රනිල්-මෛත්‍රී විප්ලව සමරද්දි මහින්ද දැමූ මුට්ටිය | දිනමිණ

රනිල්-මෛත්‍රී විප්ලව සමරද්දි මහින්ද දැමූ මුට්ටිය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය සති අන්තයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩසටහන් ගණනාවකට සහභාගී වුණා. පසුගිය දහවැනිදා ජනාධිපතිතුමා අතින් විවෘත කරනු ලැබූ පුලතිසි යෞවනය යොවුන් කඳවුරට ජනාධිපතිතුමා වරින්වර ගොස් එම කටයුතුවලට සහභාගී වුණා.

 ජනාධිපතිතුමා තරුණ තරුණියන්ගේ සුවදුක් විමසද්දී ඔවුන් සිටියේ ඉතාම ප්‍රීතියෙන්. නිදහසේ හමු වූ අවස්ථාවල තරුණ තරුණියන් ජනාධිපතිතුමා සමග සෙල්ෆි ඡායාරූප ගැනීමටද උනන්දු වුණා. එම කටයුතුවලට මෙන්ම ගීත ගායනයට හා ශාරීරික ව්‍යායාම කිරීමටද ජනාධිපතිතුමා මෙම තරුණ තරුණියන් සමග එක්ව සිටියා.

පසළොස්වක පොහොය යෙදී තිබුණ ඉරිදා ජනාධිපතිතුමා තම පවුලේ සාමාජිකයන් සමග ඓතිහාසික උණගලා වෙහෙරට ගොස් ආගමික වතාවත්වල යෙදුණා. එම ස්ථානයේ අලුතින් ඉදිකෙරෙන චෛත්‍ය ගර්භයේ ධාතු නිධානෝත්සවයට ද ජනාධිපතිතුමා එක් වුණා. මෙය ‘පිබිදෙමු පොළොන්නරුව රජරට නවෝදය වැඩ සටහන යටතේ සංවර්ධනය වන පුදබිමක්.

සඳුදා දිනයේ ජනාධිපතිතුමා ඌව වෙල්ලස්ස ජනයාට ඉඩම් ඔප්පු පිරිනැමීමේ වැඩසටහනට සහභාගී වුණා. දෙරණාභිෂේක ලෙස හඳුන්වා තුබූ මෙම උත්සවය පැවැතියේ වැල්ලවාය ක්‍රීඩාංගණයේදීයි. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා කීවේ රූපවාහිනී නාලිකාවල රාත්‍රී ප්‍රවෘත්ති බලනවිට තමන්ට හිතෙන්නේ ආණ්ඩුව අද හෙට කඩා වැටෙන්න ඉඩ තිබෙන බව.” කියායි.

ජනමාධ්‍යවල යන මෙබඳු ප්‍රචාරවලට කිසිදු පදනමක් නැතිබව ජනාධිපතිතුමා කීවා. අද හෙට ආණ්ඩුව වැටෙනු ඇතැයි කවුරුන් බලාගෙන හිටියත් මේ ආණ්ඩුව 2020 දක්වා කඩන්න බැරි බව ජනාධිපතිතුමා කීවේ ජනතාවගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේයි. ආණ්ඩුව ඇතුළේ මතභේද ගැනත් ළඟදී සිදුවන පෙරැළියක් ගැනත් ගෙන යන ප්‍රචාරවලට ජනාධිපතිතුමාගේ කතාව හොඳ ප්‍රතිචාරයක් බව බොහෝ දෙනා එහිදී ජනාධිපතිතුමාට කීවා.

ජගත් පාරිභෝගික දිනය සමරා නෙළුම් පොකුණ රඟහලේ බදාදා පැවැති උත්සවයටද ජනාධිපතිතුමා සහභාගී වුණා. එහිදී ජනාධිපතිතුමා කීවේ කොළඹ නගරයේ ආපන ශාලාවල කුස්සිය පැත්තට ගිහින් බැලුවොත් කවුරුවත් එම ස්ථානවලින් කෑම නොගන්නා බවයි. ඒවාකන උදවියට මොනවා වෙනවා ඇත්දැයි එතුමා ප්‍රශ්න කළා. “කොළඹ හෝටල්වල රොටී හදන අය ඒවා ඔළුවට තියාගෙන නිදාගන්නවා.

