මතින් තොර රටක්...! | දිනමිණ

මතින් තොර රටක්...!

 රටේ ජනතාවට අතිශයින් ම වැදගත් ප්‍රවෘත්තියක් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් හෙළිදරව් කර තිබේ. ඉන් කියැවෙන්නේ වසරකට මේ පුංචි ශ්‍රී ලංකාවේ තිස්පන් දහසකට අධික පිරිසක් මත්පැන් හා දුම්වැටි නිසා මියයන බවය. රටේ ජනගහනය දෙකෝටි විසිලක්ෂයක්පමණ වේ. වසරකට 35,000ක් අකාලයේ මිය යන්නේ නම්; මිනිස් සම්පත පිළිබඳ අභියෝගයක් අපට ඇතැ’යි කියන්නට පුළුවන. තවත් අතෙකින් ශ්‍රී ලංකාව යනු නොමිලේ සෞඛ්‍ය සේවා හා සෞඛ්‍ය උපදේශන ලබාදෙන රාජ්‍යයකි. මේ සඳහා දරන වියදමද සුළුපටු නැත. ප්‍රවෘත්තියට අනුව ඒ සියල්ල අපතේ ගොස් ඇතැ’යි සිතන්නට පුළුවන.

ප්‍රවෘත්තියෙන් හෙළිදරව් වන තවත් වැදගත් කරුණු කිහිපයක් තිබේ. පළමුවන්න මෙලෙස අකාලයේ මිය යන අයගෙන් 5%ක් දරුවන් බව ය. අපේ දරු පරපුර අතර ද, මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම්වැටි ප්‍රචලිත බව එයින් පෙනී යයි. දෙවන්න රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිට මිය යන පිරිසෙන් 70%ක් බෝ නොවන රෝග නිසා ජීවිතයෙන් සමුගන්නා බව ය. එය තවත් භයානක තත්ත්වයකි. මත්පැන් - දුම්වැටි ආදියට අමතරව, සීනි, ලුණු හා මේදය අඩංගු ආහාර පමණ ඉක්මවා ගැනීමට අපේ ජනතාව හුරු වී ඇති බව එයින් පැහැදිලි ය. තෙවන්න මත්පැන්. මත්ද්‍රව්‍ය හා දුම්වැටි ආශ්‍රිත රෝගවලින් මිය යන සංඛ්‍යාවෙන් වැඩි පිරිස පිරිමි පාර්ශ්වය වීම ය. එය රටේ සංවර්ධනයට අභියෝගයක් බව කිව යුතු ය.

මත්පැන් භාවිතය කොතෙක් දුරට රටේ ප්‍රචලිත වී තිබේ ද යත්; අඩියක් නොගහන පිරිමි කෙනකු සොයා ගැනීම අපහසු ය. කලාතුරෙකින් මත්පැන් පානය කරන අයට වඩා දිනපතා මත්පැන් පානය කරන පිරිස අධික වෙති. කාර්යාල සේවකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් සන්ධ්‍යාවේ සිරිතක් ලෙස බාර් එකට යති. ව්‍යාපාරිකයෝද, උසස් නිලධාරීහුද, දේශපාලකයෝ ද සිරිතක් ලෙස දිනපතා මත්පැන් භාවිත කරති. මත්පැන් හා දුම්වැටි අතර සම්බන්ධයක් තිබේ. මේ දෙක ම භාවිත වන්නේ එකට ය. එය මෝස්තරයක් බවට ද පත්ව තිබේ. මේ දෙකෙහිම පන්ති ස්වරූපයක් ද තිබේ. ධනවත් අය උසස් වර්ගයේ බීම හා මිල අධික සිගරට් භාවිත කරති. නිර්ධන පන්තිය එහි අනෙක් පැත්ත ය.

ශ්‍රී ලංකාවේ මත්පැන් නිෂ්පාදනයෙහි විවිධ ප්‍රභේද පවතී. උසස් බීම වර්ග රටින් ගෙන්වයි. සාමාන්‍ය අරක්කු රටේ නිෂ්පාදනය කරයි. ඒවාට ප්‍රමිතියක් තිබේ. එහෙත් හොර අරක්කු හා නීති විරෝධී කසිප්පු විශාල ප්‍රමාණයක් දෛනික ව නිෂ්පාදනය වෙයි. මෑතක දී හෙළිදරව් වූයේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක කැන්ටිමේ ද ගජරාමෙට කසිප්පු පෙරා ඇති බවය. හොර අරක්කුවලට මෙන් ම කසිප්පුවලට ද ප්‍රමිතියක් නැත. මේවායින් ශරීරවලට සිදුවන හානිය ඉතා බලවත් ය. අක්මා රෝග නිසා මිය යන බොහෝ දෙනකු හොර අරක්කු හා කසිප්පු භාවිත කර ඇතැ’යි අප විසින් කරන ලද සොයා බැලීමක දී හෙළි වී ඇත. මේ නිසා, පළමුව නීති - විරෝධී මත්පැන් නිෂ්පාදනය වැළැක්විය යුතු ය.

