හදවතේ හැඩය ඇති සුන්දර තැන් | දිනමිණ

හදවතේ හැඩය ඇති සුන්දර තැන්

මදාරා මුද­ලිගේ

අප අවට ඇති සෑම දෙයක්ම, සොබාදම් දිනිතියගේ අපූරු නිමැවුම් ය. එම නිමැවුම්වලට විවිධ හැඩතල ඇතිවා සේ ම, ලොව නන් දෙස පිහිටා ඇත. සමහර නිමැවුම්, එක සමාන හැඩයෙන් ‍යුතු ය. ඒ ආකාරයට, සොබාදහමේ අපූරු ත්‍යාග ලෙස ලොවට දායාද වුණු, හදවතක හැඩය ගත් ස්ථාන 10 කි. මේ ඒවා ය.

1. ඔස්ට්‍රේලියාවේ මේක්පීස් දිවයින

මෙය, සන්ෂයින් වෙරළ සහ නූසා ගඟ අසබඩ පිහිටා තිබේ. මේ දිවයිනෙහි ප්‍රමාණය හෙක්ටයාර් 9.2 කි. වර්ජින් සමුහ ව්‍යාපාරයෙහි නිර්මාතෘ රිචඩ් බ්රැන්සල් යටතේ මේක්පීස් දිවයින පාලනය වේ. මේ දිවයින, ඔහුගේ පෞද්ගලික දේපළක් ලෙස ද හැඳින්වේ. ඔහුට තිබෙන සුඛෝපභෝගී දේපළ අතරින් එකක් ලෙස ද මෙය හඳුන්වයි.

මේ දිවයින වැදගත් වන්නේ, ආදරවන්තයන්ට ය. ඔවුන්ට තම විවේකී නිවාඩුව සුඛෝපභෝගීව ගත කිරීමට, මේ ස්ථානය කරා පැමිණීමෙන් හැකියාව ලැබේ. මේ දිවයිනෙහි ලීටර් 500,000ක ජලය ගබඩා කළ හැකි තටාකයක්, ටෙනිස් ක්‍රිඩාංගණයක්, ශරීර සුවතා මධ්‍යස්ථානයක්, සිනමාහලක් යනාදී සෑම සුපිරි පහසුකමක්ම ඇතුළත්ව තිබේ. මේක්පීස් දිවයින ලෝකයේ ජීවත් වන සුපිරි බිලියනපතියන්ගේ ආදරණීය ස්ථානයක් බවට ද පත්ව ඇත.

2.ක්රෝඒෂියාවේ

ගැලෙස්ජක් දිවයින

ඇල්ප්ස් කඳුවැටි ආශ්‍රිතව පිහිටි මුහුදෙහි මේ දිවයින පිහිටා ඇත. ක්රෝඒෂියාවේ සාඩා සහ පස්මන් යන පෙදෙස් හි පිහිටි සුන්දර ස්ථානයක් ලෙස මෙය ප්‍රචලිත ය. මේ ජනශුන්‍ය දිවයින, ‘ගැල්ස්ජක් ද ලවර් දුපත’ ලෙස ද හැදින්වේ. එතරම් මිනිස් වාසයක් නොමැති මේ දිවයින, අද වන විට මිනිසුන් දැඩි ඇල්මක් දක්වන ස්ථානයක් බවට පත්ව ඇත. සොභාව සෞන්දර්යයට මුල් තැනක් දෙමින් පවත්වන විවාහ උත්සව, මෙහි සුලබව දක්නට ලැබේ. පාළු බවක් පැවැතිය ද, විශාල වනාන්තරයක් ලෙස පවතින මෙහි ස්වභාවික සුන්දර බව අප්‍රමාණ බව ද පැවසේ.