ඒක තමයි ඇත්ත. අපි රොටී කියලා කන්නේ ඒවා තමයි. මේවා අපි දැකලා තියෙනවා.” ජනාධිපතිතුමා කීවා. ඒ එක්කම ආපනශාලා පවත්වාගෙන යන අයගෙන්ද එතුමා ඉල්ලීමක් කළා. “ව්‍යාපාරිකයෙක් වනවා වගේම තවත් වෙලාවක තමනුත් පාරිභෝගිකයෙක් වන බව හිතන්න” යන්න ජනාධිපතිතුමා එම ව්‍යාපාරිකයින්ගෙන් කළ ඉල්ලීමයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ හම්බන්තොට බලා ගියේ එහි පැවැති උත්සව කිහිපයකට සහභාගීවීමටයි. එතුමා ගිය හෙලිකොප්ටරයේම මහින්ද අමරවීර ඇමැතිතුමාද ගියා. හෙලිකොප්ටරය හම්බන්තොට විශේෂ කාර්ය බලකා කඳවුරු භූමියේ නැවැත් වූ විට ඉක්මනින් එයින් බැසගත් මහින්ද අමරවීර ඇමැතිතුමා බුලත් අතක් සොයන්නට වුණේ ජනාධිපතිතුමා පිළිගැනීමටයි. ඒ දුටු ජනාධිපතිතුමා මගෙත් එක්ක කොළඹ ඉඳලා ආපු මනුස්සයා, මාව පිළිගන්න බුලත් අත් හොයනවා කියා විහිළුවක් කළා.

ජනාධිපතිතුමා පළමුවෙන්ම ගියේ නෝනාගම නව සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමටයි. එහිදී ළමයින් දෙදෙනකු එයට ඇතුළත් කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු වුණා.

ඉන්පසුව ජනාධිපතිතුමා හම්බන්තොට දී මහජනයාට ඉඩම් හිමිකම් ලබාදීමේ උත්සවයකට එක් වුණා. මහින්ද අමරවීර ඇමැතිතුමාද මේ උත්සවයට එක්ව සිටියා.

රුසියාවේ 2017 ඔක්තෝබර් විප්ලවයේ සියවස් සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු උත්සවයක් පසුගිය සඳුදා (13) කොළඹ බණ්ඩාර‍නායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණේ පසුගිය වසර දෙක හමාර තුළ මෙරට සිදු වූ විප්ලවයන්හි පුරෝගාමීන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන්.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු එම සමරු උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගි වී සිටියා. ජාති, ආගම් සහ දේශපාලන වශයෙන් සංහිඳියාවේ නව ප්‍රවණතාවයකට ගමන් කරන ශ්‍රී ලංකාවේ දේශපාලන සංහිඳියාව සනිටුහන් කරන නව සන්ධිස්ථානයක් ලෙස රුසියානු ඔක්තෝබර් විප්ලව සියවස් සැමරුම බොහෝ දෙනාගේ කතා බහට ලක් වුණා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දේශපාලනය ආරම්භ කර ඇත්තේ වාමාංශික පෙරමුණකින් බව බොහෝ දෙනා දන්නා කරුණක්. අග්‍රාමාත්‍යවරයා රැස්ව සිටි පිරිස අමතමින් සඳහන් කළේ තමා කිසි දිනක මාක්ස්වාදී පක්ෂයක සාමාජිකයකු වී නොසිටි බවයි. තමන්ගේ පියා දේශපාලන කටයුතු ආරම්භ කළේ සමසමාජ පක්ෂයෙන් වුවත් පසුව එක්සත් ජාතික පක්ෂයට එක් වී එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් වූ බවද සඳහන් කළා.

කෙසේ වෙතත් සමහර මාක්ස්වාදී අදහස් තමා කොපි කළ බවයි අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා එහිදි සඳහන් කළේ. අගමැතිවරයා මෙහිදි ඉදිරිපත් කළේ සර්ව කාලීනව සෑම දේශපාලන තලයකටම වැදගත් වන මතයක්.

