අම්පාර දිසාවේ කුඹුරු හෙක්ටයාර 18850කට දැඩි නියඟයෙන් හානි | දිනමිණ

අම්පාර දිසාවේ කුඹුරු හෙක්ටයාර 18850කට දැඩි නියඟයෙන් හානි

 අම්පාර දිස්ත්‍රික්කයේ වී වගා කරනු ලැබූ හෙක්ටයාර් 18850 කුඹුරු ප්‍රමාණයක් නියඟයෙන් විනාශයට පත්ව ඇති බව අම්පාර දිසාපති තුසිත පි. වනිගසිංහ මහතා පැවසිය.මෙවර අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 94290 වී වගා කර තිබේ.මෙවර ගොඩ ඉඩම් වල වී වගා කළ ගොවීන් මහත් අසීරුතාවට පත් විය.මෙම මහ කන්නයේ හෙක්ටයාර් 15257ක් ගොඩි වී වගාව සිදු කර තිබුණ අතර එම වගාවන් සම්පුර්ණයෙන්ම විනාශවී ඇති බව ගොවි සංවිධාන පවසා සිටි.මේ අනුව මෙවර අම්පාර දිස්ත්‍රික්කයෙන් ජාතික වී නිෂ්පාදනයට අහිමි වන සමාන්‍ය වී ප්‍රමාණය වී කිලෝ නව කෝටි හතලිස් දෙලක්ෂයකි.එහි සමාන්‍ය වටිනා කම රුපියල් දසලක්ෂ තුන්සිය පනස් අටකි.

ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජලයේ වී වගා කරනු ලැබු හෙක්ටයාර් 44599 වු වී වගාවට හානි සිදු වී නැති අතර කුඩා වැව් විස්සක් යටතේ වගා කළ වී වගාවන්ට හානි සිදුව තිබේ . පැවති නියං තත්ත්වය හේතුවෙන් ජලය සීමා කර ලබා දුන් අතර එහිදි වී අස්වැන්න බාලවීමක් සිදුව ඇති බවත් පසුගිය වසර මෙන් තම කුඹුරු සාරවත් නොවු බවත් ගොවීහු පවසා සිටිති.

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ පානම හැලව ගම්මානයේ පමණක් කුඹුරු අක්කර හතසියකට වැඩි ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව එල් .ඒ .සෝමරත්න මහතා පැවසිය . මෙම ප්‍රදේශයේ පැරණි වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් සෑම වසරකම මෙම ගැටළුවලට ප්‍රදේශයේ ගොවින් මුහුණ දෙන අතර හැලව වැව ප්‍රතිසංස්කරණය කරන්නේ නම් කන්න දෙකක් වී වගාව සිදු කළ හැකි බවත් ගොවිහු පවසා සිටිති.

මෙහිදී අදහස් දැක්වූ අම්පාර දිසාපති-

අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ට සිදුව ඇති හානිය පිළිබඳ මේ වන විටත් සියලු තොරතුරු ලබාගෙන තිබෙනවා. ඉදිරියේදි ඔවුන් සඳහා යම් සහනයක් ලැබිය හැකිද යන්න පිළිබඳව සොයා බලනවා.ඇතැම් ගොවීන් ඉතාමත් අසරණ තත්ත්වයේ ජිවත් වන පිරිසක් හෙයින් ඔවුනට යම් සහනයක් ලබාදීම තොරතුරු ලබා ගනිමින් සිටිනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා පානම ප්‍රදේශයේ සංචාරයක නිරතවු අවස්ථාවේදි පවසා සිටියේ ප්‍රදේශයේ පැරණි වැව් පද්ධතිය නැවත වරක් ප්‍රතිසංස්කරණය කරන්නේ නම් එය ගොවීන්ට යම් සහනයක් වන බවත් ඒ පිළිබදව අවධානය යොමු කළයුතු බවත්ය.අහස් දියෙන් පමණක් වී වගා කිරිම අවදානම් සහගත බවත් ජලය සුරක්ෂිත කළ යුතු වැඩසටහනක් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්ය.

සටහන හා ජායාරූප - 
දිගාමඩුල්ල සමුහ චන්දන ලියනආරච්ච්

නව අදහස දක්වන්න