ඇයයි දුක් පීඩා විඳින්නී... | දිනමිණ

ඇයයි දුක් පීඩා විඳින්නී...

‘මෙලොව නිර්මාණය වී තිබෙන්නේ හිරුගේ රශ්මියෙන් හා මවකගේ රුධිරයට හැරවූ කිරිවලින්’ යැයි වරෙක මැක්සිම් ගෝර්කි පවසා ඇත. එම සනාතනික දහම ලොව පවතිනතාක් කල් නොනැසී පවතිනු ඇත. මෙලොව අපට ජීවය දෙන්නේ අම්මාය. ඒ අම්මා යන වදනින් ඔබ්බට ගිය කල දියණිය, සොයුරිය, මිතුරිය, බිරිඳ, මිත්තණිය බවට පත් වන්නේ ද කිසියම් දිනෙක මවක් වන කාන්තාවම වේ. මේ අනුව කාන්තාව යනු ඉතා ඉහළින් ඇගයිය යුතු වටිනා අයෙක් බව නොරහසකි.

අතීතයේදී කාන්තාවගේ කාර්යයභාරය නිවසේ දෛනිකව සිදු කළ යුතු කාර්යයන්ට පමණක් සීමා වී තිබුණි. එදිනෙදා ජීවිතයේදී සිදු කළයුතු ප්‍රාථමික අවශ්‍යතා ඉටු කරමින් ජීවත් වූ කාන්තාවට, දරුවන් රැකබලා ගැනීම, ඉවුම් පිහුම් කටයුතුවල නිරත වීම හැරුණු කොට සාමාජීය කාර්යයන්ට දායකවීමට තිබූ ඉඩකඩ සීමා සහිත විය. පුරුෂාධිපත්‍යයට යටත් වූ සමාජයක ජීවත් වූ කාන්තාවට අධ්‍යාපනය ලැබීමට තිබූ ඉඩකඩ ද සීමා විය.

වත්මන් සමාජය දිනෙන් දින සංකීර්ණ වීමත් සමඟම, සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේදී මානව සම්පත් ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව පූර්ණ වශයෙන් යොදා ගැනීම නව ප්‍රවණතාවයක් විය. මේ අනුව මූල් කාලයේදී කුටුම්භය තුළට පමණක් සීමා වූ ස්ත්‍රී චරිතයට වර්තමානයේදී බහුවිධ භූමිකාවන් තුළ කැපී පෙනෙන චරිතයක් නිරූපණය කිරීමට හැකියාව ලැබී ඇත. සාමාජීය, දේශපාලනික, ආර්ථික වශයෙන් ඉහළ මංතලවලට ගමන් කිරීමට වත්මන් කාන්තාවට හැකි වී තිබේ.

පුරුෂයාට සමානව රටේ සංවර්ධනයට උරදෙන කාන්තාවට සැබෑවට අද සමාජය තුළ ලැබී ඇති තැන කුමක්ද? පෙර අපර දිග භේදයකින් තොරව කාන්තාවන් හා ගැහැනු ළමයිනට එරෙහිව ලොව පුරා හිංසනය ක්‍රියාත්මක වෙමින් පවතී. පළිගැනීම්වලට ලක්වීම, අතුරුදහන් වීම, දූෂණයට ලක්වීම, ළමා මව්වරු බිහිවීම, ගෘහස්ථ හිංසනයට ගොදුරු වීම ආදිය කාන්තාවන් මුහුණ දෙන විවිධ ගැටලු අතරින් කිහිපයක් පමණි.

