වකුගඩු රෝගය පැතිරීම වැලැක්වීමට නව ජල පෙරණයක් | දිනමිණ

වකුගඩු රෝගය පැතිරීම වැලැක්වීමට නව ජල පෙරණයක්

පිරිසිදු පානීය ජලය ජනතාව වෙත ලබා දීම මගින් වර්ෂිකව වැය වන රුපියල් බිලියන 124ක්  පමණ වන සෞඛ්‍ය වියදම අවම කරගත හැකි බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වකුගඩු රෝගය ඇතුළු රෝග රැසකට පිළියම වන්නේ ජනතාවට ක්ෂණිකව පානීය ජලය ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීම බවයි. පිරිසිදු ජලය ඉතා අඩු වියදමකින් ක්ෂණිකව ජනතාවට ලබා ගත හැකි නවතම ජල පෙරණය හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

බ්‍රිතාන්‍ය ලයිෆ් සේවර් (Life Saver) සමාගම මගින් නිෂ්පාදිත මෙම ජල පෙරණය ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දීම අද (09) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.   කොළඹ බේරෙ වැව ආශ්‍රිතව ලබා ගත් අපිරිසිදු ජලය විනාඩි දෙකක් ඇතුළත පිරිසිදු කර පානීය ජලය බවට පත් කිරීම මෙහි දී සිදු කෙරිණි. මෙමගින් හතර දෙනෙකුගෙන් යුතු පවුලක දෛනික ජල පරිභෝජනය සඳහා වැය වන්නේ ශත 50කට ආසන්න මුදල් පමණි. මීට අමතරව පානීය ජල බෝතල් හේතුවෙන් පරිසරයට එකතු වන, දිරා නොයන අපද්‍රව්‍ය ප්‍රශ්නයට ද මෙමගින් සාර්ථික පිළිතුරක් ලැබේ. එමගින් ආසනික් සහ වකුගඩු රෝග කාරකයන් අවම කෙරේ.

නව ජල පෙරණය හඳුන්වාදීමේ අවස්ථාවට එක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා -

“ඇත්තට ම මේ කටයුත්ත අපි ආරම්භ කරන්න හිතුවෙ උතුරු කොළඹ ප්‍රදේශයේ ජනතාව මූහුණ දෙන පානීය ජල ගැටලුවට විසඳුම් ලෙසයි. එහි දී තමයි මේ සමාගම සම්බන්ධයෙන් අපට දැන ගන්නට ලැබුණේ. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ වකුගඩු රෝගය තුරන් කිරීමේ කටයුතු ඇරඹිලා තියෙනවා. ඒ අනුව අපි මේ ජල පෙරණ සමස්ත ශ්‍රී ලංකාවට ම හඳුනවා දීමට තීරණය කළා.

 

හතර දෙනෙකු ඉන්න පවුලක පානිය ජල පරිභෝජනය සඳහා මේ පෙරණයට වැය වන්නේ ශත 50ක විතර මුදලක්. මේ හේතුවෙන් ආකාර දෙකකට රටේ ආර්ථිකය ශක්තිමක් වෙනවා. එකක් තමයි ජනතාවට මේ වෙනුවෙන් වැය කරන්න වෙන මුදල අවම වෙනවා. අනිත් පැත්තට ලෙඩ රෝග අවම වීමෙන් වාර්ෂිකව සෞඛ්‍ය වෙනුවෙන් වැය කෙරෙන රුපියල් බිලියන 124ක විතර වන මුදල අවම කර ගන්න අපට පුළුවන්.” යැයි ද මුදල් අමාත්‍යවරයා පැවැසීය.

මලයාසියාව, බංග්ලාදේශය, බ්‍රසීලය, ලෙබනනය සහ කොලොම්බියාව වැනි රටවල්වල මේ ජල පෙරණය ඉතා සාර්ථක ලෙස භාවිතයට ගනිමින් තිබේ.

මෙම අවස්ථාවට ලයිෆ් සේවර් සමාගමේ කලාපීය කළමනාකරු ස්ටුවර්ට් එල්සන් සහ එහි මෙරට නියෝජිත ඩරීන් වීරසිංහ යන මහත්වරු ද එක් ව සිටියහ.

නව අදහස දක්වන්න