රූප පෙට්ටියේ නයි නාඩගම් | දිනමිණ

රූප පෙට්ටියේ නයි නාඩගම්

 අතීතයේ දී ඉන්දියාව අපට දායාද කළේ මිල කළ නොහැකි දේය. බුදු දහම එවන් සුවිශේෂි අමිල සම්පතකි. මහින්දාගමනය රැගෙන ආ සංස්කෘතික අංගයන් නිසා සමස්ත දේශයම වෙනස් විය. ගෘහ ශිල්පය, වඩු ශිල්පය, යුද ශිල්පය, නක්ෂස්ත්‍ර ශිල්පය ආදී දහ අට කුලයක සංස්කෘතිකාංග අපට හිමි කළ අතීතය අමතක නොකළ යුතුය. එහෙත් නූතන ඉන්දියානු “නාට්‍ය” ළමා මනස පමණක් නොව සමස්ත මිනිස් මොළයම විකෘති කරන බවක් පෙනී යයි. රූප පෙට්ටියේ තරඟකාරිව විකාශනය වන, අපේ දරුවන්ගෙ මනස අඳුරු දූවිල්ලෙන් දවා අළු කර දමන මෙම නාට්‍ය පාලනය කළ යුතුය. එසේ නොකර “වඩාත් හොඳම දේ ළමුන්ටය” යන්න ප්‍රායෝගික නොවේ.

ඉන්දියානු ශිවන්‍යාගේ සහ සේසාගේ නයි සෙල්ලම සේම තවත් නාලිකාවක විකාශනය වන යන්ත්‍ර, මන්ත්‍ර ආදී හූනියම් පෙර දැරිව “අඳුරු සෙවණැලි” මවමින් තවත් නයි නාඩගමක් ද ආරම්භ කර ඇත. නාගයන් පිළිබඳ පර්යේෂණ කළ පරිසරවේදියෙකු පසුගිය දිනක මිය ගියේ ය. ඒ නාගයෙකු දෂ්ට කිරීමෙන්ය. නාගයාගේ ගැහැනු සතා කවුරුන්දැයි ඇසූ පිළිතුරකට ශිෂ්‍යත්ව පංතියේ ළමයෙකු ලියා තිබුණේ “ශිවන්‍යා” යනුවෙනි. කුඩා ළමුන්ගෙ මානසික මට්ටම සැකැසී ඇත්තේ නාගයන් දෂ්ට කරන්නේ දූෂිතයන්, හොරුන්, මිනීමරුවන්ට පමණක් බවය. නාගයින් සමඟ ඇ‍‍ඳේ නිදා ගත්තද, වැළඳ ගත්තද තමන්ට හානියක් නොවන බවය.

“අම්මේ මට ශිවන්‍යා වගේ නයෙක් ගෙනල්ලා දෙන්නකෝ. සෙල්ලම් කරන්න.” මේ දරුවෙකු නාට්‍යය නරඹද්දි කී කතාවකි. දැන් දරුවන්ට යකුන්, නයින් ගැන පවසමින් බිය කළ නොහැකිය. මෙම නාට්‍ය බලන දරුවන්ගෙ මනස ප්‍රතික්‍රියා දක්වන්නේ අනාගතයේදී ය. ශිවන්‍යාගෙත්, සේසාගෙත් දඩයම සාර්ථක වන්නේ එදිනටය. දැන් සැබෑම දඩයම ඔබය. ඔබේ දරුවාමය. වෛර කරන එකිනෙකාට හොරෙන් පළිගන්නා සංස්කෘතියක් අපට නොමැත. අපි සතුරාට වුවද ප්‍රේම කිරීමට ඉගෙන ගන්නා ජාතියකි. එය සිංහල - දෙමළ - මුස්ලිම් ආදි සියලුම ජාතීන්ට පොදු අපටම ආවේණික උතුම් ගුණයකි. එහෙත් දැන් සංස්කෘතිය වනසන මෙවැනි නාට්‍ය නැතුවම බැරිය. ළමා මනස බියෙන් ත්‍රස්ත කරන, බුද්ධිය විකෘති කරන විටෙක සුන්දර මුහුණ බියකරු පෙනුමෙන් යුතුව සැනකින් පෙණ ගොබයක් කරගන්නා මේ දඩයම්” සැබැවින්ම ව්‍යසනයකි.

සිංහල ටෙලි නාට්‍ය කර්මාන්තයේ සැබෑම බිඳ වැටීමක් සිදුව ඇත. එසේ නොවන්නේ නම් ආගන්තුක අපට නොගැලපෙන මෙවැනි නාට්‍ය හොල්මන් නොකරනු ඇත. මේ වූ කලී සංවාදයට ගත යුතු කරුණකි. කලාකරුවන් යැයි කියා ගන්නා පිරිස් මෙන්ම නිලධාරින් හා බලධාරින් සිය භූමිකාවන් නිසියාකාරව ඉටු නොකිරීමේ අනිසි ප්‍රතිඵලයකි. ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගැනීමට නම් මෙවැනි ඉන්දියානු ටෙලි නාට්‍යයන් අවශ්‍යමද? කුස ජාතකය, උම්මග්ග ජාතකය, සම්බුලා ජාතකය, අංගුලි මාල දමනය, ආලවක දමනය,හේමමාලා - දන්ත කුමරු කතාව, රාම-රාවණ යුද්ධය, උප්පලවණ්ණා කතා වස්තුව ආදිය කුතුහලය සහ ආකර්ශනය සහිතව රූපගත කිරීමට අපොහොසත් මන්ද?

ඇතැම් රූපවාහිනී මාධ්‍ය ආයතන බීමට පිරිසිදු වතුර බිඳක්, ගමන් කිරීමට කොන්ක්‍රීට් පාරක්, අඳුරට ආලෝකයත්, අලි - මිනිස් ගැටුමට අලි වැටක්, ආදී ජනතා සත්කාර කිරීම අගය කළ යුතුය. සැබැවින්ම එය ප්‍රසංශනීයය. එහෙත් ළමා මනස සහ අපේකම වනසන මෙවැනි සංකර ටෙලි නාට්‍ය ඉදිරිපත් කිරීමට ප්‍රථම සිතා බැලීම වැදගත්ය. වඩාත් හොඳම දේ ළමුන්ට දිය හැකි වන්නේ එවිටය.

එච්.එම්. එස්.ප්‍රියන්ත මල්වාන


නව අදහස දක්වන්න

Or log in with...