ශ්‍රී ලාංකිකයන් මුදා හරින්න ඩොලර් ලක්ෂ 50ක් ඉල්ලයි | දිනමිණ

ශ්‍රී ලාංකිකයන් මුදා හරින්න ඩොලර් ලක්ෂ 50ක් ඉල්ලයි

විජයානි එදිරිසිංහ
උපාලි කරුණාරත්න

සෝමාලියා මුහුදු කොල්ලකරුවන් යටතට ගෙන ඇති අයිරිෂ් 13 ඉන්ධන නැවේ සිටින ශ්‍රී ලාංකික නැවියන් මුදා හැරීම සඳහා එම කොල්ල කල්ලිය විසින් අමෙරිකන් ඩොලර් මිලියන පහක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා තිබේ.

මෙම නෞකාවේ ප්‍රධාන නාවික නිලධාරී ලෙස කටයුතු කර ඇත්තේ කේ.ටී. ප්‍රේමනාත් රුවන් සම්පත් නැමැති මතුගම පදිංචිකරුවෙකි. සෙසු සේවකයින් වනුයේ සම්පත් - මීගස්තැන්න, අනුරංග - ගාල්ල, නිකලස් - යාපනය, ජයන්ත - කොළඹ, ‍ශවේන්ද්‍ර - මාතර, ෂන්මුගම් - මාතලේ, ඉඳුනිල් - ඉමදූව, බී.සී. පෙරේරා - ගම්පල ය.

කොල්ල කල්ලිය අදාළ පණිවුඩය සෝමාලියා රජය වෙත දැනුම් දී ඇති බව පැවසෙන අතර සෝමාලියා රජය සහ ශ්‍රී ලංකාව රාජතාන්ත්‍රික වශයෙන් එක්ව මෙම නැවියන්ගේ ජීවිත නිරුපද්‍රිතව බේරාගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන යමින් සිටියි. ඊට අදාළ ඉහළ මට්ටමේ සාකච්ඡා රටවල් දෙකෙහිම ආරක්ෂක ප්‍රධානීන් අතර සිදුවෙමින් පවතී.

නෞකාවේ සිටි ශ්‍රී ලාංකික නැවියන් 8 දෙනා කාර්ය මණ්ඩලය ලෙස කටයුතු කර තිබේ. ඔවුන් පිළිබඳ සියලු තොරතුරු ඉන්ධන නැව හිමි අනෝරා ෂිප් මැනේජ්මන්ට් සමාගම විසින් රජයට ලබා දී තිබේ. පෙරේදා අලුයම් කාලයේදී සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් මෙම නෞකාව ඩුබායි සිට සෝමාලියාව දක්වා ‍යාත්‍රා කරමින් තිබියදී සෝමාලියානු මුහුදු තීරයට ආසන්නයේ ඔවුන් යටතට ගෙන තිබේ.

පෙරේදා පස්වරු වන තෙක්ම කොල්ල කල්ලිය විසින් කිසිදු ඉල්ලීමක් කර නොතිබිණි. ඊයේ අලුයම ඔවුන් සෝමාලියා රජය හා සම්බන්ධ වී ශ්‍රී ලාංකික නැවියන් අට දෙනා ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ඇති බවත් ඔවුන් නිදහස් කිරීමට නම් ඩොලර් මිලියන පහක් ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.

මෙම නැව මුහුදු කොල්ලකරුවන් අතට පත් වූ අවස්ථාවේ සිට ශ්‍රී ලංකා රජය සෝමාලියා රජය එක්ව ජාත්‍යන්තර ඒකාබද්ධ සමුද්‍රිය බළකායේ සහාය ඇතිව ඔවුන් බේරා ගැනීම සඳහා අවශ්‍ය මෙහෙයුම් දියත් කර තිබිණි.

ඔවුන්ගේ ජීවිතවලට කිසිදු ආකාරයෙන් අනතුරක් සිදුවීමට ඉඩ නොදී ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනීමට අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගනිමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වළාකුලුගේ මහතා ප්‍රකාශ කළේය.

කොමරෝස්හි ලියාපදිංචි වී ඇති එම නැව පසුගිය ජනවාරි 28 වැනිදා ඩුබායි සිට සෝමාලියාව දක්වා යාත්‍රා කිරීම ආරම්භ කර තිබිණි. ඒ අතරතුර එම නැව තවත් රටවල් කිහිපයකටම ගොස් ඇතැයි පැවසේ. ඊයේ පස්වරුවේ මුහුදු කොල්ල කල්ලිය ප්‍රධාන ඉල්ලීම කිරීමෙන් පසු යළි ඔවුන්ගේ සන්නිවේදන කටයුතු නවතා ඇතැයි වාර්තා වෙයි. 

නව අදහස දක්වන්න