රැකියාවලට හැකියා සපයන NVQ පාඨමාලා | දිනමිණ

රැකියාවලට හැකියා සපයන NVQ පාඨමාලා

දුමින්ද සම්පත්

මල්කාන්ති ජයවර්ධන අධ්‍යක්ෂ ජනරාල්
නිපුණතා සංවර්ධන හා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාව

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ කඩිනම් වෙනස්කම් විය යුතු බව බොහෝ විද්වතුන්ගේ මතයයි. හේතුව මෙරට අධ්‍යාපනය තවමත් රැකියා පාදක අධ්‍යාපනයක් නොවීමයි.

පළමු වසරේ දී පාසල් අධ්‍යාපනයට ඇතුළුවන බොහෝ දෙනකු අ.පො.ස.සා.පෙළ කඩඉම් විභාගයේදී අධ්‍යාපනය හැර යයි. එසේ පාසල් හැර යන දරුවන් එතැන් සිට කළ යුත්තේ කුමක්දැයි දෙගිඩියාවට පත් වෙති. අ.පො.ස. සා.පෙළ සමත්ව උසස් පෙළ අධ්‍යාපන සුදුසුකම් ලබන දරුවන්ගෙන් ද බොහෝ පිරිසක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් නොලබති. මේ තත්ත්වය නිසා රට තුළ විරැකියාව දිගින් දිගටම වර්ධනයවීම ගැටලුවක් බවට පත්ව තිබේ. උපාධිය ලබා ගත්තද රටේ රැකියා වෙළෙඳපොළට සරිලන වෘත්තීය පුහුණුව නොමැතිකමින් පීඩා විඳින පිරිසක්ද සිටිති.

නිපුණතාවයෙන් සපිරි ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ වගකීම පැවරී ඇත්තේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයටය. ජාතික වෘත්තීය සුදුසුකම්(National Vocational Qualification(NVQ) ක්‍රමය බිහිවන්නේ මෙකී අඩුපාඩු සපුරාලීමටය. මේ දක්වා පැවති විසිරුණු වෘත්තීය පුහුණු ක්‍රමවේදය වෙනුවට රැකියා ඉල්ලුමට සරිලන වෘත්තීය පුහුණු ක්‍රමයක් ඒ හරහා බිහි වුණි.

තරුණ තරුණියන්ගේ වෘත්තීය අපේක්ෂාවන් ඉටුකිරීමේ සහ කර්මාන්තයට අවශ්‍ය නිපුණ ශ්‍රමිකයන් පුහුණු කිරීමේ අරමුණින් පළාත් නවයට තාක්ෂණික විද්‍යාල නවයක් සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ආරම්භ කළේ එබැවිණි.

2008 අංක 31 දරන පනත යටතේ ස්ථාපිත අංක 100 කඳවල රත්මලාන පිහිටි විශ්වවිද්‍යාලය වෘත්තීය තාක්ෂණ අංශයේ ප්‍රථම විශ්වවිද්‍යාලයයි. ශ්‍රී ලංකාවේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) රාමුවේ 7වන මට්ටම උපාධි මට්ටම වේ. NVQ හෝ NVQ නොවන මාර්ග තුළින් පැමිණෙන වෘත්තීය පුහුණු ඩිප්ලෝමාධාරීන්ට වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීමට හැකිය.

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාගැනීමේදී ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 3 මට්ටම අ.පො.ස. සා.පෙළ සුදුසුකම හා සමාන වේ. NVQ4 මට්ටම අ.පො.ස. උ.පෙළ සුදුසුකම හා සාමානය. ඒ අනුව රාජ්‍ය සේවය හෝ පෞද්ගලික අංශයේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා ඉල්ලුම් කිරීමේදී වෘත්තීය පුහුණු අවස්ථා සඳහා වැඩි ඉඩකඩක් හිමිව තිබේ.

පාසල් අධ්‍යාපනය අතරමඟදී හැර යන සියලුම සිසුන්ට, කාර්මික විද්‍යාලයකට හෝ ඊට සමාන රජයේ හෝ පෞද්ගලික අංශයේ කාර්මික අධ්‍යාපන ආයතනයක‍ට ගොස් NVQ03,NVQ04 සමත් වීමෙන් තමන්ට අහිමි වී ගිය සාමාන්‍ය පෙළ හෝ ‍උසස් පෙළ ප්‍රතිඵලවලට සමාන සුදුසුකමක් ලබාගත හැකිය. ඊට අමතරව අධ්‍යාපන ඩිප්ලෝමාධාරියෙකු හෝ උපාධිධාරියකු වීමේ අවස්ථාවද ඔවුනට හිමිය.

මෙකී සුදුසුකම් සපුරා ගැනීමේ පහසුකම් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA), ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය, ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) , සාගර විශ්වවිද්‍යාලය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (UNIVOTEC) හා සියලුම කාර්මික විද්‍යාල, අනුබද්ධ විශ්වවිද්‍යාල විද්‍යායතනය මඟින් සලසා ඇත.

