ආණ්ඩු හදන්නත් වට්ටන්නත් කාන්තාවන් ලොකු බලපෑමක් කරනවා | දිනමිණ

ආණ්ඩු හදන්නත් වට්ටන්නත් කාන්තාවන් ලොකු බලපෑමක් කරනවා

නිරුෂි විමලවීර

පිරිසිදු සහ සමාජශීලි හා අවංක දේශපාලන වාතාවරණයක් රටේ ඇතිකිරීම සඳහා දේශපාලනයේ කාන්තාවගේ සහභාගිත්වය හෙට දවසට ඉතාමත් අත්‍යාවශ්‍යයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දශක කිහිපයේ කාන්තා සංවිධානවල කාන්තාවන්ගේ ශක්තිය ඉතා ප්‍රබල ලෙස පක්ෂයේ දේශපාලන ව්‍යාපාරයට ලබා දී තිබෙනවා. රටේ ආණ්ඩු හදන්න ආණ්ඩු වට්ටන්න ආණ්ඩු වෙනස් කරන්න මැතිවරණවල දී කාන්තාවන් බලපානවා. එසේම වැඩි කාන්තා පිරිසක් නියෝජනය වන දේශපාලන ව්‍යාපාරවලට ජයග්‍රහණය ලැබෙන බව අප දැක තිබෙනවා කාන්තාව සතු බලවේගය මේ අනුව ඉතා පුළුල් බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීඊයේ(09)පැවැති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙලකට එක් වෙමිනි.

ශ්‍රීලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ මෙවර තේමාව ඇගේ සවිය පක්ෂයට සහ රටට යන්නයි.

මෙහි දී ජනාධිපතිවරයා විසින් ශ්‍රීලනිප කාන්තා පෙරමුණේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකාවක් වන සෝමා පෙරේරා මහත්මිය වෙත සමරු තිළිණයක් පිරිනැමුවාය.

වසර 2017 කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ විසින් දේශපාලන යෝජනාව, මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන යෝජනාව සහ ආර්ථික යෝජනාව ආදි යෝජනා තුනක් සභාවට ඉදිරිපත් කරන ලදී.

එහි දේශපාලන යෝජනාව කොළඹ දිස්ත්‍රික්ක සංවිධායිකා සුජීවා චන්ද්‍රසිරි මහත්මිය විසින්ද මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන යෝජනාව කළුතර දිස්ත්‍රික් සංවිධායිකා සුමිතා ප්‍රියංගනී අබේවීර මහත්මිය විසින්ද ආර්ථික යෝජනාව වයඹ පළාත් සභා මන්ත්‍රී ඉන්ද්‍රානි දිසානායක මහත්මිය විසින්ද ඉදිරිපත් කරන ලදී.

මෙහි දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රිලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ වෙනුවෙන් සැකසූ මුහුණු පොතක්ද (එෆ්.බී ගිණුමක්) අන්තර්ජාලයට මුදා හරින ලදි. මෙම උළෙල අලංකාර නර්තන අංගවලින් විචිත්‍රවත් විය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද සඳහන් කළේය.

ශ්‍රිලංකා නිදහස් පක්ෂයත්, කාන්තාවත් මේ රටේ දේශපාලනයත් සැලකීමේ දී සාමුහීකත්වය සහ පොදු වගකීම් පිළිබඳ අපේ දේශපාලන ඉතිහාසයේ කතා කළ හැකි කරුණු රැසක් තිබෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙස සම්ප්‍රාප්ත විමත් සමඟින් මුළු ලෝකයේම අවධානය ශ්‍රිලංකාව කෙරේ යොමු වුණා. කාන්තා නායකත්වය තුළ මේ රටේ රාජ්‍ය නායකත්වය නිර්මාණය වීමත් ලොව ප්‍රථම අගමැතිනිය ලෙස තැබූ වාර්තාව අපේ රටට මෙන්ම අන්තර් ජාතික ලෙස දේශපාලනයට සහ කාන්තා අයීතීන්ට විශාල බලපෑමක් වුණා.

