ප්‍රාණ ඇපකාරයන්ට මොකද වෙන්නෙ? | දිනමිණ

ප්‍රාණ ඇපකාරයන්ට මොකද වෙන්නෙ?

සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන් තවත් නැවක් යටත් කරගෙන තිබේ. දැන් එම නැව ද නැවේ සේවක මණ්ඩලය ද පසුවන්නේ කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ ය. මේ තත්ත්වය අපට ප්‍රශ්නයක් වී ඇත්තේ නැවේ කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයන් අට දෙනකු ද සිටීම නිසාය.

මේ අය නිදහස් කිරීමට නම්; රුපියල් කෝටි හැත්තෑවකට අධික මුදලක් කොල්ලකරුවන්ට කප්පම් ලෙස ගෙවිය යුතු බව මේ වන විට ප්‍රකාශයට පත්ව තිබේ. එක්කෝ මේ මුදල ගෙවා ශ්‍රී ලාංකිකයන් බේරාගත යුතු ය. නැතහොත් ක්ෂණික ප්‍රහාරයක් එල්ල කළ යුතුය. එසේ නැතහොත් කොල්ලකරුවන් සමඟ කෙළින් ම සාකච්ඡා කළ යුතුය. ඒ හැරෙන්නට වෙනත් විසැඳුමක් නැත.

තෙල් ප්‍රවාහනය කරන මේ නැව පිටරට සමාගමකට අයත් ය. මේ තෙල් නැවම මීට පෙර ශ්‍රී ලංකාවේ ධජය යටතේ යාත්‍රා කර ඇත්තේ එය මෙරට ලියාපදිංචි කළ නෞකාවක් නිසා ය. එහෙත් දැන් එම ලියාපදිංචිය අවලංගු වී ඇත. ඒ අනුව අදාළ නැව් සමාගම මේ සම්බන්ධයෙන් සියලු වගකීම් දැරිය යුතුය.

එහෙත් ඉන්දියන් සාගරයේ පවත්නා තත්ත්වයට අනුව ද, සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන්ගේ තත්ත්වය අනුව ද නැව් සමාගම් ඍජු පිළිතුරු ලබාදෙන තත්ත්වයක් දකින්නට නැත. ඒ අනුව සෝමාලියාවේ රජය සමඟ සාකච්ඡා කරමින් ගැටලුවට විසැඳුමක් සොයා ගැනීම වඩාත් වැදගත් යැයි සිතන්නට පුළුවන. ශ්‍රී ලංකාවේ රජය මේ වනවිටත් ඊට අදාළ මූලික කටයුතු ආරම්භ කර තිබේ.

නැව තෙල් තොගයක් රැගෙන ජිබුති වරායේ සිට ‍මොගඩිෂු වරාය තෙක් ගමන් කරමින් තිබූ බව සඳහන් ය. නෞකාව කොල්ලකෑමට ලක්වන්නේ ඒ අතර ය. තෙල් නැව් කොල්ලකෑම දැන් දිගින් - දිගටම සිදුවෙයි. මීට පෙර කුර්දි කැරලිකරුවන් පිරිසක විසින් තෙල් නැවක් කොල්ල කෑ අතර එහි ශ්‍රී ලාංකික නැවියෝ නව දෙනෙක් සිටියහ.

ඔවුන් දිවි බේරාගෙන නැවත සිය මව්රටට පැමිණියේ මාස දහයකටත් අධික කාලයක් ප්‍රාණ ඇපකරුවන්‍ සේ සිටිමින් ය. ත්‍රස්තවාදීන් ළඟ ද, මුහුදු කොල්ලකරුවන් ළඟ ද සමාවක් නැත. කරුණාවක් හා අනුකම්පාවක් නැත. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය බවට පත්ව ඇත්තේ මුදල් ම පමණි. මේ කොල්ලකරුවෝද එසේ ක්‍රියා කරති. ප්‍රාණ ඇප කරුවන්ගේ ජීවිතය ගැන සලකන විට ඉහත කප්පම ගෙවීම සාධාරණ යැයි කෙනකු කියන්නට පුළුවන.

මුහුදු කොල්ලකරුවන් සිය ආධිපත්‍යය රැකගෙන ඇති මුහුදු කලාපයට ආසන්නයෙහි ඇමෙරිකන් නාවික හමුදා බල කණ්ඩයක් නවතා තිබේ. එය බහරේන්හි ස්ථාපිත කර ඇති බව සඳහන් වේ. එහෙත් මුහුදු කොල්ලකරුවන් හඳුනාගැනීමට හෝ ඔවුනට එරෙහිව ක්‍රියා කිරීමට හෝ ආරක්ෂක අංශ උත්සුක වී දැයි නොදනිමු. එහි ප්‍රතිඵලය වූයේ රටක් - රාජ්‍යයක් නැති අනාථ පිරිසක බිහිවීම ය. එහෙත් එයට ඉඩදිය යුතු නැත. එක අතෙකින් අපේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගත යුතුය. එය වැදගත් තීන්දුවෙකි. අනෙක් අතින් ලෝක නාවික ක්ෂේත්‍රයේ අපට ඇති ස්ථානය පැහැදිලි ලෙස සටහන් කළ යුතුය. මේ කිසිවක් ක්ෂණිකව කළ හැකි දේවල් නොවේ.

