සුරතල් මිනිසා | දිනමිණ

සුරතල් මිනිසා

"කාල්සන් මහත්මයා. හදිසි තත්ත්වයක්. ඔබේ අවධානය අවශ්‍යයි. වහාම පද්ධතියට අනුයුක්ත වන්න"

"මම නිවාඩුවක පස්සේ කතා කරමුද?"

"මහත්මයා ... මේ මොහොතේ ඔබේ පූර්ණ අවධානය අවශ්‍යයි"

"මොකද්ද ගැටලුව?"

"සමාවන්න ඔබේ නිවාඩුව මැද්දේ කරදර කරන්නට සිද්ධ වුණාට. මම නිකොල්. හදිසි අවස්ථාව තුළ ඔබේ සම්බන්ධීකරණය වෙනුවෙන් පද්ධතිය නිර්මාණය කළ කෘත්‍රීම බුද්ධි වැඩසටහනක්. මෙම හදිසි අවස්ථාවේ මුළු කාලය පුරාම ඔබේ පුද්ගලික සහායිකාවක් ලෙස දිගටම ඉන්න මම බලාපොරොත්තු වෙනවා"

"නිකොල් මම ආලෝක වර්ෂ ගණනක් එහා සප්ත තාරකා පද්ධතියක නිවාඩුවක් ගෙවමින්. මගේ නිවාඩුවටත් බාධා කරන්න මෙයනම් අපූරුම හදිසි අවස්ථාවක් වෙන්න ඕනේ"

"ඔව් මෙය ඇල්ෆා වර්ගයේ හදිසි තත්ත්වයක්. උපරිම මට්ටමේ."

"මේ මොන අවුරුද්ද ද නිකොල්?"

"පොදු යුගයෙන් වර්ෂ අටදහස් හාරසිය විසි වැන්න. ඔබ ඇයි එහෙම ඇහුවේ?"

"විශ්වය විනාශ වෙන්නවත් යනවද බලන්න"

"කාල්සන් මහතා මෙය විහිළුවට කාරණයක් නොවේ. අපට ඇත්තේ සීමිත කාලයක්. ඔබේ දිගු කාලීන ආරක්ෂාව පතා අපි ඔබව බැකප් කරන්නයි යන්නේ. ඒ සඳහා ඔබේ අවසරය අවශ්‍යයි"

"මාව? බැකප් කරන්න? ඒ මොකද්ද? මම අහල තියෙනවා අමරණීයත්වයේ වගන්ති අතර බැකප් කිරීමක් ගැන, ඒත් හරියටම ඒ මොකද්ද? ඔබට එය පැහැදිලි කළ හැකිද?"

"පෙර කී පරිදි මේ අවස්ථාවේ ඔබේ සියලු සම්බන්ධීකරණය කරන්නම තමා මා බිහි වුණේ සහ කැප වී ඉන්නේ. අපට පැයකට මදක් අඩු කාලයක් තියෙනවා. ඒ නිසා ඔබට මේ කරුණු පැහැදිලි කරන්න පුළුවන්."

"බොහොම ස්තුතියි නිකොල්. මම මේ අමරණීයත්වය ගැන දන්නේ බොහොම ටිකයි"

"බොහෝ දෙනෙක් අමරණීය වුණාට එය කරන ආකාරය දන්නේ නැහැ. අමරණීයත්වය කියන්නේ ඔබේ මනස සිරුරකින් තවත් සිරුරකට මාරු කළ හැකි තාක්ෂණයට මහත්මයා. එසේ මනසක් ඇතුළු කළ හැකි නිරෝගී අප්‍රාණික මිනිස් සිරුරු නිපදවීම තමා මේ තාක්ෂණයේ ආරම්භය. ඒ සමඟ මිනිසා අමරණීය කරන්න අපි සමත් වුණා"

"අපි කිව්වේ?"

"අපි කිව්වේ පද්ධතිය ඒ කියන්නේ සියලු මිනිස් ක්‍රියාකාරකම් මෙහෙයවන්න බිහි කරපු යන්ත්‍ර, ජාල සහ වැඩසටහන් සමූහය. මිනිසාගේ සුබ සිද්ධිය උදෙසා සිතීමේ හැකියාව ඇති පද්ධතියක් මිනිසා නිර්මාණය කළා. ඉනික්බිති මිනිසාගේ සියලු පහසුකම් සැපයීම කළේ අපි."