එසේ කාන්තාව සඳහා වෙන්වූ දිනයක් තිබෙන්නේ ඇයි ? කාන්තාව සඳහා වෙන්වූ විවිධ ව්‍යාපෘති, ආයතන, සංවිධාන කාන්තාවන්ගේ නමින් තිබෙනවා. පිරිමීන් වෙනුවෙන් එවැනි සංවිධාන නිර්මාණය වි නැහැ. එයට හේතුව කාන්තාව සතු වගකීම, අයිතීවාසිකම්, වරප්‍රසාද සහ කාන්තාවගේ ගමන් මඟ පිළිබඳව සමාජය තුළ ප්‍රශ්න රැසක් තිබීමයි. ලෝක සංස්කෘතින්, දේශපාලනය, වසර දහස් ගණනක ලෝක ඉතිහාසය තුළ කාන්තාවට හිමි ස්ථානය ලැබුණාද යන්න ලෝක ප්‍රජාව තුළ ඇති වූ ප්‍රශ්නයක්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට අන්තර්ජාතික සංවිධානත් ලෝකයේ කාන්තාවන් සඳහා බිහි වූ වෙනත් විවිධ ජාත්‍යන්තර සංවිධානත් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදි සමාජය තුළ විශේෂයෙන් බිහිවන රාජ්‍ය පාලන ක්‍රම තුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට කාන්තාවන් සතු වගකීම්, අයිතීන් සහ ඔවුන්ගේ වරප්‍රසාද පිළිබඳව නීති පොතට ඇතුළත් කිරීමේ අවශ්‍යතාවය ඇතිවුණා.

ඇතැම් රාජ්‍ය පාලනයන් තුළ කාන්තාව නොසලකා හැරීමේ තත්ත්වයක් තිබෙනවා. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුළ ලෝකයේ සැමවිටම කාන්තාව වෙනුවෙන් හඬක් නැගෙනවා. කාන්තාවන් පිළිබඳව කතා කරන විට සැමටම දෙන තනි වචනය වන්නේ, මාතෘත්වයයි. කාන්තාවගේ මාතෘත්වය තුළ ආදරය, සෙනෙහස, දයාව, කරුණාව ඒ සියල්ල වඩා පිළිබිඹු වෙනවා. මවගෙන් ලැබෙන සුරක්ෂිතභාවය, ආදරය සෙනෙහස ලෝකයේ ප්‍රබලම ආදරය සහ සුරක්ෂිතතාව බව අප කවුරුත් දන්නවා.

කැනඩාව වැනි රටක් ගත්විට ඇමැති මණ්ඩලයෙන් භාගයක් සිටින්නේ කාන්තාවන් බව කිව යුතුයි. ලෝකයේ බොහෝ රටවල්වල කාන්තාවන් රාජ්‍ය පාලනයට ගැනීම පිළිබඳව ව්‍යස්ථාවට ඇතුළත් කොට ප්‍රඥප්තීන්ට ඇතුළත් කොට ඒ සඳහා විශාල ශක්තියක් දී තිබෙනවා.

