දඹුල්ල කාබනික පොහොර මධ්‍යස්ථානයේ ගොඩනැඟිලි විනාශයට | දිනමිණ

දඹුල්ල කාබනික පොහොර මධ්‍යස්ථානයේ ගොඩනැඟිලි විනාශයට

මාතලේ දිස්ත්‍රික් සමුහ - ඒ.ඒ.එල්.ඩයස්

මීට දශක 2-3කට පමණ පෙර රුපියල් දසලක්ෂ 15ක් පමණ වැයකර දඹුල්ල නගර සීමාව තුළ ක්‍රියාත්මක කළ කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානය නිරපරාදේ විනාශයට යමින් පවතී.

දඹුල්ල නගරයේ එක් රැස්වන අපද්‍රව්‍ය ඉලක්ක කර ආරම්භකළ මෙම ව්‍යාපෘතියට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර රුපියල් දසලක්ෂ ගණන් වැය කරමින් ආනයනය කර මෙහි සවිකර කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානය එදා ආරම්භ වූයේ පෙදෙස්වාසීන්ගේ සිත්තුළ දහසකුත් බලාපොරොත්තු ඇති කරමිනි.

සේවකයන්ට සිටීමට අවශ්‍ය ගොඩනැඟිලි ද එම පරිශ්‍රය තුළම ඉදිකළහ. නමුත් ගතවුයේ කෙටිකලකි. සියලු බලාපොරොත්තු සුන්කරමින් මෙම ව්‍යාපෘතිය හිටි අඩියේ නතරකර දැමීමට කළමනාකාරීත්වය විසින් පියවර ගෙන තිබුණි.

අද කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානයේ සියලු යන්ත්‍ර සූත්‍ර දිරාපත් වන්නට ඉඩහැර ඇත. ගොඩනැඟිලිවල තිබු ජනෙල් උළුවහු පවා අතුරුදහන් වුයෙන් එම ගොඩනැඟිලි ද කඩා වැටෙන්නට විය. දැනට පාළු ස්ථානයක් බවට පත්ව ඇති මෙම කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානය ඇතැම් කණ්ඩඩායම් විසින් රාත්‍රියේ

විවිධ අපචාර ක්‍රියාවන් සඳහා යොදාගන්නා බව ප්‍රදේශවාසීහු පවසති. මෙය අවට පදිංචිකරුවන්ට මහත් පීඩාවකි.

කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානයේ ගොඩනැඟිලි මෙන්ම යන්ත්‍ර සූත්‍රද ඉවත්කර ගන්නා ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

නව අදහස දක්වන්න