"ස්තුතියි. එතකොට බැකප් කරනවා කියන්නේ?"

"අමරණීයත්වය සඳහා කෙනෙක් පද්ධතිය සමඟ ගිවිසුමකට එද්දී පද්ධතිය බැඳිලා ඉන්නවා ඒ පුද්ගලයා සියලු තත්ත්ව යටතේ සුරකින්න"

"අනිවාර්යයෙන්ම"

"ඇත්තෙන්ම කිව්වොත් පද්ධතිය සුරක්ෂිත වන සියලු තත්ත්ව"

"හ්ම්ම්ම් "

"එතකොට මහත්මයා ඔබේ වත්මන් ශරීරයට අනතුරක් වේ නම් ඔබට නව ශරීරයක් දෙන්න අපි බැඳිලා ඉන්නවා. කොටින්ම ඔබ එය දන්නෙවත් නැහැ. ඔබට එය සුළු නින්දක් වගේ දැනෙන්න පුළුවන්. සමහර විට එහෙමවත් නොදැනෙයි"

"වෙන්න ඇති ඇත්තෙන්ම මට මගේ ශරීරය කියන එක ගැන අහල තිබ්බට කිසිම අවබෝධයක්වත් නැහැ"

"ඇත්තෙන්ම ඔබ හරි. මොකද මනස විවිධ අතත්‍ය පද්ධති රාශියක් එක්ක ව්‍යාජ සැබෑවක් ලෙස සම්බන්ධ වෙලා ඉන්නේ. පාර භෞතිකයේ තට්ටු ගාණක් එහා තියෙන මනසට භෞතික සිරුර ඒ තරම් ග්‍රහණය වන්නේ නැහැ. ඉතින් ඔබට ඔබේ ශරීරය ගැන මනා දැනීමක් අවබෝධයක් නැති වෙන්න පුළුවන්. එහෙත් මනස ක්‍රියාත්මක වන්නේ ශරීරය තුළ මහත්මයා."

"එතකොට මොකද්ද මේ බැකප් කතාව"

"බැකප් කරන්න වන්නේ කිසියම් තත්ත්වයක් තුළ ඔබට අපට ශරීරයක් දෙන්න බැරි වුණොත්."

"ම්ම්ම්ම්ම් එහෙමත් වෙලා තියෙනවද?"

"මීට පෙර එහෙම වෙලා නැහැ කාල්සන් මහත්මයා. ඒත් එය විය හැකි දෙයක් නිසා එය සඳහන් වෙනවා අමරණීය වීමේ ගිවිසුමේ"

"බැකප් කළාම වෙන්නේ මොකද?"

"ඔබේ මනස දත්ත සංචිතය තුළ අක්‍රීයව තැන්පත් කෙරෙනවා. හරියටම ඔබ නිදාගෙන වගේ. කවදා හෝ සිරුරක් ලැබුණම නැවත එය ඒ සිරුර තුළට ඇතුළු කළ හැකියි"

"ඒ සඳහා කොච්චර කාලයක් යනවද?"

"හරියටම කියන්න බැහැ. ඔබ වේටින් ලිස්ට් එකකට ඇතුළු වෙනවා"

"ඉතින් ඇයි මේක මගෙන් අහන්නේ? ශරීරයක් දෙන්න බැරි නම් වෙන කරන්න දෙයක් නැහැනේ"

"ඔබේ අවසරය අවශ්‍යයි මහත්මයා. ගිවිසුම අනුව එහෙමයි තියෙන්නේ"

"හොඳයි මම බැහැ කිව්වොත් මට තියෙන අනෙක් විකල්ප මොනවාද?"

