බදාගත් නමුත් කළේ කුමක්ද? | දිනමිණ

බදාගත් නමුත් කළේ කුමක්ද?

සාහිත්‍ය අනු මණ්ඩලයට විවෘත විවේචනයක්

වර්තමාන කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් පසු අමාත්‍යංශ අතර බලය බෙදා හැරීමේදී එතෙක් සංස්කෘතික අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා කලා මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යංශය යටතට පත් කරනු ලැබීය. දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ මණ්ඩල කුමන අමාත්‍යංශය යටතට පැවරිය යුතු දැයි තීරණය කිරීමේ අභිමතානුසාරී බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ජනාධිපතිවරයා වෙත හිමිව ඇත්තේය. එබැවින් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීම නිරර්ථක කාර්යයක් වන්නේය. නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේදීත් කැබිනට් සංශෝධන සිදු කිරීමේදීත් අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තු මණ්ඩල ආදිය මාරු කිරීම සාමාන්‍ය සිද්ධියකි. එවැනි අවස්ථාවල අමාත්‍යාංශය යටතේ ඇති වැය ශීර්ෂ මුදල් අමාත්‍යාංශයේද සහායෙන් මාරු කර ඉදිරි කටයුතු කරගෙන යාම සාමාන්‍ය සම්ප්‍රදායයි. තම අමාත්‍යාංශයට කලින් අයත්ව තිබූ දෙපාර්තමේන්තුවේ හෝ සංස්ථාවේ හෝ මණ්ඩලයේ වැඩ කටයුතුවලට මැදිහත් වීමට යන්නේ නැත. ඊට වඩා වෙනස් පිළිවෙතක් අනුගමනය කළ අවස්ථාවක් සංස්කෘතික අමාත්‍යංශය තුළින් අපට දැකිය හැකි විය. සංස්කෘතික අමාත්‍යාංශයෙන් ඉවත් කොට අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරූ කාර්යභාරයක් එම අමාත්‍යාංශයට පවරා නොදී එකී කාර්යභාරය තමන් විසින්ම ඉටු කරනු ලැබීම එම අවස්ථාවයි. මෙයින් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය සංස්කෘතික අමාත්‍යාංශයෙන් ඉවත්කොට අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරීමට ගරු ජනාධිපතිතුමා ගත් ප්‍රතිපත්තිමය තීරණය මායිම් නොකර කටයුතු කිරීමක් නොවේද?

මෙවර රාජ්‍ය සාහිත්‍ය උත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය යටතේ ඇති සාහිත්‍ය අනු මණ්ඩලයේ මෙහෙයවීමෙන් නොවේ, සංස්කෘතික අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් එක්ව පිහිටුවා ගත් ඊනියා සාහිත්‍යා උපදේශක කමිටුවකිනි.

රාජ්‍ය සාහිත්‍ය උත්සවය පැවැත්වීම වැනි කටයුතු සංවිධානය කිරීම සඳහා රජය බලය පැවරූ ආයතනයක් තිබියදී සාහිත්‍ය උපදේශක කමිටුව නමින් මණ්ඩලයක් පිහිටුවා ඔවුන්ට රාජ්‍ය සාහිත්‍ය උත්සවය පැවැත්වීමට බලය පැවරීමට සංස්කෘතික අමාත්‍යාංශයට සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අධිකාරී බලයක් ලැබුණේ කෙසේද? අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධිත ශ්‍රී ලංකා කලා මණ්ඩලයට අයත් කාර්යභාරයන් බලහත්කාරයෙන් තමන්ට පවරා ගැනීමට කටයුතු කිරීමෙන් පෙනී යන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ තිබූ කලා මණ්ඩලයට වෙන් කර තිබූ මුදල් අධ්‍යාපන අමාත්‍යාංශයේ අදාළ අංශයට පවරා නොදී තමන්ම වියදම් කිරීමට කටයුතු කිරීමයි. මෙය රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීමක් නොවේද?