අප රජයක් ලෙස පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කළා, ඉදිරියේ දී පවත්වන මැතිවරණවල දී කාන්තා නියෝජනය හොඳින් ඇති වන ලෙස ව්‍යවස්ථාවටකරුණු ඇතුළත් කිරීම, නීත්‍යානුකූල කිරීම අප විසින් සිදු කළා. අපේ රටේ වඩාත් පිරිසිදු දේශපාලනයක් සඳහා සමාජශීලි දේශපාලනයක් සඳහා අවංක දේශපාලන ව්‍යාපාරයක් සඳහා කාන්තාවගේ සහභාගිත්වය හෙට දවසේ ඉතාමත් අත්‍යාවශ්‍ය වෙනවා. පේ රටේ අද ජනගහනයෙන් 52% ට වැඩි පිරිසක් කාන්තාවන් බව ඔබ දන්නවා. ඔබ දකින්නට ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇතිවූ ආරවුල පිළිබඳ ප්‍රශ්නයේ දී පත්කර තිබෙන ජනාධිපති කොමිෂන් සභාවල මෙතෙක් කැඳවූ සාක්ෂිවලින් හිටපු කාන්තා අධ්‍යක්ෂවරියක් ඉතා වැදගත් නිවැරදි අවංක සාක්ෂියක් දී තිබෙනවා. එම සාක්ෂි තුළින් පෙන්නුම් කරන්නේ කොතෙක් දුරට ඇය අවංකව තමාගේ වගකීම ඉටු කරන්න උත්සාහ කර තිබෙනවාද යන්නයි. ඇය කියන්නේ ඇයට බලපෑම් ආ නිසා ඇයට එම දේවල් සිදුකිරීමට සිදුවූ බවයි. එයින් පෙන්වන්නේ කාන්තාව තුළ තිබෙන පිරිසිදුභාවයයි. යම් වගකීමක් පැවරූ විට කාන්තාව සතු චරිත ලක්ෂණ පෙන්නුම් කරනවා.

වර්තමාන දේශපාලන තත්ත්වය තුළ කාන්තා බලවේගය ශක්තිමත් කිරීම ශ්‍රීලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා ඉතා අත්‍යාවශ්‍ය වූ දෙයක්.ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානය පමණක් නොවේ පක්ෂයේ විවිධ සංවිධාන තුළත් කාන්තාවන්, මවුවරුන්, දයණියන්ගේ සහභාගිත්වය සහයෝගය ලබා දීම ඉතා අවශ්‍යයි. සමාජයේ තිබෙන විවිධ පසුබෑම් නව තාක්ෂණය සමඟින් ඇති වී තිබෙන සමාජයේ අඩුලූහුඬුකම් සඳහා සමාජය නිවැරදි කිරීමට කාන්තාවන් ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය වෙනවා . සමාජය නිවැරදි කිරීම යනුවෙන් අදහස් කරන්නේ කෙනෙකුට වගකීමක් පැවරූ විට එම වගකීම අවංකව නිසි ලෙස ඉටු කිරීමයි.

හෙට දවස වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තීන් ගොඩනඟමින් අනාගත ආණ්ඩුවක් මේ රටේ බිහිකිරීම සඳහා කාන්තාවන්ගේ සහයෝගය සහ ශක්තිය තුළ පිරිසිදු දේශපාල පක්ෂයක් ගොඩනැගීම ඉතා අවශ්‍ය වෙනවා. එය මේ යුගයේ අවශ්‍යතාවයක්. පිරිසිදු දේශපාලන පක්ෂ පිළිබඳව කතා කරන විට පොදු ජනතාව තුළ ප්‍රශ්නාර්ථයක් බවට පත්වී තිබෙන පිරිසිදු දේශපාලන පක්ෂය කුමක්ද? පිරිසිදු දේශපාලන නායකයින් කවුද? අප විසින් බලය දිය යුත්තේ කාටද? අප විසින් බලයෙන් ඉවත් කළ යුත්තේ කවුරුන්ද? කියා සමාජය තුළ සාකච්ඡාවට සහ සංවාදයට ලක්වී තිබෙනවා.

ශ්‍රීලංකා නිදහස් පක්ෂය මේ රටේ අවංක දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟාඅනාගතය ජයග්‍රහණය කිරීම සඳහා අත්‍යාවශ්‍ය දෙයක් වන්නේ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක්. වංචාව, නාස්තිය, දූෂණය, හොරකම, මහජන දේපොළ සම්පත් අනිසි ලෙස භාවිත කිරීම සහ තමන්ගේ සාක්කුව පුරවා ගැනීම යන කරුණුවලින් බාහිරව සමාජයට දිය යුතු ආදර්ශ ඉතා වැදගත් වෙනවා. සාමාන්‍ය පොදු ජනතවගෙන් වසන් කොට දෙයක් කිරීමට පුළුවන් කමක් නැහැ. සෑම කෙනෙක්ගේම චරිතය තුළින් ඔවුන්ට වඩා සමීප දේශපාලනඥයා කවුරුන්ද කියා ජනතාව තීන්දු කරනවා. කිසිම දේශපාලනඥයෙකුට රාජ්‍ය නිලධාරියෙකුට මේ රටේ වැරදි වංචා දූෂණ සිදුකොට නිදහසේ සිටීමේ හැකියාවක් නැහැ. ඔවුන්ව පොදු මහජනතාව හඳුනා ගන්නවා.

