ඉස්කෝලේ කැන්ටිම...! | දිනමිණ

ඉස්කෝලේ කැන්ටිම...!

 ඊයේ පුවත්පතක තරමක් අමුතු ප්‍රවෘත්තියක් පළකර තිබුණේ සිය ප්‍රධාන සිරස්තලය සඳහා එය තෝරා ගනිමින් ය. එම පුවතින් කියැවෙන්නේ හිඟුරක්ගොඩ පළාතේ එක්තරා විදුහලක කැන්ටිමේ සිදුකළ කසිප්පු පෙරීමක් ගැන ය. මෙය විදුහලට කෙළින් ම සම්බන්ධ දෙයක් නොවේ. පාසලේ ශිෂ්‍ය ප්‍රජාවට සම්බන්ධ දෙයක් ද නොවේ. එය ගුරුමණ්ඩලයට සම්බන්ධ යැයි කියන්නට ද බැරි ය. මේ ජාවාරම පවත්වාගෙන ගොස් ඇත්තේ කැන්ටින්කාරයා ය. ඔහු සියල්ලන්ගේ ම ඇස් වසා සන්ධ්‍යා කාලයේ ද, නිවාඩු දිනවල ද කසිප්පු නිෂ්පාදනය කර තිබේ. මේ තිප්පොළ වටලන්නේ කොළඹින් ගිය සුරාබදු නිලධාරීන් බව ද පැවසේ.

ප්‍රවෘත්තියේ සඳහන් වන අන්දමට කැන්ටින්කාරයා දීර්ඝ කාලයක් තිස්සේ මේ ජාවාරම කරගෙන ගොස් තිබේ. ඔහු කසිප්පු නිෂ්පාදනය කොට වෙනත් කාන්තාවකට ලබා දී ඇත. කාන්තාව තොග ගණනට එය අලෙවි කර ඇත. පළමුව කිව යුත්තේ විදුහල්පතිවරයාට හෝ ගුරු මණ්ඩලයට හෝ මේ වගක් නොදැනීම පුදුමයක් බව ය. ඇතැම් විට එය දැනගෙන නොදැක්කා සේ සිටියාදැ’යි අප දන්නේ නැත. කුමක් වුව විදුහලක කැන්ටිම ගැන ද, කැන්ටිම පවත්වා ගෙන යන පුද්ගලයා ගැන ද සෙවිල්ලක් විදුහල්පතිවරයාට තිබිය යුතුය. එය නොසලකා හැරීම වරදක් ලෙස අපට පෙනී යයි.

පාසල්වල ද වෙනත් ආයතනවලද කැන්ටින් බදු දෙන ක්‍රමයක් තිබේ. ඒ ක්‍රමය නම්; ටෙන්ඩර් කැඳවීම ය. ටෙන්ඩර් කැඳවා අඩු ම මිලකට ද හොඳම විශ්වසනීය සේවාවකට ද අනුමැතිය ලැබේ. පාසලක කැන්ටිම නම්; අඩු ම මිල පමණක් නොව; කැන්ටිම කරගෙන යන පුද්ගලයාගේ කැරැට්ටුව ද විමසුමට ලක්වේ. පාසලක කැන්ටිම පවත්වාගෙන යා යුත්තේ ආදර්ශවත් පුද්ගලයෙකි. ඔහු දුසිරිතට බර දූෂිත පුද්ගලයකු නම් විදුහලක කැන්ටිම පවත්වාගෙන යෑමට ඉඩ නොදිය යුතුය. කැන්ටින්කාරයකුට ශිෂ්‍ය ප්‍රජාව නොමඟ යැවිය හැකි ය. ඔවුන’තර නොයෙක් දුසිරිත් ප්‍රචලිත කළ හැකි ය. අපගේ කල්පනාවට අනුව හිඟුරක්ගොඩ විදුහල්පතිවරයා ඉහත කී කරුණු ගැන හොඳින් සලකා බලා නැත.

අපගේ අත්දැකීමට අනුව ආයතනවල කැන්ටින් පවත්වාගෙන යන බහුතරය යහපත් යැයි කිව නො හැකිය. සමහර කැන්ටින්වල නොයෙක් ජාවාරම් සිදුවෙයි. සමහරු කුඩු වෙළෙඳාම කරති. තව සමහරු කංසා අලෙවි කරති. තවත් සමහරු පෝයදාට මත්පැන් විකුණති. රට යැවීම සඳහා කාන්තාවන් එකතු කරන තැරැව්කාරයන් ලෙස ද කැන්ටින්කාරයන් කටයුතු කරන බවට තොරතුරු ලැබී තිබේ. ආයතනයක සැලැකිය යුතු බලයක් කැන්ටින්කාරයාට ලැබේ. ඒ බලය උපයෝගී කරගෙන මෙවැනි ජාවාරම් කළ හැකි ය. ආයතනවල කෙසේ වෙතත්; පාසලකට මෙබඳු මිනිසුන් රිංගා ගැනීමෙන් විශාල විනාශයක් සිදුවිය හැකි ය. හිඟුරක්ගොඩ පාසලේ සිසුන් මත්පැනට ගිජු නොවීම එක අතෙකින් වාසනාවකි.

