ඒසර් මාකටින් ෆිට්නස් කළමනාකාර අධ්‍යක්ෂගෙන් ව්‍යායාම ග්‍රන්ථ දෙකක් | දිනමිණ

ඒසර් මාකටින් ෆිට්නස් කළමනාකාර අධ්‍යක්ෂගෙන් ව්‍යායාම ග්‍රන්ථ දෙකක්

ඒසර් මාකටින් ෆිට්නස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ හරීන්ද්‍ර එලදැත්ත මහතා විසින් රචිත ග්‍රන්ථ ද්විත්වයක් පසුගිය දා දොරට වැඩීම සිදු විය. සිංහල බසින් රචිත ‘ව්‍යායාම අවශ්‍යමද’ යන ග්‍රන්ථය සහ ඉංග්‍රීසි බසින් රචිත ‘Fitness of Human Being’ යන ග්‍රන්ථය මෙලෙස එළිදක්වන ලදී.

සියලුම ඒසර් මාකටින් ෆිට්නස් ප්‍රදර්ශනාගාරවලින් නොමිලේ ලබා ගත හැකි මේ ග්‍රන්ථ ද්විත්වය මඟින් ඉතා සරල ලෙස වත්මන් සමාජයේ ජනතාවට ව්‍යායාම අත්‍යවශ්‍ය වන්නේ ඇයි ද යන කාරණය විග්‍රහ කර තිබේ.

වර්තමාන වෙළෙඳපොළේ ඇති ශාරීරික ව්‍යායාම උපකරණ භාවිත කිරීමට කිසිදු පෙළඹවීමක් හෝ කාය වර්ධන මධ්‍යස්ථානවලට යාමට ජනතාව උනන්දු කිරීමක් සිදු නොවන බැවින් ඒ සඳහා විසඳුමක් ලෙස තමන් මේ ග්‍රන්ථ ද්විත්වය සමාජගත කරන බව ඒසර් මාකටින් ෆිට්නස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හරීන්ද්‍ර එලදැත්ත මහතා පැවසීය.

දිනෙන් දින තරුණ පිරිස් අවාසනාවන්ත ලෙස මත්ද්‍රව්‍යවලට යොමු වන බවත්, ඒ වෙනුවට ඔවුන් ශාරීරික ව්‍යායාම වෙත යොමු කර මතින් තොර දේශයක් සඳහා ව්‍යායාම යන තේමාව ඔස්සේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික සංවිධාන සමඟ තම ආයතනය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.

එහි දී සියලුම ව්‍යායාම උපකරණ අලෙවි ආයතන, සියලුම කාය වර්ධන මධ්‍යස්ථාන, ශාරීරික ව්‍යායාම උපදේශකවරුන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් සමඟ අත්වැල් බැඳ ගැනීමට ඒසර් මාකටින් ෆිට්නස් ආයතනය බලාපොරොත්තුවෙන් සිටින බව පැවැසූ එලදැත්ත මහතා සියලුම මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සඳහා තම ආයතනය ඉදිරියේ දී අනුග්‍රහය දැක්වීමට අපේක්ෂාවෙන් සිටින බව ද ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න