ඒ නිසා අද රටේ තිබෙන ආර්ථික, සමාජයීය ප්‍රශ්නවලට යහපත් සමාජයක් ගොඩනඟන්න පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ සඳහා කැපවීම අවශ්‍යයි. ඒ සඳහා චරිතවල ආදර්ශය දිය යුතුයි. අපේ රටේ දේශපාලනඥයින්ගෙන් කිසිඳු අඩුවක් නැහැ. පුහු ඝෝෂා හැමදාම ඇහෙනවා. ඒ බොහෝ හඬවල්වලට වඩා අවශ්‍ය වන්නේ ගුණාත්මක දේශපාලන ව්‍යාපාරයක ගුණාත්මක ගති ලක්ෂණ හා ගුණාත්මක හඬක්.

මහජනතාව තමාගේ සිතුම් පැතුම් ඉටුකර ගැනීම සඳහා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක නිර්මාණය වන අවංක දේශපාලන ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසයි කාන්තා සංවිධානය ශ්‍රීලංකා නිදහස් පක්ෂය ලෙස අප ශක්තිමත් කරනවා . කාන්තාවගෙන් ලැබෙන මඟපෙන්වීම, පිටිවහල ඉතාම බලවත් වෙනවා. කාන්තාවගේ බලවත්කම ගේ ඇතුළේ පමණක් නෙවෙයි. කාන්තාවගේ බලවත්කම ආයතනික වශයෙන් පමණක් නෙවෙයි. කාන්තාවගේ බලවත්කම ගම තුළ පමණක් නෙවෙයි. කාන්තාවගේ බලවත්කම නගරය තුළ පමණක් නෙවෙයි. මුළු සමාජය වටා ඉතාමත් පරිපූර්ණ ලෙස ශක්තිමත් ලෙස තිබෙන්නේ කාන්තාවගේ හඬ, ශක්තිය සහ බලවේගයයි.

ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත දේශපාලන ගමන්මඟ සඳහා ඉදිරිපත්වෙන්න මෙච්චර කාන්තාවන්ඉන්නවා කියා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඉන්න ගණන් මිනුම් පිළිබඳව වාර්තා නැහැ. ඉන්න පිරිස පුළුල් බලවේගයක්. ඒ නිසා කිසිම වෙලාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා බලවේගය පිළිබඳවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බලවේගය පිළිබඳවත්, පක්ෂයේ උගතුන්, බුද්ධිමතුන්ගේ සහ පරිණතයන්ගේ තිබෙන ශක්තිය පිළිබඳ කිසිදු විටක අඩු තක්සේරුවක් තබා ගන්නට එපා. හැමවෙලේම ඉහළ තක්සේරුවක් දෙන්න කියා මා කාරුණිකව ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයක් තිබෙන දේශපාලන ව්‍යාපාරයක්. ඒක කාටවත් දුර්වල කරන්න පුළුවන්කමක් නැහැ. එස්.ඩබ්ලිව්. ආර්.ඩි. බණ්ඩාරනායක මැතිතුමා පක්ෂය හදා නායකත්වය දී56 ආණ්ඩුව හැදුවම එතුමාට මොනතරම් ප්‍රශ්න ආවද. එතුමාගේ වසර තුනක කාලය තුළ විරෝධතා, පෙළපාළි කෙතරම් තිබුණද. එතුමා දුන්න නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක එතුමාගේ කාලය තමයි මේ රටේ දේශපාලන ඉතිහාසයේ ආණ්ඩුවට නායකයින්ට වැඩිම විරෝධතා තිබූ කාල සීමාව. ඒ නිදහස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් කොතෙක් දුරදිග ගියාද කියන කාරණය ඔබ දන්නවා. ඒ සියල්ල අපි ඉතිහාසයේ පාඩම් විදියට ගන්නට ඕනෑ.