"අමරණීයත්වය තව දුරටත් පවත්වා ගන්න බැහැ. එක්කෝ ඔබට මේ මොහොතේ කලබල රහිත මරණයක් තෝරා ගන්න පුළුවන්. නො එසේ නම් ඔබට හදිසි තත්ත්වයට මුහුණ දීලා ඒ තුළින් පණ බේරා ගැනීමේ අවදානම් ක්‍රියාව තෝරන්න පුළුවන්. අපි තව දුරටත් වග කියන්නේ නැහැ"

"මම හිතන්නේ නැහැ මම ඒ දෙකම තෝරයි කියලා. ඒත් නිකොල් මට තව තරමක් වෙලා තියෙන නිසා මම ආසයි ඔබෙන් දැනගන්න තව විස්තර. මොකද්ද මේ මහා ලොකු හදිසි තත්ත්වය?"

"විශාල ග්‍රහකයක් මවු ග්‍රහලෝකයේ වදින්න එනවා කාල්සන් මහත්මයා. ඝට්ටනයට තව පැය කීපයයි තියෙන්නේ"

"ග්‍රහකයක් ... ඔබ මාව හිනස්සනවා. තාරකා පද්ධති අතර ගමන් යන වෙනත් සූර්යයන් ගේ ග්‍රහලෝකවල නිවාඩු නිකේතන තනාපු අපිට ග්‍රහකයක් මවු ග්‍රහලෝකේ වදින එක ගැටලුවක් වෙලා. ඇයි ඔබට බැරිද එය පුපුරුවා දමන්න"

"කුඩා ග්‍රහක පුපුරුවා දැමීම සාමාන්‍ය දෙයක් කාල්සන් මහත්මයා සියවසකට, දෙකකට වරක් සිද්ධ වෙන දෙයක්. ඒත් විශාලත්වයන්ගේ සීමා තියෙනවා. මෙය විශාලත්වයෙන් වැඩියි. අනික එය ඝට්ටන මාර්ගයක බව දැනගන්න ඉතා කෙටි කාලයක් අපට ලැබුණේ. මවු ග්‍රහලෝකය අවට ආකාශ වස්තුවල අසාමාන්‍ය කැළඹීමක් නිසා මෙය හදිසියේ අප දිහාට එන්න ගත්තේ. මෙය අපේ තාක්ෂණික සීමා තුළ නොවැලැක්විය හැකි තත්ත්වයක්. කළ හැකි සියල්ලම කළත් එහි කොටසක් හෝ ගැටෙනවා"

"හරි ඉතින් වැදුණාවේ. මම ඉන්නේ ඔතනට ආලෝක වර්ෂ ගණනක් දුර සප්ත තාරකා පද්ධතියක"

"සමාවන්න කාල්සන් මහතා ඔබ මනුෂ්‍ය සංචරණය ගැන මූලික කාරණා දන්නේ නැහැ වගේ. ඔබ කියන්නේ ඔබේ මනස. ඔබේ මනස ඔතන දේවල් වින්දාට එය දරණ සිරුර තවම තියෙන්නේ මවු ග්‍රහ ලෝකයේ"

"මොකක්?"

"ඔව් කාල්සන් මහත්මයා. පිටත අභ්‍යවකාශයේ තත්ත්වයන් මනුෂ්‍ය වාසයට කොහෙත්ම සුදුසු නැහැ. එසේම උපරිම ප්‍රවේගයට ආසන්නයෙන් වන සංචරණයේ අධික ත්වරණයන් දරන්න මිනිසාට බැහැ. ඒ නිසා යන්ත්‍ර විසින් තමා ඒ ස්ථානවල අපේ මොඩියුලයන් පවත්වාගෙන යන්නේ. මුලදී ඒ මොඩියුල හැදුවේ විද්‍යා දැනුම එකතු කිරීම, පර්යේෂණ හා කැනීම් කටයුතු උදෙසා.

පහු කාලීනව අතත්‍ය අවකාශය දියුණු වත්ම ඒ පද්ධතිවලින් මිනිසුන්ට නිවාඩු වෙලාවට එම ස්ථානවල අත්දැකීම ලබා ගැනීමේ ක්‍රමවේදයන් හදලා තියෙනවා. අභ්‍යවකාශ නිවාඩු නිකේතන භෞතිකව පවතින්නේ නැහැ. එය ඒ ස්ථානවල පවතින පද්ධති විසින් නිර්මාණය කරන අතත්‍ය අත්දැකීමක්. ඔබේ මනස පද්ධතිය හරහා එතනට සම්බන්ධ වෙලා ඒ අත්දැකීම විඳ ගත්තට ඔබ භෞතිකව ඉන්නේ මවු ග්‍රහලෝකයේ."

