකීම් බෙදාගෙන ඒ හරහා ජනතාවට සුබවාදී, ධනාත්මක දෙයක් ලබාදීමට මට හැකියාව ලැබී තිබෙනවා. ඒ ගැන මට තිබෙන්නේ සතුටක්.

තිලානි ශානිකා විතානාච්චි

නව අදහස දක්වන්න