මෙත් මුදිතා පදනම කරඹේ පාසලට තෑගි රැගෙන යාපහුවට | දිනමිණ

මෙත් මුදිතා පදනම කරඹේ පාසලට තෑගි රැගෙන යාපහුවට

සිසු දරුවන්ට තෑගි ලබා දෙමින් පුස්තකාල පොත්පත් විදුහල්පතිවරයා අතට ලබා දෙමින්

දීමේ පුරුද්ද. යුතුකම් හා සාරධර්ම සමාජගත කිරීමට හොඳම මඟ පාසල් දරුවා මූලික කරගත් ක්‍රියාමාර්ගය බව බෙල්ලන්විල රජමහා විහාරවාසී මීගොඩ මෙත්තාරාමය බෙලිඅත්තේ ශ්‍රී ප්‍රඥාසාගර පිරිවෙන් විහාරාධිපති කොළඹ රාජකීය විද්‍යාලයේ විශ්‍රාමික ධර්මාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මීගොඩ මෙත්මුදිතා පදනමේ සභාපති පට්ටියවෙල චන්දාලෝක හිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ පවසා සිටියේ මීගොඩ මෙත්මුදිතා පදනම වසරක් පාසා දිවයිනේ දුෂ්කර පළාතක දිළිඳු පවුල් වෙසෙන පාසල් දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීමේ ක්‍රියාවලියට අනුගතව 2017 වසර සඳහා තෝරාගත් වයඹ පළාතේ මහව අධ්‍යාපන කලාපයට අයත් යාපහුව කරඹේ විද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. චන්දාලෝක හිමියෝ මෙසේ ද පැවසූහ.

දීම යනු බුදු දහමට අනුව අතහැරීමයි. අතහැරීම සහ දීම කළ හැක්කේ මනුෂ්‍ය සත්ත්වයාට පමණයි. වෙනත් ලෝකයේ කිසිදු සත්ත්වයකුට දීම කළ නොහැකියි. අපි මේ දරුවන්ට දෙන්නේ දීමේ පුරුද්ද ඇතිකරන්න. මේ දරුවන් අතට දෙන පාර්සල්වල දරුවාට අධ්‍යාපන පොත්, පෑන්, පැන්සල්, කවකටු පෙට්ටි, මකන ඇතුළු සියලු උපකරණ තියෙනවා. ඒ හැරුණාම එහි සීනි, තේ කොළ, සබන්, දත් බේත්, බුරුසු, ඇඳුම් පැලඳුම් තියෙනවා. මේවා දෙමාපියන්ට දෙන්න නැත්නම් නැන්දලා, මාමලාට හෝ අසල්වැසියන්ට දෙන්න. ඒකෙන් ඔබට පුරුදු වෙනවා දීම සහ අත්හැරීම දරුවනේ.

යාපහුව රාජධානිය ආසන්නයේ කරඹේ ග්‍රාම නිලධාරි වසමේ මෙම පාසල ආරම්භ කර ඇත්තේ 1929 වස‍රේදීය ඒ. වසර 88 කට පෙරය. ප්‍රදේශයේ කුලී වැඩ කර හා හේන්පිටි ගොවිතැනින් දිවි ගැටගසා ගන්නා දිළිඳු ගොවි පවුල් 800 කට ආසන්න පිරිසකගේ දරු දැරියන් මෙම පාසලේ ඉගෙනුම් ලබති. ගුරු මණ්ඩලය 31 ක් වන අතර සිසු දරුවෝ 557 ක් පමණ මෙහි ඉගෙනුම ලබති. ප්‍රධාන වශයෙන් පානීය ජලය ඇතුළු පහසුකම් නොමැතිව දෙමාපියෝ ද දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි ඔවුහු කියා සිටියහ. මෙහිදී මෙත් මුදිතා පදනම විසින් පුස්තකාලයට පොත්පත් ගුරු භවතුන් සඳහා පොත්පත් උපකරණ ද, දෙමාපියන් වෙනුවෙන් ඇඳුම් පැලඳුම් හා තෑගි පාර්සල්, දරු දැරියන් වෙනුවෙන් අවශ්‍ය පාසල් උපකරණ ද පරිත්‍යාග කළහ. ගුරු මණ්ඩලය හා දෙමාපියන් විසින් චන්ද්‍රාලෝක හිමියන්ට අටපිරිකර ද පූජා කරනු ලැබීය.

ආගන්තුක සත්කාර ඉහළින් සිදුකරන දෙමාපියෝ විසින් පැමිණි පිරිස් වෙනු‍ෙවන් වස විස නැති ගමේ ගොඩේ හදන අල, බතල, කුරක්කන් ඇතුළු ධාන්‍ය වර්ගවලින් සාදන ලද දිවා ආහාරය ද, කැවුම්, කොකිස්, හැලප, ආස්මි ද ආදී ඉපැරණි කැවිලි සමඟ තේ පැන්වලින් ද සංග්‍රහ කරනු ලැබීය. මෙම අවස්ථාවට කොළඹ මහානාම විද්‍යාලයේ හිටපු ගුරු භවතුන් හා පිරිසක් ද මෙත් මුදිතා පදනමේ ලේකම් සංඛ නානායක්කාර හා එහි භාණ්ඩාගාරික සේන වී. ගමගේ මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. මෙම උත්සවය ආරම්භයේදී එම විද්‍යාලයේ විදුහල්පති එච්. එච්. සිරිවර්ධන මහතා පිළිගැනීම සිදුකළ අතර 5 වසර සිසු දරුවෙකු වන ඒ. එච්. චේතන දිනුජය සිසුවා ස්තූති කතාව සිදු ක‍ළේය.

මල්කඩුවාව පාරමිතා බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් හා නාරම්වල මයුරපාද විද්‍යාලයේ ආචාර්ය ඩී. එම්. සෙනවිරත්න, නියෝජ්‍ය විදුහල්පති ධර්මසේන යාපා සහ ආචාර්ය ජේ. එච්. ටී. බණ්ඩාර යන ගුරු භවත්හූ ද මෙහිදී අදහස් දැක්වූහ.

උඩවලව විශේෂ
සේන විදානගමගේ

නව අදහස දක්වන්න