‘රන්සයුර’ මගේ චරිතය ඉතා සරලයි - හිමාලි සිරිවර්ධන. | දිනමිණ

‘රන්සයුර’ මගේ චරිතය ඉතා සරලයි - හිමාලි සිරිවර්ධන.

හිමාලි සිරිවර්ධන යනු නර්තනයට උපන් හපනියකි. සෙන්සේෂන් නර්තන කණ්ඩායම සමඟින් තම හැකියාව කලඑළියට ගෙනා ඇය දෙවනුව රංගනයට ද යොමු විය. නර්තනය කෙසේ වෙතත් මේ වනවිට නම් හිමාලි වඩාත් ප්‍රසිද්ධ රංගන වෘත්තියට. එමෙන්ම ඒ වෙනුවෙන් ඇය සම්මානයට ද පාත්‍රව ඇත්තීය. කෙසේ වෙතත් තමන් කලාවට අත්පොත් තැබූ නර්තන කලාව ද ඇය තවමත් අත්නොහැර සිටින්නීය. හිමාලි ප්‍රධන චරිතය මවන සිනමාපටයක් මේ දිනවලදී තිරගත වේ. ඒ රන් සයුරයි. ඒත් සමඟම ඇය හිරු මෙගා ස්ටාර් තරගාවලියේද කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටියි.

* හිමාලි මේ දිනවල ඔබ ඉතාම කාර්යබහුල චරිතයක් බවට පත්වෙලා තියෙනවා. වැඩ වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?

වෙලාවකට එහෙමත් හිතෙනවා. මේ වන විට මං වඩාත් බිසී වෙලා තියෙන්නේ හිරු මෙගා ස්ටාර් නිසා කිව්වොත් වැරැදි නැහැ. අපේ කණ්ඩායමේ වැඩි බරක් තියෙන්නේ මගේ කරපිට. එය ජයග්‍රහණය කරන්න උපරිමයෙන් මං කටයුතු කරනවා. අනික මං මේ රියැලිටි තරගාවලියකට සහභාගී වන පළමු අවස්්ථාව. ඒකත් මට සුවිශේෂයි. මේ හේතුවෙන් මට ලැබුණු නිර්මාණ කිහිපයක් පවා අතඅරින්නත් සිදු වුණා.

* ඒක ඔබට අවාසියක් නොවේද? විශේෂයෙන් ආර්ථික පැත්තෙන්?

ඇත්තෙන්ම ඔව්. ඒ පැත්තෙන් වගේම නිළියක් හැටියට මගේ අවස්ථාව විදහාලන්න හැකි අවස්ථා තමයි මේ මඟ හැරෙන්නේ. එක පැත්තකින් දුකයි. ඒත් මං බාරගත්තු වැඩක් අතරමඟ දාලා යන්නේවත්, ඊට අසාධාරණයක් කරන්නෙවත් නැහැ. ඒ හින්දා මෙගා ස්ටාර් නිමවෙනකම් එයට වැඩි බරක් දාලා කටයුතු කරනවා.

* සාමාන්‍යයෙන් රියැලිටි තරගවලට ගියාම නිතැතින්ම කාර්යබහුල වෙනවා. ඒ බව ඔබ දන්නේ නැද්ද?

කාර්යබහුල වෙනවා කියලා මං දන්නවා. ඒත් මෙච්චර කාර්යබහුල වේවි කියලා මං දැනගෙන හිටියේ නැහැ.

* ඇයි ඔබ මෙගා ස්ටාර් වැඩසටහන බාර ගත්තේ? ඔබේ සැමියා හිරු නාලිකාවේ ඉහළ තනතුරක් දරන නිසාද?

කොහෙත්ම නැහැ. හස්බන්ඩ් හිරු එකේ කියලා මට එහෙම වාසි අත් වෙන්නේ නැහැ. අඩුම තරම් මං ඉන්න නාට්‍යයක් හිරු එකේ යන්නෙත් නැහැනෙ. මං අනෙක් රියැලිටි තරගාවලියක නොදැක්ක විශේෂත්වයක් මේකෙදි මං දැක්කා. ඒත් මං ඊට එකතු වෙන්න කලින් දෙවතාවක් හිතුවා. මොකද සැමියා හිරු නිසා මගේ කණ්ඩායමට වැඩි වාසි අත්වේවි කියලා ඇතැම් අයට හිතන්න පුළුවන්නෙ. නමුත් ඒ ගැන නොසිතා මං මෙයට එකතු වුණා.

* මෙගා ස්ටාර් ඇති. දැන් රන් සයුර ගාවට යමු. ඇයි ඔබ රන් සයුර චිත්‍රපටයට රංගන දායකත්වය සපයන්න කැමැති වුණේ?