එතුමාට වෙඩි තියලා මරා දැමුවයින් පසුව ඒ කාලේ බොහෝ අය හිතුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ මේ රටේ වාම ප්‍රගතශීලී දේශපාලන ව්‍යාපාරය ඉවරයි කියායි. නමුත් බණ්ඩාරනායක මැතිතුමාගේ ජීවිතය මේ රටේ ජනතාවට අහිමිවීමෙන් පසුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ පක්ෂය මොනතරම් ප්‍රබල පක්ෂයක් ලෙස ජාතික හා අන්තර්ජාතික ලෙස ගොඩගත්ත ද කියන කාරණාව ඔබ සෑම කෙනෙක්ම දන්නවා. අපි පක්ෂයක් ලෙසින් මැතිවරණ පැරදිලා තිබෙනවා. ආණ්ඩු හදාතිබෙනවා. ජයග්‍රහණය කර තිබෙනවා. බොහෝ වෙලාවට අපි වැටුණු තැන් තිබෙනවා. නැගිටුණු තැන් තිබෙනවා. මම හැමදාම කියනවා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ කොතෙක් වැටුණත් වැටි වැටී නැගිට අදාළ ඉලක්කය කරා යන දේශපාලන පක්ෂයක්. .

සැමවිටම මතය ඉදිරිපත් කරන්නට ඕනෑ. ගැටලූ ඉදිරිපත් කරන්නට ඕනෑ. කතා කරන්නට ඕනෑ. හඬ නගන්න ඕනෑ. නිවැරදි දේ කතා කරන්න ඕනෑ. වැරදි දේ විවේචනය කරන්න ඕනෑ. වැරුද්දට විවෘතව කතා කරන්න ඕනෑ. වැරැද්දට විරුද්ධව හඬ නගන්න ඕනෑ. අද ජීවත්වන සියලූ දෙනාටත් හෙට උපදින දරුවන්ටත් අපි හොඳ රටක් හදමු. රටක් හදන්න හොඳ දේශපාලන ව්‍යාපාරයක් තිබෙන්නට ඕනෑ. ඒ දේශපාලන ව්‍යාපාරයේ පිරිසිදුකමත් එක්ක තමයි ආණ්ඩුවක පිරිසිදු භාවය ගොඩනැගෙන්නේ. ඒ තුළ දෙන ආදර්ශය, ක්‍රියාශීලීත්වයත් එක්කයි කටයුතු කරන්න ඕනෑ. අප්‍රේ මාසයේ මුල් සතියේ ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ තරුණ සමුළුව පැවැත්වෙනවා. ඒ නිසා මේ සියලූ සංවිධාන අප කාර්යක්ෂම කරගෙන ශක්තිමත් කරගෙන ක්‍රියාශීලී කරගෙන ඉදිරියට යමු. ඔබේ තිබෙන කැපවීම මා ඉතාමත් අගය කරනවා.