විප්ලවයෙන් පසු බිහි වූ සෝවියට් රුසියාවට නව දේශපාලන ක්‍රමවේදයන් සමග වෙනස් වීමට බැරි වූ නිසා එරටින් කොමියුනිස්ට් මතය නැති වී ගිය බවත් අප කළ යුත්තේ කාලයත් සමග ඇතිවන ප්‍රවණතා සමග වෙනස් වෙමින් ඉදිරියට යාම බවත් සඳහන් කළා. චීනයත් වියට්නාමයත් දේශපාලන විපර්යාසයන් සමගින් ක්‍රියා කර සාර්ථක වූ බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දු‍න්නේ යල් පැන ගිය දේශපාලන අදහස් කර පින්නාගෙන සිටීමෙන් ඉදිරි ගමනක් නොමැති බව ‍තහවුරු කරමින්. ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් වශයෙන් ව්‍යාප්ත වුණේ ඔක්තෝම්බර් විප්ලවයෙන් පසුව බවයි අගමැතිවරයා පැවසුවේ.

 2016 වසරේ අපේ රටේ පියවර දෙකකින් සිදු වූ විප්ලවයෙන් පසුව අපේ රටේද ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වූ බව හඟවමින් අගමැතිවරයා පැවසුවේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වීමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ආණ්ඩුවක් පිහිටුවීමත් එම විප්ලවයන් බවයි.

ජනාධිපතිවරයා උත්සවය ඇමතුවේ නැති වුවත් පැයකට වැඩි කාලයක් එහි රැඳී සිටියා.

14වැනි දින ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 2017 ත්‍රස්ත මර්දන සමුළුව ඇමතීම සඳහා අග්‍රාමාත්‍යවරයා 13 දින නවදිල්ලිය බලා යන බව එදින දෙමළ පුවත්පත් වාර්තා කර තිබුණද අගමැතිවරයා එම සමුළුව ඇමතුවේ මෙරට සිට ස්කයිප් තාක්ෂණය මගින්.

එහිදි අගමැතිවරයා සඳහන් කළේ සමුද්‍රීය ත්‍රස්තවාදය මැඬලීමට සියලු රටවල් අත්වැල් බැඳ ගත යුතු බවයි. බිලයන තුනක ජනතාවක් වෙසෙන ඉන්දියානු සාගර කලාපය හරහා කන්ටේනර් නැව් හරි අඩක් ගමන් කරන බවත් මෙය ආසියානු සහ මැදපෙරදිග රටවලට විශාල ආර්ථික ශක්තියක් වී ඇති බවත් පෙන්වා දුන් අගමැතිවරයා සමුද්‍ර ත්‍රස්වාදය හේතුවෙන් මේ ආර්ථික ශක්තියට බලවත් තර්ජන එල්ල වන බව පෙන්වා දුන්නේ ඊට පෙර දින සෝමාලියාව දක්වා ගමන් කරමින් තිබූ ‍අයිරිෂ් 13 වෙළෙඳ නැව සෝමාලියා මුහුදු කොල්ලකරුවන් යටතට පත් වීම සම්බන්‍ධයෙන් මුළු ලෝකයේම අවධානය යොමු වී තිබුණු අවස්ථාවේදියි.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුන් බියුන්ග් සේ මහතා අරලිය ගහ මන්දිරයේදී 15 දිනඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා සහාය දීමට ජාත්‍යන්තරයේ දෑත් දිගු වී තිබෙන මොහොතක දකුණු කොරියාවේ සහයද ලැබෙන බව අමාත්‍යවරයා අගමැතිවරයාට පැවසුවා. ගින්නකට මැදි වූ කොරියානු මහළු කාන්තාවකගේ ජීවීතය බේරා ගැනීමට කොරියාවේ රැකියාවේ නිරත ශ්‍රී ලාංකික තරුණයෙකු මැදිහත් වීම නිසා ශ්‍රී ලාංකිකයින් කොරියාවේ ජාතික වීරයන් බවට පත්ව ඇති බවද අමාත්‍යවරයා අගමැතිවරයාට පැවසුවේ සුහද සිතින්.

පසුගියදා අරලියගහ මන්දිරයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවතු‍‍ණේ නිවාස සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ පුළුල් සාකච්ඡාවක්. මෙහිදී සජිත් ප්‍රේමදාස ඇමතිවරයා කීවේ යාපනය, මන්නාරම,වව්නියාව සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක 4 තුළ නැවත පදිංචි කිරීමට නියමිතව ඇති පවුල් සඳහා පුළුල් නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අරමුදල් අවශ්‍යව ඇති බවයි.

