සයි­ටම් ප්‍රච­ණ්ඩ­ත්වය | දිනමිණ

සයි­ටම් ප්‍රච­ණ්ඩ­ත්වය

බන්දුල පී දයාරත්න

“ටොම්සන් මහත්තයා ඉන්නේ මෙහේද?” කියා ගෙන තරුණ ඉලන්දාරියෙක් තොරතුරු කන්තෝරුවට ගොඩ වැදුණේය. ඒ වේලේ ටොම්සන් මහත්තයා සිටියේ ඇම්බන් මහත්තයා සමඟ සාකච්ඡා කරමිනි.

“එන්ඩ මහත්තයා... මොකද මේ උදේ පාන්දරම ටොම්සන් මහත්තයා හොයන්නේ? මොකක් හරි තොරතුරු ඉල්ලා ඉල්ලුම් පත්‍රයක් යවන්ඩද? එන්ඩ මෙහාට...” කියා ටොම්සන් මහත්තයා තරුණ මහත්තයාට ඉඳ ගන්නට පුටුවක් දුන්නේය.

“මේ මහත්තුරු දෙන්නාගෙන් ටොම්සන් මහත්තයා කවුද? මං අඳුරන්නේ නෑ නේ...” කියා තරුණ මහත්තයා දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලූවේය.

“ඒක හොඳයි... අඳුරන්නේ නැති තරමට පාඩුවේ ඉන්න පුළුවන්... මේ තමයි ටොම්සන් මහත්තයා... මම ඇම්බන් මහත්තයා... අර එහා පැත්තේ ඉන්නේ උන්නැහේ... අපි තුන් දෙනා තමයි මේ කන්තෝරුව කර ගෙන යන්නේ...”

“බොහොම සන්තෝසයි... මං ආවේ පත්තරෙන්... අපේ පත්තරේ කර්තෘතුමා මට කීවා සයිටම් ගැන ටොම්සන් මහත්තයා එක්ක සාකච්ඡාවක් කරලා ලියා ගෙන එන්න කියලා...” කියා තරුණ මහත්තයා කීවේය. ටොම්සන් මහත්තයා ඇම්බන් මහත්තයා දිහා බලමින් හිස සෙලෙව්වේය.

“ඒ මොකද ඒ? මගෙන් තොරතුරු දැන ගන්න එව්වේ... කමක් නෑ... මහජන අදහස් පත්තරේකට වැදගත් නේ... ඉතින් මොනවද මගෙන් දැන ගන්න ඕනෑ...” කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

“ටොම්සන් මහත්තයා කියන ඒවා රෙකෝඩ් කර ගන්නම්... එතකොට මට ගිහිල්ලා ලියා ගන්න ලේසියි... කමක් නෑ නේද? ” කියා තරුණ මහත්තයා සිය ස්මාර්ට් දුරකථනය ක්‍රියාත්මක කොට මේසය මත තැබුවේය.

“කමක් නෑ... ඒක හොඳයි.. එතකොට මං කියපු විදිහටම ලියා ගන්න පුළුවන් නේ...මොකක්ද ඉතින් මගෙන් අහන්නේ?”

“මේකයි ටොම්සන් මහත්තයා... දැන් ඔය සයිටම් ප්‍රශ්නේ තියෙනවානේ... මේ දවස්වල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉස්පිරිතාලවල බැනර් එල්ලලා තියෙනවා... වෛද්‍ය සභාවේ ලියාපදිංචි නැති සුදුසුකම් නැති වෛද්‍යවරුන් බිහි වීම ආරම්භ වෙයි කියලා... මේ ගැන ටොම්සන් මහත්තයා මොකක්ද කියන්නේ?”

“මේකයි පත්තර මහත්තයා... ඒ ප්‍රකාශයම ජනයා නොමඟ යවන සුළුයි නේ. අපේ රටේ වෛද්‍යවරයෙක් කියලා පිළිගන්නේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වුණාට පස්සේ නේ... ලියා පදිංචි නැති කිසිම වෛද්‍ය උපාධිධාරියකුට වෛද්‍යවරයකු හැටියට වැඩ කරන්න බෑ නේ... ඒක තනිකරම මහජනයා නොමඟ යවන සුළු ප්‍රකාශයක්.”

“හොඳයි ටොම්සන් මහත්තයා... එතකොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් උපාධියට විරුද්ධව ඉදිරිපත් කරන තර්ක සාධාරණද?”

“තර්ක කීපයක්ම ඉදිරිපත් කරනවා නේ පත්තර මහත්තයා... එකක් තමයි නිදහස් අධ්‍යාපනය විනාශ වෙනවා කියන එක.. ඒක බොරු ප්‍රකාශයක් නේ.. මේ රටේ නිදහස් අධ්‍යාපනය පවත්වා ගෙන යන ක්‍රියාවලියක් තියෙනවා... ඒකට කිසිම බාධාවක් ඇති වෙලා නෑනේ.. මං හිතන්නේ නෑ කිසිම රජයක් මේ රටේ නිදහස් අධ්‍යාපනය නැති කරන්න අත ගහයි කියලා...”

