දවසකින් ලොව වටා යමු | දිනමිණ

දවසකින් ලොව වටා යමු

එක දවසකින් ලෝකේ වටේ යන්න කාටද පුළුවන්? කවුරුහරි මෙහෙම ඇහුවොත් ඔබට පුදුම හිතේවි . එහෙත් දැන් මේ සිහිනය බොහෝ දුරට සැබෑ කරන්න, චීනය උත්සාහ ගනිමින් සිටිනවා. ඔබ නැඟෙනහිර චීනයේ නින්බෝ නගරයට ගියොත්, වැඩි වෙහෙසක් නොමැතිවම දිනකින් ලෝකය වටා ගොස් එන්නට අවස්ථාව උදා වෙනවා. ඒ, නින්බෝ නගරයේ ඇති උද්‍යානයක, ලොව දැනට තිබෙන ප්‍රසිද්ධම ගොඩනැගිලි 50ක් පමණ කුඩා ආකෘති ආකාරයෙන් තනා තිබීම නිසයි .

ඒ අනුව, අමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව, ඊජිප්තුවේ පිරමීඩ, ග්‍රීසියේ කොලොසියම වැනි නිර්මාණ මෙහි අන්තර්ගතයි . මෙහි තිබෙන විශේෂත්වය, වර්තමානයේ භාවිත වන ගඩොල්, ගල් හා බදාම යොදාගෙන තැනෙන මේ නිර්මාණ, හැකි පමණින් පැරැණි නිර්මාණ ලෙසින්ම නිම කරන්නට, ඒවායේ නිර්මාණකරුවන් සමත් වීමයි . සාදා නිමකරන ලද මේ ආකෘති, ඉතා සැලකිල්ලෙන් පින්තාරු කර ඇත්තේ ද ඒවායේ පැරැණි බව විදහා දැක්වෙන ආකාරයටයි . සැබෑ ලෝක උරුමයන්ගෙන් මේවා වෙනස් වන්නේ, මේ සෑම ඉදිකිරීමකම ඒවායේ විස්තර දැක්වෙන දීප්තිමත් පුවරු, විනෝද සවාරි හා ජල ක්‍රීඩා ආදියෙන් වටවී තිබීම නිසයි .

මේ උද්‍යානය පිහිටා තිබෙන නින්බෝ නගරය ද ඓතිහාසික වැදගත්කමකින් යුත් නගරයක්. ක්‍රිස්තු පූර්ව 4800 පමණ කාලයේ සිට පැවැත එන ඉතිහාසයකට උරුමකම් කියන මෙය, චීනයේ ඉපැරැණි ම නගර අතරට එක් වෙනවා. වසර දෙදහසකට පමණ පෙර සේද මාවතේ වෙළෙඳ නගරයක් ලෙස ද, පසුව ප්‍රධාන වරායක් ලෙස ද එය ප්‍රචලිත වී තිබෙනවා . මේ වනවිට මේ අත්දැකීම විඳ ගැනීම සඳහා සංචාරකයන් බොහොමයක් දෙනා චීනයට පැමිණෙන බවයි වාර්තා වෙන්නේ.

යශෝදා ඉන්දීවරී 

නව අදහස දක්වන්න