ෂර්ලොක් හොම්ස් කෙටියෙන් කියවමු | දිනමිණ

ෂර්ලොක් හොම්ස් කෙටියෙන් කියවමු

කුහුලෙන් පිරි නිර්මාණයක් රස විඳීමට බොහෝ පාඨකයෝ කැමැත්තක් දක්වති. මෙය අපේ රටට පමණක් නොව, බටහිර රටවලට ද පොදු ය. මේ බව පසක් කර‍ෙගන ෂර්ලොක් හෝම්ස්ගේ කතා පෙළ ලොව පුරාම පාඨකයන් අතර ජනප්‍රියත්වයට පත් විය. ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කතා පිළිබඳ පාඨක කුහුල වර්ධනය වූයේ, ලේඛකයා තුළ තිබූ අපූර්ව ප්‍රබන්ධන ශඛ්‍යතාව නිසා ම ය.

ෂර්ලොක් හොම්ස් යනු සාහිත්‍ය නිර්මාණයක් මිස, සැබෑ ලොව ජීවත් වූ සැබෑ චරිතයක් නොවේ. එහෙත්, මේ කෘති කියැවූ පාඨක සිත් තුළ, මේ කෘති පිළිබඳ සිතිවිලි ගොඩනැගී ඇත්තේ, සත්‍ය ලොව ජීවත් වූ සත්‍ය චරිතයක් ලෙසට ය. එයට හේතුව, නිර්මාණකරුවා සතුව තිබූ, චරිත නිරූපණය හා සබැඳි අපූර්ව රචනා ශඛ්‍යතාව ය. වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ, සර් ආතර් කොනන් ඩොයිල්, මේ මැහැඟි කාර්යය මැනැවින් කළ අයුරු එමඟින් වුව පෙනී යයි.

කොනන්ඩොයිල්, ෂර්ලොක් හොම්ස් කතා පාඨකයා වෙත ගෙන යන්නේ, අපූරු සිදුවීම්වලින් සපිරි, කුතුහලය වඩවන, රහස් පරීක්ෂණ කතාවලිනි. ක්ෂණයකින්, එම ස්ථානයේ සැඟවී ඇති බොහෝ තතු සිය තීක්ෂණ බුද්ධි මහිමයෙන් වටහා ගැනීමට තරම් හැකියාවෙන් යුතු මේ චරිතය, බොහෝ දෙනාගේ ගැටලු විසඳා දීමට සමත් ය. මේ සූක්ෂ්ම හැකියා වර්ධනය කරගත් චරිතයක් ලෙස පාඨකයා වෙත පැමිණි මේ කෘති මාලාවෙන් 56ක් කෙටිකතා වූ අතර, නවකතා 04ක් ද ඇතුළුව සියලු කතා 60කි. මේ කතා තුළ එන විශේෂත්වය වනනේ, එම කතා පවසන්නේ ‍ෂර්ලොක් හොම්ස් නොව, ඔහුගේ රහස් පරීක්ෂණවලට අදාළ සියලු කටයුතු සඳහා නිරන්තරයෙන් ම සහය වන වෛද්‍ය වොට්සන් ය.

ෂර්ලොක් හොම්ස් රචනා කළ මේ කෙටිකතා 56, මේ වනවිට පොත් පිංචක් ලෙස පාඨකයා වෙත සමීප කිරීමට , ඇම්.ඩී.ගුණසේන සහ සමාගම කටයුතු යොදා ඇත.

ඒ අනුව, නිරංජන් චාමින්ද කරුණාතිලක විසින් ෂර්ලොක් ෙහාම්ස් කතා පෙළ, ඕනෑම තැනක සිට කියැවිය හැකි පරිදි කුඩා පොත් ලෙස රචනා කර තිබේ. මේවා , රතු ඔළු මිනිස්සු, සැඟවුණු රැජින, අභිරහස් දොඩම් ඇට, ගුප්ත බාප්පා සහ ඇඹරුණු තොල් ඇත්තා වැනි ආකාරයට නම් යොදා ඇත.

රතු ඔළු මිනිසුන්ට අවශ්‍ය වී තිබුණු අභිරහස් දෙයක් පිළිබඳ , රතු ඔළු මිනිස්සු කෘතියෙන් නිර්මාණය කර ඇත. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ කුමන අභිරහස් නිරූපණයක් ද යන්න මින් නිරූපිත ය. සාමාන්‍ය මිනිසුන්ට නොසිතෙන සරල දේවලට පවා අභිරහසක් ආරෝපණය කිරීමට, ෂර්ලොක් හෝම්ට අවශ්‍යව තිබුණි. ඒ බව, මේ පොත් පිංචවලින් ද පැහැදිලි වේ.

යුරෝපයේ රජ පවුල් දෙකක් අතර ඇතිවීමට තිබූ මහත් අර්බුදකාරී තත්ත්වයක් සහ අපකීර්තියක් ෂර්ලොක් හෝම්ස් ට වැළැක්වීමට හැකි විය.