අගමැතිවරයා ඇසුවේ “මොකක්ද සැලසුම?” කියායි. සජිත් කීවේ 2017 වසරේදී ඒ දිස්ත්‍රික්ක හතරේ නව උදා ගම්මාන 46ක නිවාස 2,534ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි. අගමැතිවරයා පිළිතුරු දෙමින් කියා සිටියේ “ඔයා ලොකු වැඩ කොටසක් කරනවා. ඒකට දෙන සහයෝගයක් හැටියට වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් ලක්ෂ 12,670ක් ලබාදෙනවා” කියායි. අගමැතිවරයාගෙන් ලැබුණු ක්ෂණික විසඳුම් පසසමින් සජිත් කීවේ “උතුරේ දේශපාලන අධිකාරියේද සහයෝගය ලබාගෙන අනුමත සැලසුම්වලට අනුව ගෙවල් හදලා, ජනතාව ඒ නිවෙස්වල පදිංචි කරලා, ලයිට්, වතුර, මාර්ග පහසුකම් ලබාදීලා මම පෙන්වන්නම්” කියායි.

මෙම සාකච්ඡාවේදී සජිත් මතුකළ තවත් ප්‍රශ්නයක් වූයේ අගමැතිවරයාගේම සංකල්පයක් මත ක්‍රියාත්මක වන මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමවලට අදාළ කටයුතුවලදී රජයේ ඇතැම් ආයතනවල සමහර නිලධාරීන්ගේ නිසි සහයෝගය දිගින් දිගටම නොලැබීම ගැනයි. “සමහරු තර්ජනාත්මක ලිපි එවනවා, අර වන්දි, මේ වන්දි ඕනෑ කියලා. මේ විදියට වැඩ කරන නිලධාරින් එක්ක රට සංවර්ධනය කරන්න බෑ. නිලධාරීන් සුළු පිරිසක් හදන්නේ වැඩ කඩාකප්පල් කරන්නයි” යි සජිත් කියද්දී අගමැතිවරයා කීවේ “මම මේක ආර්ථික කළමනාකරණ අනුකමිටුවේදී විසඳනවා” කියායි.

සජිත් අඟහරුවාදා රාජ්‍ය ආයතන ගණනාවක නිලධාරීන් සිය අමාත්‍යාංශය වෙත කැඳවා තිබුණේ දැනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ බරපතළ ගැටලුවක්ව පවතින අලි-මිනිස් ගැටුම් පිළිබඳව විශේෂ සාකච්ඡාවකටයි.

මීට වනජීවී අමාත්‍යාංශයේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, මහවැලි අධිකාරියේ සහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් රැසක් පැමිණ සිටියා. සජිත් මෙහිදී කීවේ “අවිධිමත්ව මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කරන්න ගිහින් වනාන්තරය විනාශ කළා. රටට සෙතක් වුණෙත් නෑ. අලුතින් රැකියා බිහිවුණෙත් නෑ. සිද්ධ වුණු එකම දේ රටේ ජනතාව සදාකාලික ණයකරුවන් වීමත්, අලි- මිනිස් ගැටුම උග්‍ර වීමත් විතරයි.” කියායි. දැනට මේ ගැටලුවට මුහුණ දී සිටින ජනතාවට ඉක්මන් සහන සැලසීමත්, නියමිත කාල වකවානුවක් තුළ ගැටලුවට කල් පවතින විසඳුම් ලබාදීමත් සාකච්ඡාවේ අරමුණ වුණා.

ඩබ්ලිව්. එච්.කේ. පතිරත්න -වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේ කාල වකවානු නිර්ණය කරමින් මෙවැනි සාකච්ඡාවක් මීට පෙර කර නැති බවයි. මේ සඳහා සිවිල් ආරක්ෂක බළකායේ සහයෝගයද අවශ්‍ය වන බව ඔහු කීවා. “පසුගිය රජය මීට විසඳුමක් දෙන්න හැදුවේ විශාල පිරිසක් ඔවුන්ගේ පාරම්පරික වාසභූමිවලින් ඉවත් කරලයි. අපි ඒ වෙනුවට අලි පලවා හැරීමේ මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක කරනවා. ඉන්පසු ජනතාව ආරක්ෂා කරන්න අලි වැට ඉදිකරනවා” සජිත් පෙන්වා දුන්නා.