අපේ මුල් ජන සමාජය මත්පැන් හා දුම්වැටි භාවිත කළේ නැත. පරංගියා රතු වයින් බොමින් සුදු පාන් අනුභව කරනවා දුටු සිංහලයා එය රජුට වාර්තා කළේ යක්ෂයන් පිරිසක් ලේ බොමින් තිරුවානා ගල් ආහාරයට ගන්නා බව කියමින් ය. පසු කාලයක ඉංග්‍රීසිකාරයා ප්‍රභූ පන්තියට සැලකීම සඳහා රටබීම යොදා ගත්තේ ය. මහජනයා අතර අරක්කු ප්‍රචලිත කිරීම සඳහා ඒවා නොමිලයේ බෙදා හැරියේ ය. මත්පැන් නිෂ්පාදනය ලාභදායී කර්මාන්තයක් වන බැවින් අපේ ව්‍යාපාරික පන්තිය ඊට වහ වැටුණේ යැයි කියන්නට පුළුවන. අද වන විට ශ්‍රී ලංකාව යනු මත්පැන් භාවිතය අතින් කප් ගැසූ රටකි. එය කෙතරම් භයානක ලෙස පැතිර තිබේද යත්; පොහොය දිනයේත් හොර රහසේ වැඩි මිලට මත්පැන් අලෙවි කරනු ලැබේ.

කුඩු ජාවාරම පවතින හා ඊට අදාළ ප්‍රවාහනයට සම්බන්ධ මධ්‍යස්ථානයක් ලෙස ද ශ්‍රී ලංකාව ප්‍රකට වී ඇත. කුඩු ජාවාරම අතිශය ලාභදායී ව්‍යාපාරයක් බැවින් දේශපාලකයන් පවා ඊට සම්බන්ධ වී සිටින බවට තොරතුරු හෙළිදරව් වී ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම පිටුදැකීම සඳහා විශේෂ නීති - රීති ඇත. විශේෂ මෙහෙයුම් ඇත. කාර්ය සාධන බළකා ද පිහිටුවා ඇත. එහෙත් මේ කිසිවකට මත්ද්‍රව්‍ය ජාවාරම මුළුමනින් ම වැළැක්වීමේ හැකියාවක් නැත. දුම්වැටි සම්බන්ධ ගැටලුව පවත්නේද එබඳු තැනක ය. රජය විවිධ උපාය මාර්ග භාවිත කරන්නේ වුව දුම්වැටි භාවිතය සැලැකිය යුතු මට්ටමකින් අඩු වී නැත. මත්පැන් භාවිතය නම් දිනෙන් - දින ම ඉහළට ගමන් කරයි.

ජනතාව තාවකාලික තෘප්තිය සොයා ගමන් කරන බවක් පෙනෙන්නට තිබේ. ඇතැම් විට ඊට හේතුව ජීවිතයේ ගැටලු උත්සන්න වීම විය හැකි ය. නැතහොත් හුදෙකලාභාවය විය හැකි ය. සමහරු වැඩ කිරීමට අදාළ උත්තේජකයන් ලෙස ද මත්පැන් හා දුම්වැටි භාවිත කරති. සමහරු තේ බොමින් සිගරට් උරමින් වැඩ කරති. තව සමහරු හීනියට මත්පැන් අඩියක් ගෙන දිගට ම වැඩ කරති. දිගට ම අඩි ද ගහති. තවත් සමහරු වෙහෙස - මහන්සිය නිවා ගැනීම සඳහා පුරුද්දක් ලෙස මේවාට හුරු වී සිටිති. මේ සියල්ලෙහි ප්‍රතිඵලය අතිශය භයානක බව ඔවුන් දන්නේ නැත. දන්නේ වුව ඒවා ගණනකට ගන්නේ නැත. මේ සියල්ලෙන් විනාශයට පත්වන්නේ රටේ ශ්‍රම හමුදාවය.

මත්පැන් භාවිතය, දුම්වැටි භාවිතය මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයත් වැළැක්විය හැක්කේ සමාජය දැනුම්වත් කිරීමෙන් පමණකැ’යි සිතන්නට පුළුවන. මේවායෙහි ආදීනව අවබෝධ කරගෙන ඉන් වැළකීමේ වුවමනාවක් සමාජය තුළ රෝපණය විය යුතුය. පාසල් අධ්‍යාපනය මෙන්ම දහම් පාසල් අධ්‍යාපනය ද මේ සඳහා යොදාගත හැකි මාධ්‍ය දෙකක් ලෙස සැලැකිය හැකි ය. ආගමික මධ්‍යස්ථාන ඔස්සේ ද මේ සම්බන්ධයෙන් සාර්ථක වැඩසටහන් මෙහෙයවිය හැකි ය. රජයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් නොව; මුළු මහත් සමාජයටම මතින් තොර රටක් බිහි කිරීමේ වුවමනාව තිබිය යුතුය. එසේ නොමැතිව මෙයින් වැළකීම දුෂ්කර ය.

සෞඛ්‍ය අමාත්‍යවරයා කරන හෙළිදරව්ව කෙරෙහි මුළු මහත් සමාජයේ ම අවධානය යොමු විය යුතුව තිබේ.

නව අදහස දක්වන්න