ශ්‍රීලංකා නිදහස් පක්ෂය විදියට නව ප්‍රබුද්ධ අවංක ගමන් මඟක යමින් පිරිසිදු රාජ්‍ය පාලනයක් සඳහා පොදු ජනතාව ඒකරාශී කරමින් මේ රටේ ශක්තිමත්ම පුළුල්ම දේශපාලන බලවේගය ලෙස නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න ඒකරාශී වෙන්නැයි ආරාධනා කරනවා.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය - විශාල කාන්තා බළකායක් මේ උත්සවය සඳහා එක්වී සිටිනවා. සැප පහසුකම් නොමැතිව ඇතැමෙකුට ශාලාවට ඇතුළු වීමට පවා නොහැකි වීම පිළිබඳ කණගාටුයි. පසුගිය සමයේ මේ ශාලාව පිරෙන ලෙස අපට කාන්තාවන් ඒකරාශී කර ගැනීමට නොහැකිව තිබුණා. සංවිධානය වීමේ මහිමය මෙයින් තහවුරු වෙනවා. කාන්තා තරුණ සංවිධාන සෑම මැතිවරණ කොට්ඨාශයකටම යමින් නව සංවිධාන පිහිටුවා ගෙන තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ශ්‍රිලංකා නිදහස් පක්ෂය ඉදිරියට යන්නේ නැතැයි කියා ඇතැමෙක් පවසනවා. එම මතය සාවද්‍ය බව අද අපේ කාන්තාවන් තහවුරු කර තිබෙනවා. ලෝකයේ ප්‍රථම අගමැතිනිය මෙන්ම ලෝකයේ ප්‍රථම ජනාධිපතිනියක් මේ පක්ෂය රටට දායාද කළා.

නිදහස් ලංකාවෙ කාන්තාවන් දෙදෙනකු පක්ෂයට නායකත්වය දුන් එකම පක්ෂය අපේ පක්ෂයයි. ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය හැර ලෝකයේ කිසීම රටක කාන්තාවන් දෙදෙනකු එක පක්ෂයකට නායකත්වය දී නැහැ. එනම් ඉන්දිරා ගාන්ධි සහ සෝනියා ගාන්ධියි. අපිත් කාන්තාවන්ට තැන දුන්නා ප්‍රමාණවත් නැහැ. නමුත් පළාත් පාලන මැතිවරණවල දී කාන්තා නියෝජනය වැඩි කිරීමට වත්මන් රජය ප්‍රතිපත්තිමට තීන්දුවක සිටිනවා. එය පළාත් සභාවට සහ පාර්ලිමේන්තුව සඳහා එය ගෙන එන ලෙස මා යෝජනා කරනවා.

නාගරික සංවර්ධන සහ ජලසම්පාදන රාජ්‍ය ඇමැති ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණේ උප සභාපති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය- ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කාන්තා ශක්තිය එදත් අදත් හෙටත් තිබෙන බව කාන්තා පෙරමුණු රැස්වීමෙන් අද පෙන්නුම් කළා.

ලෝකයේ කාන්තා දේශපාලනයක් ගැන නොසිතා තිබු අවස්ථාවක ලෝකයේ ප්‍රථම අගමැතිනිය ශ්‍රීලංකා නිදහස් පක්ෂය බිහි කළා. සිරිමාවෝ බණ්ඩාරනාය මැතිනිය ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූවා පමණක් නොව දශක ගණනාවක් ශ්‍රීලංකා නිදහස් පක්ෂය රැක ගැනීමට කැප වී ක්‍රියා කළා. පක්ෂය ශක්තිය රටට පෙන්වීමට අද කාන්තාව පෙරමුණ ගෙන තිබෙනවා.

තිරසර සංවර්ධන හා වණජීවි නියෝජ්‍ය ඇමැතිතී සුමේධා පී ජයසේන මහත්මිය- ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කාන්තාව පක්ෂය සමඟින් නොමැති බවට ඇතැමෙක් යම් යම් ප්‍රකාශ කළඳ පක්ෂයේ කාන්තාව පක්ෂය වටා රොඳ බැඳ ගෙන සිටින බව මේ රැස්වීමෙන් තහවුරු වෙනවා. රටේ සමස්ත ඡන්ද දායකයන් අතරින් සියයට පනස් දෙකක් කාන්තාවන්. ඒ නිසා කාන්තාව ඡන්දයක දී තීරණාත්මක සාධකයක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර සහ ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර, ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාලද සිල්වා, තාක්ෂණ සහ පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය ඇමැති ඒ.එච්.එම් ෆවුසි, ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ෙම් අවස්ථාවට එක්වී සිටියහ. 

නව අදහස දක්වන්න