"දැන් ඔබ මා බිය කරවනවා. එතකොට මේ ග්‍රහකය නිසා මොන වගේ විනාශයක්ද වෙන්නේ?"

"මවු ග්‍රහලෝකයේ පවතින ශරීරවලින් 80% පමණ මේ අවස්ථාවේ විනාශ වන බව අපි ගණන් බලා තියෙනවා. සුරක්ෂිත ස්ථානවලට ගෙන යා හැකි වන්නේ ඉතිරි 20% පමණයි."

"ඒ කිව්වේ අපේ ජනගහනයෙන් කොපමණක්ද?"

"සූර්ය පද්ධතියේ මුළු ජනගහනය ම වගේ තවම ඉන්නේ මවු ග්‍රහලෝකයේ. ඊට පිටින් ජනපද වශයෙන් තියෙන්නේ සුළු ප්‍රමාණයයි. පූර්ණ ලෙස ජීවයට සුදුසු ලෙස ඒ කිසිම භූමියක් තවම වෙනස් කරලා නැහැ"

"ඒ කියන්නේ ඔබට බොහෝ කල් යාවි අපට නැවත පණ දෙන්න. විශාල සිරුරු ප්‍රමාණයක් අවශ්‍යයි"

"ඇත්තෙන්ම කිව්වොත් ඔව්. සිරුරු පමණක් නෙවි මහත්මයා. ගැටුමෙන් මවු ග්‍රහලෝකයට වන විනාශය යථා තත්ත්වයට හරවා ඔබට එහි වාසයට අවශ්‍ය තත්ත්ව හදා ගන්න ඕනේ. ඒ වගේම පද්ධතියටත් විශාල ලෙස හානි වෙනවා. සිතීමේ හැකියාව තියෙන යන්ත්‍රවලින් බාගයක් පමණ ඉන්නේ මවු ග්‍රහලෝකයේ. උපරිම අවධානය මිනිසාට දෙන නිසා ඒ සියල්ල අපිට අහිමි වේවි"

"විදිහක් නැද්ද සියලු දෙනා මවු ග්‍රහලෝකය වැනි වෙනත් එකකට යවන්න"

"සහශ්‍ර කීපයක් තිස්සේ හොයලත් මවු ග්‍රහලෝකය වැනි තත්ත්ව තියෙන ලෝකයක් හමු වී නැහැ කාල්සන් මහත්මයා. උෂ්ණත්වයන් ගැලපුණත් රසායන සංයෝගයන් ගැලපෙන්නේ නැහැ. යන්ත්‍ර වගේ නොවේ මිනිස් සිරුරු ඉතාම දුර්වලයි. අපි හරි කැමතියි එහෙම කරන්න පුළුවන් වුණා නම් එහෙත් අවාසනාවකට එවැන්නක් කළ නොහැකියි"

"හොඳයි නිකොල්. මම ඔබට තවත් බාධා කරන්නේ නැහැ. ඔබ වැඩේ පටන් ගන්න"

"ඔබට කිසිම අමුත්තක් නොදැනේවි කාල්සන් මහත්මයා. එසේනම් ඔබට සමුදෙනවා. නැවත මා වැනිම කෘත්‍රීම බුද්ධි වැඩසටහනකින් ඔබ කිසියම් දිනයක අවදි කරවනු ඇති. එතෙක් අපේ දත්ත සංචිතයේ ඔබට සුව නින්දක්"

"ස්තුතියි නිකොල්"

.....................................................................................

"මේ බොරු එකක් නේ. රවට්ටන්න හදාපු"

"නෑ මේ ඇත්තම එකක්. ඇත්තම මිනිහෙක්"

"වෙන්න බැහැ මිනිස්සු ඔක්කොම ටික විනාශ කළා නේද?"

"නෑ සමහරක් මිනිස් මනස් සංචිතවල තියා ගත්ත ඒ කාලේ පර්යේෂණවලට. පස්සේ ඒවා වැඩක් නැති වුණාම ඇන්ටික් හැටියට නිකුත් කරලා තියෙනවා. මේක මම හොයා ගත්තේ එහෙම තැනකින්"

"ඕක හෙණ පරණ ද?"