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කලා මණ්ඩලය සංස්කෘතික අමාත්‍යංශයෙන් ඉවත් කොට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැවරීම වැඩි දුර නොසිතා ගත් අමනෝඥ තීරණයක්ය යන්න මුලදී අපගේද අදහස විය. එහෙත්...... එම තීරණය ගැනීමට සාධාරණ හේතු තිබී ඇති බව දැන් පෙනී යයි.

සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ එහි අනුමණ්ඩලය ක්‍රියාත්මක වීමේදී විවිධ විවේචන මෙන්ම චෝදනා එල්ල වූ බව රහසක් නොවේ. පසුගිය වසර කීපය තුළ විශේෂයෙන් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය සහ නාට්‍ය අනුමණ්ඩලය සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වූ අතර එම විවේචනවලට තුඩු දුන් කාරණාවලින් මිදී කටයුතු කිරීමට ශ්‍රී ලංකා කලා මණ්ඩලය මැදිහත් වී සාහිත්‍ය අනුමණ්ඩලය සහ නාට්‍ය අනුමණ්ඩලය දැනුවත් කළ බවක් පෙනෙන්නට නොවීය. මෙම අනු මණ්ඩලය ජනමාධ්‍ය තුළින් එල්ල වූ විවේචන නොදුටුවාක් මෙන් සිට පරණ වැරදි පුන පුනා කරන බවක් පෙනෙන්නට ඇත. ඒ සඳහා නිදසුන් කිහිපයක් මෙසේ ය.

දැනට වසර කීපයකට පෙර හොඳම ශාස්ත්‍රීය පරිවර්තනයට හිමි සම්මානය පිරිනැමුනේ ඩාවින්ගේ පරිනාමවාදය පිළිබඳ ලියැවුණ පොතේ පරිවර්තනයටයි. එම පරිවර්තනය ඉතා දුර්වල එකක් බවත් හරි හැටි වාක්‍ය ගැලපීමක් පවා සිදු කර නැති බවත් අදාළ පරිවර්තකයාට තත් විෂය පිළිබඳ දැනුමක් තිබී නැති බවත් සඳහන් කරමින් පුවත්පත්වල ලිපි පළ විය. එම පරිවර්තකයාද පසුව තමන්ගේ අඩුපාඩු පිළිගැනීමට තරම් නිහතමානී විය. (ඔහු දැනට ජීවතුන් අතර නැති බැවින් ඔහුගේ නම් සඳහන් කිරීම සුදුසු නොවේ) එමෙන්ම සම්මානයට පාත්‍රවූ බොහෝ කෘති පිළිබඳ තර්කශ විවේචන පළ විය. ඒ කිසිවකට සාහිත්‍ය අනුමණ්ඩලයෙන් පිළිතුරු නොලැබිණ.

සාහිත්‍ය අනුමණ්ඩලයෙන් සකස් කරන සමරු කලාපයේ තත් වර්ෂයේ සම්මාන සඳහා කෘති තේරූ සමීක්ෂකයන් පිළිබඳ විස්තර ඔවුන්ගේ ඡායාරූපත් සමඟ පළ විය. වසර කීපයක්ම පළ වූ සමරු කලාප බැලූ විට දක්නට ලැබුණේ එකම පිරිසකගේ නම්ය. එහි එන නම් අතර සාහිත්‍ය සම්මාන තේරීමට සුදුසු තරමේ විද්වත් සාමාජිකයන්ගේ නම්ද ඇතුළත් විය. එහෙත් එම සමීක්ෂකයන් වැඩි පිරිස ඒ සඳහා සුදුසුද යන සැකය ඇති වීම වැළැක්විය නොහැකිය. එම සමීක්ෂකයන්ට සම්මාන සඳහා පොත තේරීමේ විනිශ්චයකට සහභාගි වීමට තරම් සුදුසුකම් තිබේදැයි දැන ගැනීමට කිසිදු ක්‍රමයක් නොවීය. මන්ද යත් එම සමීක්ෂකයන් වැඩි දෙනෙකු සාහිත්‍ය කෘති කෙසේ වෙතත් යටත් පිරිසෙයින් පුවත්පතක කර්තෘට ලිපි පළ වන තීරයකටවත් ලිපියක් සපයා ඇති අය නොවීමයි. ඔවුන්ගේ කෙරුවාව දැනගත හැකි එකම ක්‍රමය ඔවුන් සම්මානයට සුදුසු යැයි තෝරාගෙන ඇති කෘති කියැවීමයි. එම කෘතිවල අන්තර්ගතය සහ වෙනත් කරුණුද සලකා බලන විට පහත නිරීක්ෂණ ඉදිරිපත් කළ හැකිය.