නිපුණතාවයක් නොමැති ශ්‍රමයට ඇත්තේ ඉතා අඩු වටිනාකමකි. මෙරට මෙන්ම විදෙස් රැකියා සඳහාද ඉහළ නිපුණතාවයක් සහිත තරුණ තරුණියන්ට ඇත්තේ වැඩි ඉල්ලුමකි. අපේ දරුවන් තුළ උපතින් ගෙන එන විවිධ දක්ෂතා තිබේ. ඒවා ඔප මට්ටම් කොට රැකියා අවස්ථා සඳහා ඔවුන් සූදානම් කිරීම අපගේ වගකීමය. ත්‍රිරෝද රථයකට, කඩ සාප්පුවකට හෝ වෙනත් කුලී රැකියාවකට ඔවුන්ගේ දක්ෂතා ලඝු නොකළ යුතුය.

කාර්මික ලෝකයේ පුහුණු ශ්‍රමිකයන්ගේ ඉල්ලුමට සරිලනසේ අපගේ තරුණ ශ්‍රමය සැකසිය යුතුය. ඒ සඳහා ඔවුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතුය. වෘත්තීය ක්ෂේත්‍රයේ උපාධිය දක්වා සුදුසුකම් ලැබීමට අවස්ථාව උදාකර දීම ආකල්පමය වෙනසකට මෙන්ම වෘත්තීය නිපුණතාවයට වටිනාකමක් ලබාදීමකි. අධ්‍යාපන මට්ටම, ලිඛිත හැකියාව කුමක් වුවත් වෘත්තීය කාර්මික ක්ෂේත්‍රයේ දක්ෂයකුනම් ඉහළ සුදුසුකම් ලබාගැනීමේ හැකියාව NVQ ක්‍රමය හරහා උදාවී ඇත.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ කර්මාන්ත හා වෘත්තීය තාක්ෂණ පීඨය මඟින් ලබාදෙන ගොඩනැඟිලි සේවා තාක්ෂණය, නිෂ්පාදන තාක්ෂණය, මෙකාට්‍රොනික් තාක්ෂණය, ආහාර පිළියෙල කිරීමේ තාක්ෂණය, චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන තාක්ෂණය, ඉදි කිරීම් තාක්ෂණය සහ සම්පත් කළමනාකරණය, ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ තාක්ෂණවේදී උපාධි වැඩසටහන් උසස් අධ්‍යාපනය සඳහා වැඩි අවස්ථා ඇතිකර තිබේ.

ජාලකරණ තාක්ෂණය, වෙබ් සහ බහු මාධ්‍ය තාක්ෂණය, මෘදුකාංග තාක්ෂණය පිළිබඳ තාක්ෂණවේදී උපාධි සහ තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනවේදී, ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබඳ අධ්‍යනවේදී, කර්මාන්ත කළමනාකරණය පිළිබඳ තාක්ෂණවේදී උපාධි පුහුණු තාක්ෂණ පීඨය මඟින් ක්‍රියාත්මක කර ඇත.

මෙකී පාඨමාලා සහ වෙනත් පාඨමාලා සම්බන්ධ තොරතුරු දුරකථන අංක 0112630 700 හෝ www.univotec.ac.lk වෙතින් ලබාගත හැකිය.

කොළඹ 05, නාරාහේන්පිට, ඇල්විටිගල මාවත අංක 354/2 හි පිහිටි නිපුණතා පියසේ ජාතික වෘත්තීය මාර්ගෝපදේශ සහ උපදේශන මධ්‍යස්ථානය මඟින්ද ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.

රැකියාවක් බලාපොරොත්තු වන්නන්ට www.youthjobs.lk වෙත පිවිසීමෙන් අවශ්‍ය පුහුණුවීම්, වෘත්තීය ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සොයා ගැනීමේ හැකියාව ලැබේ. මෙහි ලියාපදිංචියෙන් පසුව රැකියා සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව උදාවනු ඇත. ලියාපදිංචි වන්නන් සඳහා ආයතන විසින් ඍජුවම සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම සිදුවේ.

සේවකයින් අවශ්‍ය වන ව්‍යාපාරික හා වෙනත් ආයතන සඳහා ද මෙම වෙබ් අඩවියේ නොමිලේ ලියාපදිංචිය ලබාගත හැකිය. රැකියා ඉල්ලුම්කරුවන් හා රැකියා වෙළෙඳපොළ අතර නොමිලේ සබඳතා ඇති කරවීම මේ මඟින් සිදුවේ.

අප ඉලක්ක කරනුයේ ඉහළ වැටුප් ලබාගත හැකි පාඨමාලාවන්ය. පාඨමාලා සැකසී ඇත්තේද රැකියා වෙළෙඳ පොළ ඉලක්ක කොටය. අනාගතයේදී සාර්ථක වෘත්තීය පුහුණු අවස්ථා නිම කරන්නෙකුට ඉහළ වැටුප් සහිත රැකියාවක් ලබා ගැනීමේ ඉඩකඩ මේ හරහා පවතී.

 

අදහස් 1ක් ඇත

o/l අසමත් අය සදහා (NVQ) ක්‍රමය හදුන්වා දුන්නද ලංකාවේ තාමත් රැකියාවට යන විට NVQ සුදුසුකම් තිබුනත් මූලික සුදුසුකම් වලට o/l බලනවා. මා හට වඩු වැඩ, විදුලි කාර්මික පාඨමාලා සදහා NVQ level 03 සහිත ඇත. එහෙත් o/l වලට වැඩ 06 නැති නිසා තාමත් රැකියාවක් නොමැත.

නව අදහස දක්වන්න