ඒ අනුව, බොහෝ සිද්ධි උපක්‍රමශිලීව විසඳන ආකාරය මේ කතාවලින් නිරූපිණය කිරීමට ඔහු උත්සුක වී ඇත. ෂර්ලොක් හෝම්ස් විසින් රචනා කරන ලද මේ කෘතිය, මෙවැනි කුඩා කතා පොත් පෙළක් ලෙස සරල අයුරින් නිර්මාණය කිරීම පහසු කටයුත්තක් නොවේ. මේ භාරධූර කාර්යය ඉතාමත් නිවැරැදිව කිරීමට ලේඛකයා කටයුතු කර ඇත. එක් භාෂාවකින්, විශාල කතාවක් ලෙස රචනා වූවක්, එහි රසාස්වාදය නොනැසෙන අයුරින් සාරාංශගත කිරීම අපහසු ය. එසේ ම, එයඅන් භාෂාවකට පරිවර්තනය කිරීමට ද හොඳ සංයමයක් හා භාෂා ඥානයක් තිබිය යුතු ය.

'විවාහයෙන් පසුව මම මගේ බිරිඳ සමඟ ලන්ඩනයේ එක් කොටසක ජීවත් වෙමි. මගේ මිතුරා, ෂර්ලොක් හොම්ස් බේකර් වීදියේ සිය නවාතැනේම ජීවත් විය. 1890 වසරේ සරත් සෘතුවේ එක් දිනෙක මම මගේ මිතුරා හමු වන්නට තීරණය කළෙමි. නමුත් මා එහි යන විටත් ඔහු හමුවන්නට අමුත්තකු පැමිණ සිටියේ ය. පැමිණ සිටි මහල්ලා අමුත්තෙකි. තරබාරු වූ ඔහුගේ මුහුණ රත් පැහැ විය. නමුත් ඔහුගේ වඩාත් අමුතු දෙයක් වූයේ හිසකෙස් ය. ඔහුගේ හිසකෙස් ද රතු පැහැයෙන් යුක්ත විය.'

මේ ලේඛකයාගේ භාෂා ශෛලියයි. එය ඕනෑම කෙනකුට කියවා රසවිඳිය හැකි ය.

මේ අයුරින්ම ගුප්ත බාප්පා පිළිබඳත්, අභිරහස් දොඩම් ඇට , ඇඹරුණු තොල් ඇත්තා යන කතා පුවත් ද අභිරහස් බවින් හෙබි සරල ආකෘතියකින් යුක්තව නිර්මාණය කර ඇත. මුළු කතා පෙළින්ම කුතුහලයක් මතු කරයි. ඊළඟ මොහොතේ සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳ පාඨකයා නොවිසිලිමත් වේ. ඒ සඳහා මේ ලේඛකයාගේ භාෂා රටාව බෙහෙවින් ම බලපා ඇත.

බොහෝ ලේඛකයෝ ගුප්ත බව අනුව යමින් නිර්මාණ කරති. එහෙත් ඒ සාර්ථකත්වය කොතෙක් ද යන්න රඳනුයේ පාඨකයා දක්වන ප්‍රතිචාරය මතය. පාඨක ප්‍රතිචාරය හීන වන්නේ නම් නිර්මාණය කෙතරම් හොඳ වුවත් ඉන් පලක් නැත. ‍මේ නිසා, වෙනත් භාෂාවකින් රචිත රහස් පරීක්ෂක කතාවක්, සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී වඩාත් සුපරික්ෂාකාරී විය යුතු ය. එම සුපරීක්ෂක බව ඇතිව මේ පරිවර්තකයා මේ කුඩා පොත් පිංච නිර්මාණය කර ඇති බව කිව යුතුය.

මේ පොත් මාලාවේ ඇති විශේෂත්වය පිළිබඳ ලේඛකයා සිය කෘතිවල පෙරවදනේ මෙබඳු සටහනක් දක්වා ඇත.

'මෙම පොත් මාලාවේ ඇති විශේෂත්වය වන්නේ, මේවායේ ඇති අභිරහස්, ගුප්ත රසයට හානියක් නොවන සේ සංක්ෂිප්ත කොට ඉදිරිපත් කිරීම ය.... කාර්ය බහුල ජීවිත ගෙවන, පොත් කියැවීමෙන් දුරස් වෙමින් සිටින බොහෝ පිරිසකට වඩාත් ඉක්මනින් කියවා රසවිඳ ඔවුන් තුළ ඇති රසිකත්වය පුබුදුවාලීම මෙවැනි පොත් මාලාවක අරමුණ ය.'

ඔබටත්, ගමනක් යනවිට , පාළුව, තනිකම මකා ගැන්මට , මේ පොත් පිංච මහත් පිටිවහලක් වේවි. එය ඔබේ කුඩා පසුම්බියේ වුව තබාගත හැකි වීම නිසා, මෙවන් ගමනක් බිමනක් යනවිට, එමඟින් අපූර්ව රසයක් විඳ ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

රූපාන්ති

නව අදහස දක්වන්න