එහි නිෂ්පාදක වසන්ත කුමාරවිල සහ අධ්‍යක්ෂ සුදේශ් වසන්ත පීරිස් මගේ හිතවත්තු. ඔවුන් කළ ඉල්ලීම මට අහක දාන්න බැහැ. අනික මේක වෙනම අන්තයක් ගැන කතා කරන චිත්‍රපටයක්. ඉතින් මං තිර පිටපත බලලා චිත්‍රපටයට එකතු වුණා.

* කොහොමද ඔබට රන් සයුරෙහි චරිතය සඳහා ලැබෙන ප්‍රතිචාර?

රන් සයුර කියන්නේ ලොකු ආටෝප තියෙන චිත්‍රපටයක් නෙවෙයි. සාමාන්‍ය ජනතාව නියෝජනය කරන සාමාන්‍ය චිත්‍රපයක්. ඒ හින්දා මෙයට ලොකු ප්‍රතිචාරයන් ලැබෙන්නේ නැහැ. බොහොම සාමාන්‍ය ප්‍රතිචාර තමයි ලැබෙන්නේ.

* ඒ කියන්නේ චිත්‍රපටය හෝ ඔබේ චරිතය ප්‍රේක්ෂකයන්ට ෆීල් වෙලා නැහැ?

නැහැ. ඒක නෙවෙයි මං අදහස් කළේ. අද වන විට විදෙස් නිර්මාණ ඉතාම පහසුවෙන් ප්‍රේක්ෂකයන්ට දැකගන්නට ලැබෙනවා. මේ වන විට පවතින කාර්ය බහුලකමත් එක්ක බොහෝ දෙනෙකුට හෝල් එකකට ගිහින් චිත්‍රපටයක් බලන්න අවස්්ථාවක් නැහැ. ඒ අය වෙනත් මාධ්‍යයන්ගෙන් චිත්‍රපට බලනවා. එහෙව් තත්ත්වයක් මත හෝල් එකකට චිත්‍රපටයක් ආවම ප්‍රතිචාර ඉස්සර තරම් නැහැ.

* රන් සයුර ඔබේ චරිතය ගැන ඔබ තෘප්තිමත් ද?

ඔව්. මේක බැරෑරුම් කතාවක් නෙවෙයි. ඉතාම සරලයි. ඒ හින්දා මට ගැටලුවක් තිබුණේ නැහැ.

* ඔබ තවත් නර්තන ශිල්පිණියක විදිහට ප්‍රසංග වේදිකාවේ නර්තනයේ යෙදෙනවා. එවන් තැනක බොහෝ විට නර්තනයේ යෙදෙන්නේ ජනප්‍රිය මුහුණු නෙවෙයි. එහෙත් ඔබ එතැන නටනවා?

ඒක මට ගැටලුවක් නෙවෙයි. ප්‍රසංග වේදිකාවේ නර්තනයේ යෙදීම මට වඩා අනිත් අයටයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. නර්තනයෙහි යෙදෙන්න තැනක් නොතැනක් නැහැ. කොතන කළත් නැටුම නැටුමමයි. සාමාන්‍ය ප්‍රසංග වේදිකාවට සමීප පුංචි මිනිස්සු. ඒ අය නම් කවදාවත් මට ඔය චෝදනාව කරලා නැහැ. අනිත් අයටයි ගැටලු.

* ඔබ සමඟ සෙනාෂ් විවාහ දිවිය අරඹලා දැන් වසර කිහිපයක් වෙනවා. මේ කැදැල්ලට තුන්වැනියෙක් කැන්දාගෙන එන්නට තවම අදහසක් නැතිද?

මේ වසරේදී නම් ඔය බලාපොරොත්තුව තියෙනවා. මමයි සැමියයි හිතලම තමයි බබෙක් හැදීම ප්‍රමාද කළේ. මොකද සෑම දෙයකටම සුදුසු කාලයක් තියෙන්න ඕනෑ. මං හිතන්නෙ මේ ගෙවෙන්නේ ඊට සුදුසු කාලේ තමයි.

* ඔබ සහ සෙනාෂ් හරිම කාර්යබහුල උදවිය. දෙන්නා විවේකී අවස්ථාවන් හදා ගන්නේ කොහොමද?

අපි හැකි සෑම අවස්්ථාවකදීම සති අන්ත විවේකී දවස් කර ගන්නවා. මං නාට්‍යකට වුණත් දින දෙන්නේ ඒ දවස් මඟහැරලා. ඉතින් විවේකී අවස්ථා කොහොම හරි අපි හදා ගන්නවා. නැත්නම් බැහැනෙ.

* පවුල් ජීවිතය තුළ ඔබ දෙන්නගෙන් වැඩිපුරම කේන්ති යන්නේ කාටද?

මට තමයි.

* එතකොට මොකද කරන්නේ?

මොනවා කරන්නද කේන්තිය නිවෙනකම් කතා නොකර ඉන්නවා.

 

නව අදහස දක්වන්න