“එතකොට සුදුසුකම් අඩු එහෙම නැතිනම් සුදුසුකම් නැති වෛද්‍යවරු බිහි වෙනවා කියන එක.”

“කෙටියෙන් කීවොත් ඒකට ප්‍රතිකර්මය සයිටම් උපාධිය සඳහා අවශ්‍ය සුදුසුකම් පිළිබඳ නියෝග සකස් කරන එක. අනික සුදුසුකම් නෑ කියලා කියන එක දෙයක් තමයි රෝහලක පුහුණුව. ඉතින් සයිටම් උපාධිය ලබාපු දරුවන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා ගන්න ඉඩ දුන්නේ නැත්තේ ඔය වෛද්‍ය සංගමේ නේ... සයිටම් උපාධිධාරිනුත් මේ රටේ දෙමාපියන්ගේ දරුවෝ... එතකොට රජයේ රෝහල්වල අයිතිකාරයෝද රජයේ වෛද්‍යවරු... එහෙම බලා ගෙන ගියාම මේ රටට ආණ්ඩුවක් ඕනැ නෑ නේ... ”

“තව ප්‍රශ්නයක්... අධ්‍යාපනය විකුණනවාට විරුද්ධයි. සයිටම් වසා දමනු කියලා අන්තරේ උදවිය මේ දවස්වල පාරට බැහැලා පෙලපාලි යනවා... ඒ ගැන ටොම්සන් මහත්තයා මොකද කියන්නේ.?”

“විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත ඕනැම කෙනෙක්ගෙන් අහලා බලන්න... ඉස්කෝලේ දැඩි නීති රීති විනය පටිපාටිවලින් අවුරුදු දහතුනක් හැදුණු වැඩුණු මේ තරුණ දරුවෝ විශ්වවිද්‍යාලෙට ආවාම පුදුමාකාර නිදහසක් ලබනවා... හැබැයි හිතන්න එපා ඔවුන් මේ සමාජය පරිණත විදිහට අර්ථකථනය කරනවා කියලා... එහෙම අර්ථකථනය කරන්න අවශ්‍ය දැනුම හෝ අත්දැකීම් ඔවුන්ට නැහැ...

ඉතින් අලුතින් ලැබුණු නිදහස තුළ මේ තරුණ ශිෂ්‍යයෝ ඉතාම පහසුවෙන් අරගලකාරී වැඩවලට යොදවා ගන්න පුළුවන්... ඒ ගැන ඉතිහාසයක් අපේ තියෙනවා... මෙතනත් වෙලා තියෙන්නේ ඒකම තමයි... පළමුවැනි හා දෙවන අවුරුදුවල තරුණ ශිෂ්‍යයෝ තමයි මේ විදිහට දක්කා ගෙන යන්න පුළුවන්... ඒ අතර පිටස්තර දේශපාලන ව්‍යාපාර බොහොම ලස්සනට මේකට අත දානවා... මුදල් වියදම් කරනවා... මොළ හෝදනවා... ඉතින් යන්නේ කොහෙද කියා නොදැන මේ ශිෂ්‍යයෝ පාරට බස්සා ගන්න හරිම ලේසියි. අනික එහෙම ආවේ නැතිනම් ඒකෙනුත් පීඩා විඳින්න සිදු වෙනවා නේ.. ”

“ආසන්නතම හොඳම උදාහරණයක් තියෙනවා.. කොළඹ විශ්වවිද්යාලයේ නේවාසිකාගාරයේ මේ ඊයේ පෙරේදා ඇති වුණ ගහ ගැනීම. දේශපාලන කරන හා නොකරන අය අතරයි මේ අරගලය වෙලා තියෙන්නේ... ඒ කියන්නේ දේශපාලනය කරන ශිෂ්‍යයෝ දේශපාලනය නොකරන ශිෂ්‍යයන්ගේ ස්වාධීනත්වයට ගරු කරන්නේ නෑ... දැන් වෙලා තියෙන්නේ... මට නම් පේන්නේ... මේ සයිටම් විරෝධී ව්‍යාපාරයට පොදු මහජන සහයෝගයක් නෑ... දේශපාලන පසුබිම සහිත සටනක් තියෙන්නේ...”

“තවත් ප්‍රශ්නයක් ටොම්සන් මහත්තයා... මේ ගිය සතියේ දවසක කොළඹ දුම්රිය පොළ ඉදිරියේ පැවැති රැස්වීමකදී අන්තරේ ලහිරු සහෝදරයා කියලා තියෙනවා දැන් අපි සටන ජයග්‍රහණය කරන්න ළඟයි කියලා... ඒ ගැන මොකද කියන්නේ?”

