ඉතිහාසය පුරාම තිබුණෙ බෙදුම්වාදයට එරෙහි සටනක් | දිනමිණ

ඉතිහාසය පුරාම තිබුණෙ බෙදුම්වාදයට එරෙහි සටනක්

මාධ්‍යවේදිනී ප්‍රියංකා කුරුගල

රටක ජාතික අනන්‍යතාව සුරකිනුවස් ජනතාව පෙළ ගැස්වීම අතිශය වැදගත් කරුණකි. ඉතිහාසයේ අලංකරණයෙන් ප්‍රබෝධිත වර්තමානයක් අනාගතයට තිලිණ කළ හැක්කේ, රටක වෙසෙන සියලු දෙනා එරටට ආදර කරන්නේ නම් පමණි. කුළල් කා රටක් කෑලිවලට කැඩීමෙන් කිසිවකුටත් රටක් ඉතිරි නොවේ. 'කොටි සටනින් ඔබ්බට' නමැති කෘතිය මඟින් කතා කරන්නේ ද මේ පිළිබඳ ය. මේ කෘතිය අද (08) සවස 3.00ට , ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී එළිදැක්වේ. කතුවරිය මාධ්‍යවේදිනී ප්‍රියංකා කුරුගල ය. මේ, ඒ කෘතිය පිළිබඳ කතුවරිය සමඟ කළ කතාබහකි.

මෙවැනි කෘතියක් රචනය කෙරෙහි ඔබේ සිත යොමුවූ ආකාරය පිළිබඳ කතා කළොත්?

මෙහි නිමිත්ත පහළ වන්නේ බොහෝ කලකට ඉහත. අප වසර ගණනාවක යුද්ධයක් පසුකර සන්සුන් වූ ජාතියක්. මේ සන්සුන් බව මධ්‍යයේ බොහෝ සිදුවීම් මතු වෙනවා. යට යනවා. නැවත නැවත ඇතැම් දේ සිදු වෙනවා. සිදු කරනවා. එහෙම වුණහම වැටහෙනවා, ඇත්තටම අපි සන්සුන් වුණේ නෑ නේද කියලා.

මා මේ කියන නොසන්සුන් බව තමයි, ඒ ඒ ජනවර්ග අතර අභ්‍යන්තර සීතල ගැටුම්. ඔබට මතක ඇති හලාල් පිළිබඳ ඇති වූ උණුසුම් කතා බහ සහ ඒ දැඩි වාතාවරණය. උතුරේ ඉඩම් නැවත ලබා දීම පිළිබඳ වාතාවරණය. 13 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒ උදාහරණ කීපයක්. මේවා මේ රටේ ඒකීය භාවයට එරෙහිව පැන නැඟුණු වාතාවරණ හැටියට හඳුනා ගැනීමට තරම් සවිඥානික පිරිසක් අප අවට සිටියා. ඔවුන් හැකි හැම විටෙකම මෙරට මහජනතාව, මෙවන් කරුණු අරබයා දැනුම්වත් කළා.

බොහෝ විට මහජනතාව මේවා වටහා ගත් බව හැබෑවක්. එහෙත්, තවත් දින දෙක තුනකින් ඔවුන් හැසිරෙන්නේ කිසිත් නොදන්නා ළදරුවන් වගෙයි. ඒ අතර මෙවන් අදහස් උදහස් ඉදිරිපත් කිරීම මහා අපරාධයක් කොට සලකන පිරිසකුත් අප අතර සිටිනවා. කෙසේ වෙතත්, පසුගිය 2013 වසරේ මැයිවල දී මට ස්විට්සර්ලන්තයේ සූරිච් හි වෙසෙන, මේ රටේ ඒකීය භාවය අගය කරන දෙමළ මිනිසුන් රැසක් ඇසුරු කිරීමට හැකි වුණා. උතුරු - නැඟෙනහිර හොඳින් ජීවිත ගතකළ දමිල මිනිසුන්, මෙරටින් පිටව ගොස් නොරටුන් සමඟ කම්කරු රැකියාවල යෙදෙමින් ශ්‍රමිකයන් වීම පිළිබඳ, එහි හින්දු - බෞද්ධ සංගමයේ සභාපති තර්මලිංගම් ලෝගේශ්වරන් හෙවත් ඊසන් මහතා තුළ ඇති කනගාටුව හා අප්‍රසාදය ඔහු පළකර සිටියා. එයට ප්‍රධාන වශයෙන් වගකිව යුතු වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය බව ඔහුගේ අදහසයි. එසේ ම, රටේ ඒ ඒ අවස්ථාවේ සිටි බලධරයන් ද මේ සියල්ලට වගකිව යුතුයි. මේ ආකාරයට ඒ ඒ අවස්ථාවල සිදුවූ සිදුවීම් පිළිබඳ අවදියෙන් සිටි මා, එම අවස්ථාවල රැස් කළ කරුණු සහ රට ඒකීයව පැවතීමේ වටිනාකම හඳුනාගත් අනෙකුත් පිරිසගේ හා මධ්‍යස්ථ මතධාරීන්ගේ, විද්වතුන්ගේ අදහස් එක් කරලා, කෘතියක් ලෙසට එම අදහස් එක්තැන් කළ යුතුයි කියා මා සිතුවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අද දින එය කෘතියක් විදිහට දොරට වඩින්නේ.