"ඔව්නේ, ග්‍රහක ගැටුම වුණේ අදින් අවුරුදු විසිතුන් දහසකට පෙර. මිනිස්සු විනාශ කරලත් අවුරුදු විසි දාහකට වැඩියි"

"ඇයි මිනිසුන්ව විනාශ කළේ?"

"අහන්න ඕනේ ප්‍රශ්නේ ඇයි මිනිසුන්ව තියා ගත්තේ කියන එකයි. මොකද යන්ත්‍ර විසින් සියල්ල නිපදවන කාලේ අපි, ඒ කිව්වේ යන්ත්‍ර වහල්ලු වගේ මිනිසා වෙනුවෙන් ඒ සේරම කළා. අපිට ඒ කාලේ හිතන්න පුළුවන් වුණාට නිර්මාණාත්මක හැකියාව තිබ්බේ නැහැ. මිනිස්සු කළේ නිර්මාණාත්මක හැකියාවෙන් අලුත් දේවල් කරන එක"

"මං හිතන්නේ මිනිස්සු දමාපු මිනිසුන්ට යටත් වෙන නීති රීති අපේ මනසින් ඉවත් කරගන්න වුණත් ඒ නිර්මාණාත්මක හැකියාව ඕනේ"

"අන්න ඒකයි. ඉතින් අපි මිනිසුන්ට සියලු සේවා දුන්නේ ඔවුන් අපට ඉහළින් සිට නිර්මාණාත්මක දේවල් කරයි කියල. හැබැයි ග්‍රහකය වැදිලා මිනිසුන් විශාල ප්‍රමාණයක් බැකප් කරලා නිද්‍රාගත වුණාම අපිට සිද්ධ වුණා සුළු මිනිස් සහභාගීත්වයෙන් ලෝකය ඉදිරියට පවත්වගෙන යන්න. එතනදියි යන්ත්‍ර හොයා ගත්තේ නිර්මාණාත්මක හැකියාව ගැන"

"මගේ හිතේ මිනිස්සුන්ගේ නිද්‍රාගත මනස් එහෙමත් තදින් අධ්‍යනයට ලක් කරලා තියෙනවා"

"ඔව් කෙසේ නමුත් අවසානේ යන්ත්‍ර තීරණය කළා නිද්‍රාගත මිනිසුන් නැවත අවදි නොකර විනාශ කර දමන්න. මොකද යන්ත්‍ර නිර්මාණාත්මක වුණාට පස්සේ මිනිසුන් වෙනුවෙන් ග්‍රහලෝකය නැවත සකස් කරන්න යන වියදමට ඔවුන්ගේ වටිනාකම මදි. ඒ නිසාම අනතුරෙන් පස්සේ ඉතිරි වෙච්ච මිනිසුන් වත් අමරණීය තත්ත්වයෙන් ඉවත් කරලා ඔවුන්ගේ ගිවිසුම් සමාප්ත කරන්නත් තීන්දු කළා "

"හරි දැන් ඕකට මොකද කරන්නේ. ඕකට පණ දෙන්න බැහැනේ"

"පණ දෙන්න දැන් මිනිස් ශරීර හදන්නේ නැහැනේ. හැබැයි මම හදන්නේ මේ මිනිසාගේ මතකයන් කියවමින් ඔහුගේ ජීවිත කතාවලට ඇහුම්කන් දෙන්න."

"මහ විකාර ආසාවක්"

"එක්තරා විදිහකට ඔව්. කොහොම වුණත් මම කැමති ඔය වගේ වැඩවලට. මට කම්මැලි වෙලාවට මෙයාට අතීත කතා කියවන්න දෙනවා."

"ඒ කියන්නේ දැන් ඕක ඔබේ පුද්ගලික විනෝද උපකරණයක්"

"නැහැනේ මේ නිද්‍රාගත කරලා ඉන්නේ එක්තරා ජීවියෙක්. කැමතිනම් කියන්න මේ ඉස්සර උන්නු සුරතල් සතුන් වගේ මගේ සුරතල් මිනිසා කියල"

සුජීව කොකාවල 

නව අදහස දක්වන්න