3. ප්‍රංශයේ ටුපායි දිවයින

මෙය, ප්‍රංශයේ පොලිනිසියාවේ පිහිටා ඇත. මේ දූපතට ළඟා වීමට, ගුවනින් යා යුතු ය. මීට වසර 04 ක සිට මේ ස්ථානයට සංචාරකයන් බොහෝ සෙයින් පැමිණෙන බව, විදෙස් වාර්තාවල සඳහන් වේ. ටූපායි හි පිහිටි මේ දිවයින හරහා, බෝරා බෝරා නමැති සුන්දර ස්ථානයට ළගා වීමට ද පුළුවන. මේ ආකාරයට එක ම දිවයිනක සුන්දර ස්ථාන දෙකක් දැක ගත හැකි නිසා, මේ ස්ථානයට සංචාරකයෝ බොහෝ පිරිසක් පැමිණෙති. ගුවන් ගමන් මඟින් අවට සුන්දරත්වය නරඹමින්, ගැඹුරු මුහුදේ කිමිදෙමින්, තම නිවාඩු කාලය විනෝදයෙන් ගත කිරීමට මෙය කදිම ස්ථානයකි. ලෝකයේ පිහිටා ඇති හදවතක හැඩය ගන්නා දිවයින අතරින්, විවාහ උත්ස‍ව පැවැත්වීමට සුලභව යොදා ගන්නා ස්ථානය වන්නේ ද මෙය ය.

4. බොස්නියාවේ ට්‍රොනැවකෝ වැව

මේ වැව බොස්නියාවේ මොන්ටිනිග්රෝ දේශසීමාවේ පිහිටා ඇත‍‍‍‍‍. අඩි 2 300ක ගැඹුරකින් යුක්තව මේ ජලාශය නිර්මාණය වී තිබේ.

මෙය, හදවතක හැඩයෙන් යුක්ත, ස්වාභාවිකව නිර්මාණය වූ රමණීය ස්ථානයකි. ඡායාරූප ගැනීමට සුන්දරතම ස්ථානයක් ලෙසට ද මෙය වඩාත් ප්‍රචලිත ය. මේ වැව පිහිටි පරිසරය, කඳු, නිම්නවලින් ගහන වීම, පවත්නා විශේෂත්වය වේ. ගිම්හාන සෘතුවේ දී බොස්නියාවේ කඳු නගින්නන් අතර මේ ස්ථානය වඩාත් ප්‍රචලිතව ඇත. එමෙන් ම, ට්‍රොනැවකෝ වැව ආශ්‍රිත ප්‍රදේශයේ වෙරළ භූමියක් හා වෙරළ ආශ්‍රිත වනාන්තරයක් ද දැක ගත හැකි ය.

5. ඔස්ට්‍රේලියාවේ හාට් රීෆ් දිවයින

මේ ස්ථානයට ‘හාට් රීෆ්’ යන නම භාවිත කරන්නේ, එය ස්වභාවිකවම හදවතක හැඩය ගන්නා නිසා ය‍. මෙය, ඔස්ට්‍රේලියාවේ පිහිටා ඇති ස්වභාව සෞන්දර්යයෙන් සපිරි ස්ථානයකි. ඡායාරූප ශිල්පීන් මේ ස්ථානයට වැඩි ඇල්මක් දක්වයි. හරිත සංකල්පයට සහ කොරල් පර ආශ්‍රිත පරිසර ගවේෂණය කරන්නන් මෙහි පැමිණ, තම පර්යේෂණ කටයුතු සිදු කරයි. ඇතැම් පරිසර ගවේෂණ කටයුතු කිරීම සඳහා, විදෙස් විශ්වවිද්‍යාල තෝරා ගන්නේ ද මේ ස්ථානය ය. හාට් රීෆ් දිවයින වෙත පැමිණීම සඳහා හෙලිකොප්ටරයක් හෝ සී ප්ලේන් එකක් භාවිත කිරීම අනිවාර්ය වේ.

6. ස්විට්සර්ලන්තයේ ලගෝ ඩී ටොම් වැව

මේ වැව, ස්විට්සර්ලන්තයේ පියෝරා නිම්නයේ පිහිටා ඇති ප්‍රධාන වැව්වලින් එකකි. එමෙන් ම, මේ වැව සංචාරකයන්ගේ වැඩි ප්‍රසාදය දිනාගත් ස්ථානයක් ලෙස ද ප්‍රකට ය. වඩා විශාල කඳු පන්ති ආශ්‍රිතව පිහිටි මේ වැව, ස්විට්සර්ලන්තයේ දේශීය ආර්ථිකයට විශාල දායකත්වයක් සපයයි. මේ වැව ආශ්‍රිත ප්‍රදේශයේ කිරි ගවයන්ගෙන් ලබා ගන්නා කිරි මඟින් චීස් නිෂ්පාදනය කරයි. එපමණක් නොව, ලගෝ ඩී ටොම් වැව, ලොව පිහිටි මූල්‍යමය වටිනාකමක් ඇති සුන්දර ස්ථානවලින් එකක් ලෙස ද හැඳින්වේ.