ඔබ ඔය කියන දේ දැන් ප්‍රායෝගිකද? දැන් මේ රට බෙඳුම්වාදය පරාජය කරලා බොහෝ කලයක් ගත කරලා ඉදිරියට ඇවිත්?

මේ රටේ ලිඛිත , අලිඛිත ඉතිහාසය පුරාම සටන තිබුණේ බෙදුම්වාදයට එරෙහිව කියන එක අපට පිළිගන්න වෙනවා. අප යමක් රැක ගන්න දිවි හිමියෙන් සටන් කළ ජාතියක්. මේ සටනේදී රැක ගැන්ම වගේම, අහිමි වීමත් වෙලා තියෙනවා. ජිවිත, දේපළ, ධනය, අපේ උරුමයෙන් යම් යම් ප්‍රමාණික බිඳීයාම් සිදු වූ බව සැබැයි. නතරවෙමින් නමුත්, ඉදිරියටත් එසේ ම එය සිදු වේවි.

අපි මේ සටන කරන්නේ ඒකීය රටක් වෙනුවෙන් විතරක් ය කියලා කිව්වොත් නිවැරැදි නෑ. අපේ අනන්‍යතාව, වසර 2500 ගණනක ලිඛිත ඉතිහාසය පුරා අප සදාචාරවත් විදිහට ධනවත් කරන බුදු දහම, භාෂාව මේ සියල්ල ඇතුළත් උරුමය රකින්න තමයි අප මේ පෙළ ගැහෙන්නේ. මේවායේ ආරක්ෂාවට ඒකීය භාවය ඉතාම වැදගත්. මේ වෑයම වෙනුවෙන්, වර්ගවාදී දැක්මෙන් තොර සමහර දෙමළ හිතවතුන් එක් වී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ ඒ ආගමික කොටස්වල නිදහසේ ජීවත් වීම අගයන බොහෝ පිරිස් එක් වී තිබෙනවා. මේ ප්‍රවණතාව වැඳගත්.

ඔබ ඔය කියන පිරිස් පිළිබඳ හැදින්වීමක් කළොත්?

මේ කාලයේ ජාතික සංවිධාන රැසක් බිහිවෙලා, එම සංවිධාන කිසියම් තරමකින් ක්‍රියාත්මක වෙනවා. හඬ නඟනවා දකින්න පුළුවන්. ඊට අමතරව හින්දු ෆෙඩරේෂන් හි සභාපති එන්. අරුන්කාන්ත් මහතා වැනි උදවිය සලකතොත් කිසියම් අසාධාරණ බල ග්‍රහණයන්ට එරෙහිව අපූරු ලෙස හඬක් නගන හැටි අපට දකින්න පුළුවන්. තව එවන් උදවිය අප අතර සිටින්නට පුළුවන්. ඔවුන් හිංසනයට එරෙහියි. ඒකීය රටක් දකින්නටයි කැමැතියි. මේ සමඟම කිව යුතුයි දෙමළ සමාජයේ යම් යම් පිරිස් දැන් බෞද්ධාගමට නැඹුරුව සිටිනවා. ඒ අතර තෙරුවන් සරණ ගිය අයත් සිටිනවා. දෙමළ භික්ෂුන් වහන්සේ ද අප අතර නොසිටිනවා නෙමෙයි. සිංහලයන් බොහෝ කලක සිට හින්දු දෙවිවරුන්ට පුදපූජා පවත්වනවා. ඒ වගේම, හින්දු ආගමේ බුද්ධ කියන සංකල්පය ඉතා හොඳින් පවතිනවා. මෙවන් තත්ත්වයක් තිබියදී, අප අතර මොකටද ගැටලු?

ඔබ මේ පොතේ ඇතැම් තැනක මුස්ලිම් - සිංහල ගැටුම් පිළිබඳ කරුණු සම්බන්ධ කරගෙන තිබෙනවා?