නූතන සමාජයේ ලොව පුරා කාන්තාවන්ට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රබල වැරදි අතර ස්ත්‍රී දූෂණය ඉතා ඉහළින් කැපී පෙනේ. ජාත්‍යන්තර ක්ෂමා ආයතනය වරෙක හෙළි කළේ වසරකට ලොව පුරා කාන්තාවන් 700000ක් පමණ දුෂණයට බඳුන් වන බවයි. මෙයට වැඩියෙන්ම ගොදුරු වන්නේ අවුරුදු 18ට අඩු බාල වයස්කාර දැරියෝය. ඒ අනුව ළමා ලිංගික අප‍යෝජනය, බාල වයස්කාර දූෂණය හා ළමා මව්වරුන්ගේ වර්ධනය ඉතා ඉහළ මට්ටමකින් අද ක්‍රියාත්මක වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාමත් ශෝචනීය වන්නේ ලංකාවේ වාර්තා වන ස්ත්‍රී දූෂණ සංඛ්‍යාවට වඩා, වාර්තා නොවන සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා බැවිනි. ගැහැනු දරුවෝ බිය ලැජ්ජාව නිසා තමා මුහුණ දෙන බියකරු අත්දැකීම් වසන් කිරීමට උත්සාහ ගැනීම මෙයට හේතුවයි. එබැවින් අදාළ වැරදි කරුවන්ට දඬුවම් නොලබා නිදැල්ලේ සිට තවත් එවැනිම අපරාධ කිරීමට අවස්ථාව උදා වේ. නවීන තාක්ෂණය භාවිතය නිසා ද ලිංගික අපයෝජනය ඉතා ඉහළ මට්ටමක සිදු වන බව අපට පෙනී යයි. ගැහැනු ළමයින් බොහෝ දෙනෙක් තම ජංගම දුරකථනය කරා එන නොගන්නා දුරකථන ඇමතුම් සඳහා දක්වන ප්‍රතිචාරවලට අනිසි ප්‍රති විපාක ලෙස ලිංගික අපයෝජනයට බඳුන් වෙති. හුදෙක්ම සමහර විවාහක පිරිමින් තම විකෘති මානසික ව්‍යාධීන් සුවකර ගැනීමට පොලඹවා ගන්නේ අඩු වයසේ දැරියන්ය. විවිධ ක්‍රම හරහා ඔවුන්ව පොලඹවා ගැනීමට විවිධ නාටක රඟපෑමට සමහරුන් බොහෝ දක්ෂ වේ. මෙවන් අවස්ථාවලදී තම හදවතට නොව බුද්ධියට මුල් තැන දීමට එම බාලවයස්කාර දැරියන්ට හැකියාව තිබිය යුතුය.

එමෙන්ම සමාජය තුළ ඇතිවන විවිධ සංසිද්ධින් නිසා වැන්දඹුවන් බවට පත්වන සමහර කාන්තාවන්ට අත්වන ඉරණම ඉතාමත් ශෝචනීය වේ. ස්වාමිපුරුෂයා මියයාම සමඟ කාන්තාව කලින් ජීවත් වූ සමාජ වටපිටාව නව ආකාරයේ හැඩ ගස්වා ගැනීමකට ඇයට සිදුවේ. එම නව සමාජ අනුවර්ථනය තුළ ඇයට දරුවන් සමඟ විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ. වත්මන් සමාජය ඔවුන් සුරැකීම සඳහා නිසි ක්‍රමවේදයක් සැකසීම අවශ්‍යයෙන්ම කළ යුත්තක් බව වගකිව යුතු බොහෝ දෙනා දැනගත යුතු වේ. නොමැතිනම් අවසානයේදී සිදු වන්නේ තනි වූ ගැහැනිය දෙස විවිධ දෘෂ්ටි කෝණයකින් බලන පුද්ගලයින් හේතුවෙන් ‘ඇය නරක ගැහැනියක්’ යැයි සමාජය විසින් හංවඩු ගැසීමක් පමණි. ඒ මන්දත් කාන්තාවන්ට සිදු වනලිංගික ප්‍රචණ්ඩ ක්‍රියාවලදී විවිධ අපරාධකරුවන් තම බලය යොදා කාන්තාව මත පමණක් තම වරද පැටවීමට උත්සාහ දැරීම හේතුවෙනි.