“ජයග්‍රහණය ගැන නම් මට යමක් කියන්න බෑ... ඒ වගේ මීට කාලෙකට ඉස්සෙල්ලා පාසල් අධ්‍යාපනය සංශෝධනය කරන්න ගෙනාපු ධවල පත්‍රිකාවකට විරුද්ධව ඔය වගේ අරගල කරලා ඒක අහෝසි කර ගත්තා නේ... ඉතින් ඒකෙන් සිද්ධ වෙච්චි හොඳේ මොකක්ද? එදා ඒ අධ්‍යාපන ධවල පත්‍රිකාව ක්‍රියාත්මක කරන්න ඉඩ ලැබුණා නම් අපේ පාසල් අධ්‍යාපනය මීට වඩා හොඳ තැනකට වෙනස් වෙන්න තිබුණා... මෙතන තියෙන්නේ මෝඩයෝ දාහක් එක්ක එක පණ්ඩිතයෙක් මොනවා කරන්නද? වගේ තත්ත්වයක්.”

“ටොම්සන් මහත්තයා හිතනවාද මේ විදිහට පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ දෙන එක මේ රටට හොඳයි කියලා...”

“මේක නේ පත්තර මහත්තයා... රට වෙනස් වෙනවා... ලෝකය වෙනස් වෙනවා... එක තැනක අපට ඉන්න බෑ... සමාජය පුළුල් වෙනවා... කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීපු වෙලාවේ වත් කිව්වේ නෑ නේ පෞද්ගලික අධ්‍යාපනය නැති කරනවා කියලා... එතකොට තිබුණු පෞද්ගලික පාසල් රජයට පවරා ගත්තේ ඊට හුඟ කාලයකට පස්සේ... ඒත් තවමත් අපේ රටේ පෞද්ගලික පාසල් තියෙනවා...

කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීම නිසා මේ රටේ දරුවන්ට ස්වභාෂාවෙන් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. ඒ කාලේ යන්තම් ජ්‍යෙෂ්ඨය සමත් නම් විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වුණා. උපාධිය ගත්තම මොන රැකියාවද තෝරා ගන්නේ කියලා ලොකු අවකාශයක් තිබුණා... අද ඊට වැඩිය හුඟක් වෙනස් නේ...

ඉතින් අපේ රටේ දරුවන්ට ඉගෙන ගන්න රජයේ අධ්‍යාපන අවකාශය විතරක් මදි... ඒකට යම් විදිහකට ප්‍රමිතියකට අනුව පෞද්ගලික අධ්‍යාපන සඳහා ඉඩ දීමේ මොකක්ද ඇති වැරැද්ද... උසස් අධ්‍යාපනය ලබන්න පුළුවන් නිදහස් අධ්‍යාපනය ඔස්සේ විතරයිද? එතකොට අනික් දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකමට මොකද වෙන්නේ..? මේවා මේ සමාජයේ අලුතින් ඇති වෙලා තියෙන ප්‍රශ්න... ඒවා ගැන පැරණි මිනුම් දඬුවලින් මැන ගෙන යන්න බෑ...”

“බොහොම ස්තුතියි ටොම්සන් මහත්තයා... අපි ලබන සතියේ සයිටම් ගැන විශේෂාංග පිටුවක මේ සාකච්ඡාව පළ කරනවා...”

“ටිකක් ඉන්න පත්තර මහත්තයා... හැත්තෑ හතේ අවුරුද්දේ තිබුණු මැතිවරණයේදී දේශපාලන වේදිකාවදී ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් කිව්වා... කවුද කියන්නේ රුපියලේ අගය අඩු වෙලා කියලා... රුපියලට එදත් සත සීයයි... අදත් සීයයි කියලා... ඇයි එහෙම කිව්වේ? මේ රටේ පොදු ජනතාව මෝඩයන් කියලා හිතාගෙන...

ඒ විදිහටම තමයි මේ සටන් පාඨයත් හදලා තියෙන්නේ අධ්‍යාපනය විකිණීම, සයිටම් උපාධි කඩය... මේ රටේ පොදු ජනතාව ගොනාට අන්දවන්න තමයි මේ වචන බොහොම පරිස්සමින් යොදා ගෙන තියෙන්නේ... නමුත් ඒක ඇත්ත නෙවෙයි... තව ඔය ඕනැ තරම් උපාධි පිරිනමන පුද්ගලික විශ්වවිද්‍යාල ආයතන ශ්‍රී ලංකාවේ තියෙන්නේ... කෝ ඒවාට විරුද්ධව කතාවක්... පොඩි කතාවක් කියන්නම්... ඔය කියන රජයේ වෛද්‍යවරු තමයි හෙදියන්ට උපාධියක් දෙන්න ලෑස්ති කරන කොට ඒකට විරුද්ධ වුණේ. ඔය කියන රජයේ වෛද්‍යවරු තමයි සම සෞඛ්‍ය පාඨමාලාවට හානි කරලා ඒකේ අධ්‍යයන කාලය අවුරුදු හතර තුන බවට පත් කළේ... ඒකත් ලියන්න මං කීවා කියලා...”

කියා ටොම්සන් මහත්තයා පත්තර මහත්තයා එක්ක සාක්ච්ඡාව අවසන් කළේය.

නව අදහස දක්වන්න