ඉන්දියන් සාගරයේ පවත්නා මුහුදු කොල්ලකරුවන්ගේ තත්ත්වය, නාවික ගමනා ගමනයට ඇති බාධා පමණක් නොව; පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්කරන අපූරු අවස්ථාද ගණනාවක් ද මේ ක්‍රියාවලිය තුළ තිබේ. ඒවා දේශපාලකයන් වහා කල්පනාවට ගත යුතු කාරණා ලෙස හැඳින්විය හැකි ය.

ඉන්දීය සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ ආරම්භක සැසියේ පළමු දේශනය සිදු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ත්‍රස්තවාදය, මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියා පමණක් නොව; මුහුද ඔස්සේ සිදුකරන වෙනත් ජාවාරම් සඳහා ද තිත තැබිය යුතු බවය. එලෙස ඒවාට තිත තැබීම සඳහා මුල සිට ක්‍රියාත්මක විය යුතුය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය සමුළුවකදී පවසා ඇත්තේ ගෝලීය ආර්ථිකයට තර්ජනයක් විය හැකි සමුද්‍ර ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමට සියලු රටවල් අත්වැල් බැඳගත යුතු බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්, අවි ආයුධ ජාවාරම් හා තවත් බොහෝ දේ සිරගෙදර සිට මෙහෙයවන ප්‍රබලයෝ සිටිති. එයින් පෙනී යන්නේ සමාජය තුළ දුෂ්චරිතය වගා - දිගා වී ඇති බව ය. සමහරු සිය ශරීරය අලෙවි කොට ජීවත් වෙති. තව සමහරු ජීවිතය පරදුවට තබා කුඩු බිස්නස් කරති. තවත් සමහරු විවිධ විෂම ක්‍රියාවල යෙදෙති. මේවා සියල්ල එකිනෙකට සම්බන්ධය. ඉන්දුනීසියාව සමුළුවේදී අවධාරණය කෙරුණු වැදගත් කාරණයක් වන්නේ සාමුහික ප්‍රයත්නයකින් තොරව ආසියානු කලාපයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම ඉවත්කළ නොහැකි බව ය. එක අතෙකින් නීති - රීති දැඩි විය යුතුය. තව අතෙකින් මෙබඳු ජාවාරම් වැළැක්වීම සඳහා ආසියානු කලාපයේ රටවල් සාමූහිකව ක්‍රියාත්මක විය යුතු ය.

ඉහත සඳහන් සිද්ධියේ දී වඩාත් ම අපහසුවට පත්වන්නේ ප්‍රාණ ඇපකාරයන් ය. මුහුදු කොල්ලකරුවන් ගැන ද සෝමාලියාව ගැන ද විශ්වාසයක් තැබිය නොහැකි යැයි සමහරු කියා සිටිති. කොල්ලකරුවන්ගේ තත්ත්වය කෙසේ වුව සෝමාලියානු රජය ගැන එබඳු මතයක් දැරීම වැරැදිය. මේ ගැටලුව විසඳාගත හැකි හොඳම උපාය මාර්ගය වන්නේ සෝමාලියානු රජය සමඟ ඉතා විශ්වාසවන්ත ලෙස සාකච්ඡා පැවැත්වීමය. කොල්ලකරුවන් හා සෝමාලියානු රජය අතර ද ගැටුම් පවතී.

මේ අතර අන්තර්ජාතික සංවිධානවලින් මේ ගැටුම විසඳා ගැනීම සඳහා සහ‍යෝගය ලබාගත හැකි ය. රතු කුරුස සංවිධානය ඉන් එකකි. කොල්ලකරුවන් ඉල්ලා සිටින කප්පම් මුදල අදාළ නැව් සමාගම ගෙවිය යුතුය. එය ගෙවන බවට සමාගම සහතික වී ඇත. එහෙත් නැව් සමාගම් ගෙවනතුරු අපට බලා සිටිය නොහැකි ය. වටිනා ජීවිත ගණනක් එම නෞකාව තුළ සිරවී සිටින බැවින් ය. අලුත්ම තත්ත්වය විමසන විට පෙනී යන්නේ කොල්ලකරුවන් තවම ප්‍රාණ ඇපකාරයන්ට හිරිහැර කර නැති බව ය. එහෙත් ඉදිරියේදී එවැන්නක් සිදු විය හැකිය. ඒ ගැනත් අවධානය යොමු කිරීම වටී.

අයිරිෂ් 13 නෞකාව සෝමාලියානු කැරලිකරුවන්ට හසු වූ ප්‍රථම තෙල් නෞකාව නොවේ. තවත් බොහෝ තෙල් නැව් කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත් විය. එලෙස අත්අඩංගුවට පත් වූ බොහෝ දෙනා නිරුපද්‍රිතව නැවත සිය මව්රටට පැමිණියහ. අප මේ මොහොතේ අපේක්ෂා කළ යුත්තේ ද එවැන්නකි. මේ පිරිසට නිදහස ලැබිය යුතුය. ආරක්ෂාකාරී ලෙස ශ්‍රී ලංකාවට පැමි‍ණීමේ අවස්ථාවද ලබා දිය යුතුය. මුහුදු කොල්ලකරුවන්ට වඩා අපේ - ප්‍රාණ ඇපකරුවන් හැමවිටම වැදගත් බව පමණක් සිහි තබා ගත යුතු ය.

නව අදහස දක්වන්න