මෙහිදී ගොවි සංවිධාන නියෝජිතයෙකු කීවේ ‘වනජීවී දෙපාර්තමේන්තුව අලි වෙඩි අවශ්‍ය තරම් නිකුත් කරන්නේ නෑ. මේ නිසා ගම්වදින අලින්ට වෙඩි තියන්නයි සිද්ධ වෙලා තියෙන්නේ’ කියායි. එහිදී සජිත් කීවේ ‘අලි වෙඩි නොලැබීම ගැන සොයා බලන්නම්. මම පරිසරවේදියෙක්. අලින්ට වෙඩි තියන කතා කියන්න එන්න එපා. වෙඩි තියනව නම් හිරේ යන්න ලෑස්ති වෙන්න. මිනිස්සු වගේම සතා සීපාවා රැක ගන්නත් ඕනෑ. අපි මේ වන සතුන් රැකගෙන ඒ මඟින් වැඩි දියුණු කරන සංචාරක කර්මාන්තයෙන් අවට ජනතාවගේ අතමිට සරුවෙන වැඩපිළිවෙළකට යන්න ඕනෑ” කියායි.

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශනය ආරම්භ කිරීමත් සමඟ සිවිල් සංවිධාන, ශිෂ්‍ය සංගම්, මවුපියන් ඇතුළු පිරිස්වලින් කෝප් කමිටුවේ සභාපතිවරයාටත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන කෝප් සාමාජිකයින්ටත් විශාල වශයෙන් දුරකතන ඇමතුම් ගලා එන්නට වුණා. සයිටම් ආයතනය සම්බන්ධයෙන් තමන්ටත් අදහස් දැක්වීමට කෝප් කමිටුවේ අවස්ථාවක් ලබාදෙන ලෙස දුරකතන අමතුම්වලින් ඔවුන් ඉල්ලා සිටියා. විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය සංගම්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ මාපියන් මේ ආකාරයට අදහස් දැක්වීමට අවස්ථාව ඉල්ලා සිටියා. සියලූ දෙනාට කෝප් කමිටුවේ අවස්ථාවක් ලබාදීමට හැකියාව ඇත්දැයි කෝප් කමිටුවේ සාමාජිකයින් සමඟ සාකච්ඡා කරන බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සියලූ දෙනාට දැනුම් දීමට කටයුතු කළා. දුරකතන ඇමතුම් ලැබුණු වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයාද කෝප් කමිටුවේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කරන බවට තමන්ට ඇමතුම්ලබා දුන් පිරිසට කියා සිටියා.

මේ අතර මාර්තු 20වෙනිදා පළමු වටයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ආයතනික විමර්ශන කමිටු සහ විෂයමාලා විමර්ශන කමිටු කෝප් කමිටුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.මෙහිදී සයිටම් ආයතනයට උපාධි ආයතනයක් ලෙස කටයුතු කිරීමට අනුමැතිය ලබාදී තිබේද යන්නත් එසේනම් ඒ නීත්‍යානුකූල අයුරින්ද යන්නත් පිළිබඳ අදාළ පාර්ශවයන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවද දැනගන්නට තිබෙනවා.

..ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ එතෙර අපි සංවිධානයේ ජාතික විධායක කමිටුව පසුගිය සතියේ මහරගමදී රැස්වුණා.එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති, ජාතික සංවිධායක සංජීව මුණසිංහ, ලේකම් ලක්ෂ්මන් නිපුණආරච්චි, භාණ්ඩාගාරික නීතිඥ ජානක අධිකාරි ඇතුළු ජාතික විධායක සභාවේ සාමාජිකයින් එම රැස්වීමට සහභාගිවී සිටියා. මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ඡන්ද අයිතිය, විශ්‍රාම වැටුප, දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම ඇතුළු ගැටලූ ගණනාවක් පිළිබඳව සාකච්ඡාවට ලක්වුණා.

විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ඡන්ද අයිතිය ලබාදීම පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සමාජිකයෙක්ද වන සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පිළිබඳව සංවිධානයේ ජාතික කමිටු සාමාජිකයින්ට සමාලෝචනයක් ඉදිරිපත් කළා. ”අපි පාර්ලිමේන්තු කමිටුවට විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්, ආගමන විගමන පාලක, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලේකම් ඇතුළු අදාල බලධාරීන් කැඳවලා තියෙනවා.