7. වොෂ් ඔලිම්පික් ජාතික උද්‍යානයේ පිහිටි

හාට් ලේක් වැව

මෙය වොෂ් ප්‍රදේශයේ, ඔලිම්පික් ජාතික උද්‍යානයේ පිහිටි ජලාශයකි. කළු වලසුන් ගහන ප්‍රදේශයක් ලෙස හාට් ලේක් හැඳින්විය හැකි ය . ලෝකයේ පිහිටා ඇති ආදරණීය ස්ථාන දහයෙන් එකක් ලෙස මේ වැව නම් කර ඇති බව, අමෙරිකාවේ ජෛව විවිධත්ව සංගමය පවසා ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ, මේ ජලාශය වටා උණු දිය උල්පත් පිහිටා තිබීම ය. කූඩාරම් ඉදි කරමින් තම නිවාඩුව වෙනස් අයුරින් ගත කිරීමට කැමැති අයට, හාට් ලේක් අපුර්ව ස්ථානයකි.

8. කොසෝවෝ හි හාට් ලේක් වැව

මේ වැව කොසොවෝ හි ජුනික් කඳු පන්තිය ආශ්‍රිතව පිහිටා ඇත. හාට් ලේක් ප්‍රදේශයට ළඟා වීම සඳහා කොසෝවෝ හි දකුණු කඳු පන්ති නිම්නයට ළඟා විය යුතු ය. හදවතක හැඩය ගන්නා ජලාශය, කොසෝවෝ හි සොඳුරු සංචාරක ස්ථානයක් ලෙස ද හැඳින්වේ. ‍මේ ස්ථානය කඳු නගින්නන් අතර ද වඩාත් ප්‍රචලිත ය. මේ ජලාශයට මේ නම ලැබී ඇත්තේ, එහි පවත්නා ස්වභාවික පිහිටීම නිසාවෙනි.

9. ෆිජි හි තවරුවා දිවයින

තවරුවා දිවයින ද ලෝකයේ පිහිටි එක් ආදරණීය ස්ථානයකි. එමෙන් ම, ලෝකයේ හොඳ ම මුහුදු රළ ගමනාන්තයන් දැක බලා ගැනීමට ද මේ දිවයින යෝග්‍ය වේ. ඉතා වේගයෙන් ජල තරංග ක්ෂණික ලෙස බිඳ වැටෙන ආකාරය මේ ස්ථානයේ දී නැරැඹිය හැකි ය .මේ දිවයින තුළ ධීවර කර්මාන්තය සුලභ‍ව දක්නට ලැබේ. සර්ෆ් , කිමිදුම් ක්‍රීඩා, බෝට්ටු තරග, මේ සොඳුරු තවරුවා දිවයිනෙහි දැක ගැනීමට පුළුවන. මේ ස්ථානයෙහි විනෝදශීලී ජල ක්‍රීඩා බොහොමයක් ඇති බැවින්, මෙහි පැමිණෙන සංචාරකයන් ද දිනෙන් දින වැඩි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

10. නිව් කැලිඩෝනියා හි

කෙයියෝ ඩි වෝ දිවයින

මේ දිවයින කඩොලාන , වෘක්ෂලතා පිහිටි විශාල භූමි ප්‍රදේශයක පිහිටා ඇත. ඈත අතීතයේ දී මේ දිවයින එතරම් ප්‍රසිද්ධියක් ඉසුළුවේ නැතත්, පසු කාලයේ දී යන් ආර්ථස් බර්ට්රන්ඩ් විසින් මේ දිවයින ප්‍රසිද්ධ කරන ලදී. මෙය ‍ලෝකයේ පිහිටි තෙත් බිම් ප‍ර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස ද හඳුන්වනු ලැබේ. 2012 වර්ෂයේ දී කඩොලාන වෘක්ෂලතා පිළිබලඳ පරීක්ෂණයක් ද මෙහි පැවැත්විනි. අමෙරිකා එක්සත් ජනපදයේ භූ විද්‍යා පරීක්ෂකයන් විසින් මේ දිවයින අධීක්ෂණය කර ඇත‍‍. එහිදී, ගස් සහ කඳු නගින විශේෂ වන සතුන් කිහිප දෙනකු ද සොයා ගෙන තිබේ.

 

අන්තර්ජාලය ඇසුරෙනි

 

නව අදහස දක්වන්න