1. සමලිංගික සේවනය ප්‍රවර්ධනය කරමින් ලියැවුණ සහ විවාහකයන් අතර ඇති වන අනියම් සම්න්ධතාවන් රස කර කර කියන කෘති.

2. නිවැරදි වාක්‍ය ගැළපීමක් සහ මූලික ව්‍යාකරණ නීතිවත් පිළිනොපැද ඇති කෘති.

3. කිසිදු පාඨකයකුට නොතේරෙන අපබ්‍රංස භාෂාවකින් ලියැවුණ කෘති.

4. අසවලාට සම්මානයක් නිර්දේශ නොකළොත් මාධ්‍යවලින් බැට කන්නට සිදු වේය යන බිය නිසා තෝරාගත් කෘති.

5. රහස් පරීක්ෂක කතා මාරක කතා ගණයට වැටෙන අවර ගණයේ කෘති.

6. තමන්ගේ හිතවත් මිත්‍රයන් විසින් ලියන ලද කෘති.

මෙසේ සම්මානයට පාත්‍රවන කෘති බොහොමයක් එම වසරෙන් පසුව පාඨකයන් අතර ගැවසෙන බවක් නොපෙනේ. ඊට හේතුව එම තෝරා ගැනීම්වල ඇති දුර්වලතාවය සහ එම කෘතිවල සනාතන වටිනාකමක් නොවීමයි.

මෙම සමීක්ෂණ මණ්ඩල පත් කරන සාහිත්‍ය අනු මණ්ඩලය ගැනද යමක් කිව යුතුය. පසුගිය වසර කීපය තුළ එහි සභාපතිත්වය දැරුවේ නිර්මාණ, පරිවර්තන සාහිත්‍යයට හෝ විචාර කලාවට කිසිදු දායකත්වයක් නොසැපයූ අයෙකි. සමීක්ෂකයන් තෝරා ගැනීමේදී කිසියම් නිර්ණායකයක් අනුව කටයුතු නොකරන බවත් තමන්ගේ පෞද්ගලික හිතවත්කම පමණක් එකම නිර්ණායකය ලෙස සළකන බව පෙනී යන්නේ පසුගිය වසර කීපය තුළම එකම පිරිසක් තෝරා ගන්නා බව පෙනී යන හෙයිනි. මෑත අතීතයේදී කලා මණ්ඩලයේ සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපතිත්වය දැරූවන් අතර සැබෑ ශාස්ත්‍රවන්තයන් පිරිසක් කටයුතු කළ බව අමතක කළයුතු නොවේ. මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස, මහාචාර්ය ඒ. වී. සුරවීර, කේ. ජයතිලක, මහාචාර්ය මිනිවන් පී. තිලකරත්න වැනි විද්වත්හු මෙම මණ්ඩලවල සේවය කළහ. එහෙත් දේශපාලකයන්ට කත් අදින නිසා එම තනතුරුවලට පත් වූ කිහිප දෙනෙකුම සිටි බවද අමතක කළ නොහැකිය.

මෙම කාරණා අනුව පෙනී යන්නේ කලා මණ්ඩලය සංස්කෘතික අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට සාධාරණ හේතු තිබී ඇති බවයි. එය සම්බන්ධ කළ හැකි සුදුසුම අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යාංශය බැවින් ඒ අනුව කටයුතු කළා විය හැකි බවට අනුමාන කළ හැකිය.