ස්ත්‍රීන් විවිධ ආකාරයේ කායික හා මානසික ලෙස පීඩනයට පත්වේ. පුරුෂයන්ට අනුව සියල්ල තීරණය වන ලොවක පුරුෂ ආධිපත්‍යයට නතු වී දුක් විඳින ස්ත්‍රීන් කොතෙක්නම් සිටී ද? මේ අතර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ප්‍රබල ගැටලුවක් බවට පත්වී තිබේ. පවුලේ සියලු සාමාජිකයින්ගේ සියලු කාර්යයන් ඇයගේ උරමත පැටවී ඇත. පවුලක ප්‍රධාන ස්ථම්භය ඇය වේ. අනේක විධ දුක්ඛ දෝමනස්ස, අභියෝගයන් මැද ජීවිකාව ගෙන යන ඇය විවිධ ක්‍රම හරහා පීඩනයට, මර්දනයට ලක් කරන්නේ නම් එය කොතරම් දුරට සාධාරණ දැයි සමාජය තේරුම් ගත යුතුව ඇත. සමාජයේ සියලු දෙනාම සමාන සාමාජීය සත්ත්වයන් වේ. එය සියල්ලටම පොදු වේ එබැවින් ගෘහය තුළ පමණක් නොව සමාජය තුළ ද කාන්තාවන්ට නිසි තැන ලබාදීම සාමාජීය වගකීමක් වේ. මන්දයත් කාන්තාව අතීතයේදී මෙන්ම වර්තමානයේ දී ද විවිධ අවස්ථාවන්වලදී කෙතරම් ගැරහුම් ලැබුවද, මාතෘත්වය හමුවේ මේ සියලු පුරුෂාර්ථයන් බිඳ වැටෙන බැවිනි. ඒ උතුම් මව් පදවිය ලද හැක්කේ විටෙක ගැරහුම් ලබන, විටෙක දුක් පීඩා උසුලන ගැහැනියකටම පමණක් වන බැවිනි. සෑම කාන්තාවක්ම කිසියම් දිනෙක අම්මා යන උතුම් පදවියට පත් වන බව සියලු දෙනාම දන්නා කරුණකි. තම මවට පීඩා ගෙනදීමට , තම මවට ගැරහුම් කිරීමට හෘද සාක්ෂිය තමාට ඉඩ නොදෙනබව අප කව්රුත් දනිමු. තම මවට ගෞරව කෙරේ නම් ඉදින් වෙනත් කාන්තාවකට කෙසේ නම් අගෞරවයෙන් සැලකිය හැකිද? වත්මන් සමාජයේ ප්‍රවාහන සේවය දිහා බලන විට ඉතාමත් නින්දිත ලෙස කාන්තාව හිංසනයට ලක් වන බව නොරහසකි. රැකියාව අවසන් කර කඩි මුඩියේ බස් රියට, දුම්රියට ගොඩවන කාන්තාවට අත්විඳීමට සිදුවන විවිධ ක්‍රියාවන් කිව නොහැකි තරම් අශෝභන වේ. ‘පිවිතුරු මනසකින් ලොව පහළ වන මිනිසා නොයෙක් අරමුණු ඔස්සේ සිතට ගලා එන ආගන්තුක කිළිටි සිතුවිලි නිසා සිත ද ගත ද කිළිටි කර ගන්නා බව’ බුදුරජාණන් වන්සේ විසින් පැහැදිලි කර දී තිබේ. ඉදින් අමාරුවෙන් ලබාගත් මිනිසත් බව කෙලෙසා ගන්නේ නම් අප තවදුරටත් මිනිසුන් නොවනු ඇත.

එක් දිනකට පමණක් සීමා වී කාන්තාවන් ඇගයීම, ගෞරව කිරීම අර්ථාන්විත දැයි සිතිය යුතු වේ. ගැහැනියකගේ සේවය පිරිමියෙක්ගේ සේවය තරමට අගය නොකරන සමාජයේ සමබර දියුණුවක් ඇත්තේ නැතැයි’ මහත්මා ගාන්ධි වරෙක පවසා ඇත. ඉදින් සෑම කාර්යයකටම උරදෙන කාන්තාව අගය කිරීම එක් දිනකට සීමා කළ හැකිද? එය හාස්‍යයට කරුණක්ම නොවන්නේද? උතුම් මාතෘත්වය ලබන කාන්තාව දෙස මෙයට වඩා සාධාරණව බැලිය යුතු කාලය එළඹ ඇත. එයයි උත්තරීතර මාතෘත්වය ලබන කාන්තාවන්ට කරන ගෞරවනීය උපහාරය වනු ඇත්තේ.

කල්පනා ගිංතොට
කඩවත 

නව අදහස දක්වන්න