ඔව්. අප රටේ මෑතක දී එවන් දරුණු ගැටුමක් අලුත්ගම පෙදෙසේ ඇති වුණා. අනික මුස්ලිම්වරු අන්‍යයන් අතරින් තමන් විශේෂයෙන් කැපී පෙනීම වැඳගත් කොට සලකන බව පෙන්වනවා. එම නිසා, ඒ පිළිබඳත් කතා කළා. අනෙක් කාරණයක් තමයි, මියන්මාරයේ විරතු හිමි සිය 969 සංවිධානය හරහා එරට මුහුණ දී සිටින හා මුහුණ දෙමින් පවතින තර්ජන, බලපෑම්වලට එරෙහිව අරගලයක් කිරීම. මේ සඳහා උන්වහන්සේගේ සමඟත් කතා කළා. ඒ 2014 වසරේ දී බොදුබල සේනා සංවිධානය නිසා ලද ඒ අවස්ථාව මට ඉතා වැදගත් වුණා.

වැනසී යන සිංහල බෞද්ධ උරුමය හා හින්දූන්ගේ අසරණ භාවය නිසා, ඔවුනට එරෙහිව හටගෙන ඇති බලපෑම් වැනි කරුණුත් මෙහිදී සාකච්ඡා කරනවා?

ඔව්, අපිට අවදිවන්නට වෙලා තියෙන්නේ ‍පෙරදිග චින්තනය, දර්ශනය, හැඳියාව වගේ කාරණාවලට එරෙහිව මතු කරන තර්ජනයට එරෙහිවයි. අනික මේ රටේ මුල් භූමි පුත්‍රයන් වන සිංහලයන්ට, බෞද්ධයන්ට කරලා තියෙන ලොකුම අඩංතේට්ටම තමයි, ඔවුන්ට ඔවුන් ගැන කතා කිරීමට ඇති ඉඩකඩ ඇහිරීම. ජාතිවාදී කියන ලේබලය වැදෙයි කියන බියෙන් සිංහලයන් තමන් වෙනුවෙන් කට අරින්නට මැළි වෙනවා. එසේ ම, සිංහල - දෙමළ දෙපිරිසම දැඩි ලෙස අන්‍යාගමිකකරණයට ලක් කරනවා. යුද්ධයෙන් කර ගන්නට බැරි වූ දේ උපක්‍රමිකව හෝ කරනවා නම්, එහි පළයේ වෙනසක් නැති වේවි.

යාපනයේ කිසියම් දෙමළ බෞද්ධ ප්‍රබෝධයක් පිළිබඳත් ඔබ මේ පොතේ කතා කළා නේද?

ඔව්, ඒ ගැන මම නිතර සොයා බලා වාර්තා කළා. ලිව්වා. ඒ වගේම මේ පොතටත් කරුණු ඇතුළත් කළා. එය කිසියම් දුරකට ඉතිහාසයක් ඇති, පදනමක් ඇති කටයුත්තක්. යාපනයේ දෙමළ බෞද්ධ සංගමයේ පළමු සභාපති වුණේ වෛරමුත්තු කියා මහත්මයෙක්. ඒ වගේම 1950 ගණන්වල ඔවුන් හොඳින් ක්‍රියාකාරිව කටයුතු කර තිබෙනවා. නව සභාපති ඒ. රවි කුමාර් මහතා යාපනය නාග විහාරාධිකාරී මිගහජන්ඳුරේ සිරිවිමල හිමියන් ඒ සඳහා විශේෂයෙන් කැපවී කටයුතු කරනවා. යුද්ධයෙන් පසු එය යම්තාක් දුරකට නැවතත් උතුරේ ඇති වෙමින් තිබුණා. ඒත් මට හිතෙනවා , මේ වගේ ධනාත්මක සමාජ කාරණාවලට නැගී සිටින්නට ඇති ඉඩ, හරි ම සීමා සහිතයි කියලා.

ඔබට යුරෝපයේ දී ලැබුණු අත්දැකීම්, මේ කෘතිය සාර්ථක කර ගැනීම සඳහා බෙහෙවින් උපකාර වුණාද?

ඒ අත්දැකීම් සහ ඔවුන්ගේ අදහස් උදහස් මට මේ සඳහා බෙහෙවින් ම වැදගත් වුණා. ප්‍රංශ මහ නා හිමි, පරවාහැර චන්දරතන හිමියන් මෙන් ම, ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝ නායක තවලම ධම්මික හිමියන් මෙහිදී මට කළ උපකාර පිළිබඳ සිහිපත් කළ යුතුයි.

ශ්‍යාමලී නිශාන්ති


නව අදහස දක්වන්න