වටරැක දුම්රිය හරස් මාර්ගයේ අවදානම් වංගුව | දිනමිණ

වටරැක දුම්රිය හරස් මාර්ගයේ අවදානම් වංගුව

කැලණිවැලි දුම්රිය මාර්ගයේ වටරැක දුම්රිය ස්ථානය පිහිටි ස්ථානය කොස්හේන මංසන්ධියයි. එම ස්ථානයේ දුම්රිය මාර්ගයට මීටර් 4 ක් පමණ ඈතින් පාදුක්ක - කොළඹ ප්‍රධාන බස් මාර්ගය පිහිටා ඇත.දුම්රිය මාර්ගය හරස් කොට ඇති මාර්ගය මාදුලාව මාර්ගයයි.කලෙක සිට මෙහි ආරක්ෂිත ගේට්ටු හා ගේට්ටු මුරකරුවන් ඉවත් කොට සංඥා විදුලි ලාම්පු පද්ධතියක් සවි කොට ඇත. එහෙත් එම ස්ථානයේ

මාදුලාව සිට දුම්රිය හරස් මාර්ගය හරහා ප්‍රධාන බස් මාර්ගයට ඇතුළුවන වාහන රියදුරන්ගේ නොසැලකිල්ල නිසා මෙහි අවදානම වැඩි වී ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

බොහෝ අවස්ථාවල දී මාදුලාව මාර්ගයේ සිට බස් මාර්ගයට පිවිසෙන වාහන යූ හැඩයේ වංගුව නිසා ප්‍රධාන මාර්ගයේ ධාවනය වන වාහන ඉවත් ව ඉඩ කඩ ලැබෙන තෙක්, රියැදුරෝ තම වාහන දුම්රිය මාර්ගය මතු පිට රඳවා ගෙන සිටිති. මෙම දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා නියමිත වේලාවන්ගෙන් පරිබාහිර ව දුම්රියන් ගමන් කරන අවස්ථාවන් වල දී ආරක්ෂිත සංඥා එළි දැල් වුවත්, මාර්ගය මත ඇති වාහනය ඉවත් කිරීමට ඉඩකඩක් නැත. එයට හේතු වී ඇත්තේ, ඉදිරිපස ප්‍රධාන මාර්ගයේ ධාවනය වන වාහන නිසාත්, දුම්රිය මඟ මත ඇති වාහනයට පිටුපසින් නවතා ඇති වාහන පේළියත් නිසා, එම වාහනය හදිසියේ එහා මෙහා දැමීමට ඇති කාලය සීමිත බැවිනි. එවැනි අවස්ථාවල දී ජනතාව කෑ ගැසුවත් එම වාහනය ඉවත් කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වෙයි.

මෙම අවදානම සැලකිල්ලට ගෙන එම ස්ථානයේ ආරක්ෂිත ගේට්ටුවත්, ගේට්ටු මුරකරුවකුගේ සේවයත් යළි ස්ථාපිත කර දෙන ලෙස ජනතාව අදාළ බලධාරින්ගෙන් ඉල්ලීමක් කරති.

මීගොඩ සමූහ
ඩබ්ලිව්.ඩී.ජයතිස්ස

නව අදහස දක්වන්න