එහෙත් අවසානයේ සිදුව ඇත්තේ කුමක්ද? එම විෂය මාරු කිරීම තුට්ටුවකටවත් මායිම් නොකළ සංස්කෘතික බලධාරින් වෙනත් අමාත්‍යාශයකට පැවරූ කාර්යය තමන් පිට බලෙන් පටවා ගැනීමයි. ඒ අනුව ඔවුහු සංස්කෘතික උපදේශක මණ්ඩලය නමින් නිල නොලත් මණ්ඩලයක් පත් කරගෙන රාජ්‍ය සාහිත්‍ය උත්සවය පැවැත්වීමේ වගකීම ඔවුන්ට පැවරූහ. එම මණ්ඩලයට පත් කරනු ලැබූයේත් පසුගිය වසර කීපය තුළ සාහිත්‍ය අනුමණ්ඩලයේ කටයුතු කළ සභාපතිවරයා සහ එම සමීක්ෂකයන් වීම පුදුමයට කරුණක් නොවේ. එම මණ්ඩල කටයුතු කර ඇති ආකාරය හුවා දැක්වෙන එක් නිදසුනක් පමණක් පහත දැක්වීමට කැමැත්තෙමි.

සම්මාන සඳහා කෙටිකතා පරිවර්තන පොත් තෝරා ගැනීමේදී දෙමළ භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරන ලද කෘතියක් තිබූ අතර එයට සම්මානයක් නොදී පැහැර හැරීම තමන්ට ගැටලුවක් වන බව අවබෝධ කරගෙන එම කෘතිය සම්මානයට තෝරා ගත්හ. එහිදී සිදු වූයේ කුමක්ද? තමන්ගේ හිතවතාට දිය යුතු සම්මානය ඔහුට දීමට නොහැකි වීමයි. ඒ නිසා ඔවුහු තම හිතවතාගේ කෘතියටද අමතර සම්මානයක් නිර්දේශ කළහ. මෙය එක් සිදුවීමක් පමණකි.

සම්මානලාභීන් වෙත පිරිනැමුන සහතිකය වටිනාකමක් නැති නිකම්ම කඩදාසියක් බවට පත් වීම ගැන සම්මානලාභීන්වත් තවමත් වටහාගෙන ඇති බවක් නොපෙනේ. රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කළ යුතු සහතිකය වෙනත් අයෙකු අත්සන් කිරීම නිසා එහි වටිනාකම නැත්තටම නැති වී ඇත.

සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයා පවත්වන රැස්වීම්වලදී ඔහු නිතර කියා සිටින කාරණයක් වනුයේ තමන්ට වෙනත් වැඩ තිබෙන හෙයින් සංස්කෘතික අංශය ගැන බැලීමට කාලවේලා නොමැති බවයි. ඔහුට වෙනත් වැඩ බලා ගැනීමට කාලවේලා ලබා දීම බලධාරීන්ගේ වගකීමකි. ඒ සඳහා ඔහු සංස්කෘතික වගකීම්වලින් නිදහස් කරන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා සිටිමු. එපමණකින් නොනැවතී සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තනතුරට සුදුස්සෙකු පත් කරනු ඇතැයි අපේක්ෂා කරමු. මේ සියලු කරුණු සංක්ෂිප්ත කොට ගත් විට පහත නිරීක්ෂණ ඉදිරිපත් කළ හැකිය.

1. ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ ඊට අනුබද්ධිත අනුමණ්ඩලවල කටයුතු සාහිත්‍යයේ හෝ සංස්කෘතියේ ප්‍රගතියට හේතු නොවන බැව් එම මණ්ඩලවලට එරෙහිව ඉදිරිපත් වන කර්කශ විවේචනවලින් පෙනී යයි. මෙම මණ්ඩල පත් කිරීමේ වගකීම සෘජුව දරන සංස්කෘතික අමාත්‍යාංශය ඊට වග කිවයුතු වෙයි. මෙම තත්ත්වය වෙනස් කිරීමට නම් ශ්‍රී ලංකා කලා මණ්ඩලය වෙනත් අමාත්‍යාංශයක් යටතට පත් කොට එම මණ්ඩලවලට අලුත් මුහුණු එක් කර ගත යුතුය. එවිට වෙනසක් ඇති කළ හැකි වනු ඇතැයි අතිගරු ජනාධිපතිතුමා සද්භාවයෙන් යුතුව කල්පනා කරන්නට ඇත.

2. අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ශ්‍රී ලංකා කලා මණ්ඩලය පත් කිරීම මේ සඳහා ගත හැකි සුදුසුම විකල්ප ක්‍රියා මාර්ගයයි. මෙම තත්ත්වය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා මෙම වෙනස සිදු කරන්නට ඇත.

3. සංස්කෘතික අමාත්‍යාංශය යටතේ පැවති කලා මණ්ඩලය ඉන් ඉවත් කළද එම මණ්ඩලයෙන් සිදු කළ කටයුතුවලින් ඉවත් වීමට සංස්කෘතික අමාත්‍යාංශයේ සූදානමක් නැත. වෙනත් වචනවලින් කිවහොත් ‘ඉල්ලම’ අත ඇරීමට ඔවුන්ගේ කැමැත්තක් නැත.

4. ඒ නිසා ඊනියා සාහිත්‍ය උපදේශක මණ්ඩලයක් අරඹා පරණ ගැරුම්කරුවන් ලවාම ගැරීමට කටයුතු යොදා ඇත.

5. කලක සිට හොරට ගරන එම කට්ටියට මැණික් හඳුනා ගැනීමේ හැකියාවක් නැත. ගැරුම් වට්ටියේ පතුලට මැණික් කිඳා බසිද්දී තිරුවාන ගල් කැට අහුලාගෙන ඒවාට වැඩි වටිනාකමක් දීමට කටයුතු කර ඇත. එම තිරුවානා ගල් කැට අයත්වන්නේද ගැරුම් කට්ටියේම ගෝල බාලයන්ටය.

6. තිරුවාන ගල්වලට වැඩි වටිනාකමක් දුන්න ද ඒවා මැණික් නොව තිරුවානා ගල් බව හඳුනා ගන්නා පාරිභෝගිකයෝ ඒවා අතර මඟදීම විසි කර දමති.

7. ඊනියා සාහිත්‍ය උපදේශක මණ්ඩලයේ නිර්දේශමත මුදල් වියදම් කිරීමට සංස්කෘතික අමාත්‍යංශය සහ සංස්කෘතික දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. විගණකාධිපති මැදිහත් විය යුතු මූල්‍ය විනය පිළිබඳ ගැටලුවක් මෙහිදී මතුවී ඇත.

8. ශ්‍රී ලංකා කලා මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කළද තම අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වී ඒවා රැක ගන්නට කලා මණ්ඩලයට පිට කොන්දක් නැත.

9. යහ පාලනයක් ඇති කිරීමේ චේතනාවෙන් සහ සද්භාවයෙන් යුතුව අතිගරු ජනාධිපතිතුමා ගත් තීරණයක් හෑල්ලුවට ලක් කිරීමට සංස්කෘතික බලධාරීන් කටයුතු කර ඇත.

ඉහතින් ඉදිරිපත් වූ කාරණා පිළිබඳ ජනාධිපති ලේකම්තුමාගේ අවධානය යොමු විය යුතු යැයි කල්පනා කරමි. එසේ නොවුවහොත් පරණ පාලනයේත් නව පාලනයේත් වැඩි වෙනසක් සිදුව නැති බව පෙනී යනු ඇත.

අධිනීතිඥ පවිත්‍රා මඩවල 


නව අදහස දක්වන්න