කසිප්පු ජාවාරම ඉතා තදබල ලෙස රටේ පැතිර යන බවටද තොරතුරු හෙළිදරව් වී තිබේ. එක අතෙකින් අරක්කු මිල සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් තිබේ. තව අතෙකින් අනෙකුත් බඩු - භාණ්ඩවල මිල ද ඉහළ යමින් පවතී. මෙබඳු තත්ත්වයක් යටතේ ලාභදායී හොර අරක්කුවලට ජනතාව හුරුවීම ද අරුමයක් නොවේ. එය එසේ සිදුවන්නේ වුව පාසල සදාචාරවත් තැනක් ලෙස පැවැතිය යුතුය. එය කසිප්පු තිප්පොළක් වන්නේ නම් රටේ අනාගතය ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකිය. අප දන්නා තරමට පාසලක කසිප්පු නිෂ්පාදනය කිරීම පිළිබඳ විස්මිත ප්‍රවෘත්තිය අපට ලැබෙන්නේ පළමුවන වතාවට ය. මෙය පළමුවන වතාව මෙන් ම අවසන් වතාව ද විය යුතුය.

මේ ජාවාරම පසුපස ඇත්තේ කුමන පසුබිමක්දැ’යි සොයා බැලීම ඉතා වැදගත් ය. අප දන්නා පරිදි කසිප්පු නිෂ්පාදනය කරන ස්ථාන පිළිබඳ හොඳ ඉවක් පොලීසියට තිබේ. තමන්ගේ බල ප්‍රදේශය තුළ කසිප්පු නිෂ්පාදනයට සම්බන්ධ පුද්ගලයන් කවුරුන්දැ’යි කියන්නට ඕනෑම පොලිස් ස්ථානයක් දනී. මේ සිද්ධිය ද පොලීසිය දැනගෙන සිටින්නට ඇතැ’යි සැකයක් කෙනකුට ඇති විය හැකි ය. විදුහල්පතිවරයා පවා එය දැනගෙන සිටින්නට ඇතැ’යි සැක කළ හැකි ය. එය සත්‍යයක් නම්; අදාළ අංශවලට සලකමින් මේ ව්‍යාපාරය කරගෙන යන්නට ඇතැ’යි නිකමට මෙන් සිතන්නට පුළුවන. කසිප්පු ජාවාරමේ ලාභය දෙස බලනවිට එවැන්නක් සිදුවීමට හොඳටම ඉඩ තිබේ. චුදිතයා හසු වී ඇත්තේ කසිප්පු පෙරන ආම්පන්න හා ගෝඩා ලීටර් 250ක් ද සමඟ ය.

බොහෝ තැන්වල කසිප්පු ජාවාරම, වැලි ජාවාරම, කුඩු ජාවාරම කරගෙන යන්නේ දේශපාලන බලවතුන්ගේ ද සහයෝගය ඇතිව ය. එය එදත් එක ය. අදත් එක ය. මේවා පිටුදැකීමට නම් පළමුව දේශපාලකයා ගේ බලපෑම නතර කළ යුතුය. දේශපාලන බලපෑම් ඇති විටෙක එබඳු ප්‍රශ්නවලට පොලීසිය අත ගසන්නේ ඉතා පරෙස්සමෙන් ය. හිඟුරක්ගොඩ සිද්ධිය පිළිබඳ නිවැරැදි තොරතුරු හා දත්ත අප සතුනොවේ. එහෙත් එම සිද්ධිය දෙස නිදහස්ව බලන විට පෙනී යන්නේ බලධාරීන්ගේ සහයෝගය ද කැන්ටින්කාරයා වෙත ලැබී තිබෙන්නට ඇති බවය. කොළඹ සුරා බදු නිලධාරීන් හිඟුරක්ගොඩට ගොස් චුදිතයා අත්අඩංගුවට ගන්නේ ඒ නිසා ය. එහෙත් ඔහු ඇප මත නිදහස් කර තිබේ.

මේ සිද්ධියෙන් පාඩම් ගණනාවක් උගත හැකි ය. එක; පාසල්වල කැන්ටින් ගැන ද, කුඩුකාරයන් ගැනද සොයා බැලීමට විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය උත්සුක විය යුතු බව ය. දෙක ශිෂ්‍ය ප්‍රජාව මෙබඳු ක්‍රියාකාරකම් වෙතින් බේරාගැනීම සඳහා අලුත් ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ය. තුන විදුහල්පතිවරයා, ගුරු මණ්ඩලය පමණක් නොව; ගුරු දෙගුරු සංවිධාන, ආදි ශිෂ්‍ය සංගම් ආදියත් තම විදුහල් මාතාව ගැන සොයා බලන්නට ඉදිරිපත් විය යුතු බව ය. 

නව අදහස දක්වන්න