ඒ සාකච්ඡාවලදී හැමෝම ආපු එකඟතාවයක් වුණේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ලබාදීමට යාන්ත්‍රණයක් සකස් කළයුතු බවයි. දැනට විදේශ ගතව රැකියා කරන කරන එම රටේ පුරවැසිභාවය ලබාගෙන ඒ රටවල්වල ඡන්ද අයිතිය තියෙන පුද්ගලයින්ට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉදිරියේ පැවැත්වෙන පළමු ජාතික මැතිවරණයකදී විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය පාවිච්චි කරන්න යාන්ත්‍රණයක් හදන්න කමිටුව කටයුතු කරමින් ඉන්නවා.” සුනිල් හඳුන්නෙත්ති කීවා.

අපි දැනට එතෙර අපි සංවිධාන පිහිටුවලා තියෙන රටවල්වල සමුළු මාලාවක් තියමු. ඒ රටවල්වල ඉන්න ශ්‍රී ලාංකිකයින් මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා අයිතීන් දිනාගන්න ඉදිරි ක්‍රියාමාර්ගවලට සූදානම් කරන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි අපේ සංවිධානය පිහිටුවලා නැති රටවල්වල එතෙර අපි සංවිධානයේ ශාඛා පිහිටුවන්න ඕනෑ.” සුනිල් හඳුන්නෙත්ති යෝජනා කළා.

එම යෝජනාවට අනුව මාර්තු අෙප්‍ර්ල් මාසවල මුල් අදියරේදී කැනඩාව, ප්‍රංශය, ඩුබායි, අබුඩාබි, කුවේට්, ඉතාලි යන රටවල්වලදී සමුළු මාලාවක් පැවැත්වීමටත්,දෙවන අදියරේදී ජපානය, කොරියාව, කටාර්, මාලදිවයින ඇතුළු රටවල් ගණනාවකදී සමුළු පැවැත්වීමටත් තීරණය වුණා. එම සමුළු ඇමතීම සඳහා ජවිපෙ නායක අනුර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, රාමලිංගම් චන්ද්‍රසේකර් ඇතුළු පිරිසක් ඉදිරි දිනවලදී විදෙස්ගත වීමට නියමිතයි.

ඒකාබද්ධ විපක්ෂය මේ දිනවල කටයුතු කරමින් සිටින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව වෙනම තරග කිරීමේ සැලසුම ක්‍රියාවට නැඟීමටයි. එහි එක් පියවරක් වූයේ පාර්ලිමේන්තුව තුළ නිල වශයෙන් වෙනම කණ්ඩායමක් ගොඩ නැඟීමයි. තමන්ට ස්වාධීනවීමට අවශ්‍ය බව විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේ ඒ සඳහා මඟ පාදා ගැනීමක් වශයෙන්.

මහින්ද රාජපක්ෂ මහතාගේ සැලසුම වී තිබුණේ විමල්ගේ පක්ෂයෙන් පසුව දිනේෂ්ගේ, වාසුගේ පක්ෂද වෙන්කරගෙන පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද පක්ෂයක් ලෙස පාර්ලිමේන්තුව තුළ පිළිගැනීමක් ලබා ගැනීමයි. විමල්ගේ පක්ෂය පිළිගත නොහැකි බව කථානායකතුමා තීන්දු කිරීමත් සමඟ මේ සැලසුම අසාර්ථක වුණා. දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම වියරු වැටුණේ තම සැලසුම හබක් වූ නිසායි. විමල්ගේ ස්වාධින වීමේ උත්සාහය මොවුන්ගේ මුට්ටිය දමා බැලීමක් පමණක් වුණා. එයට වැදුණු පහරෙන් වැඩේ හබක් වුණා.

අමෙරිකාවේ සිට ආපසු පැමිණ සිටින බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට තම සැලසුම් ක්‍රියාවට නඟමින් සිටිනවා. බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයට ඔහු පසුගිය සිකුරාදා මහින්ද කණ්ඩායමේ පළාත් සභා මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන නියෝජිතයන් කැඳවා තිබුණා. පළාත් සභා නියෝජිතයන් සංවිධානය කිරීම ප්‍රසන්න රණතුංග මහතාට පවරා තිබෙනවා. පළාත් පාලන නි‍යෝජිතයෝ සංවිධානය කිරීම පවරා තිබෙන්නේ කුමාර වෙල්ගම මහතාටයි. එම සංවිධායකවරුන් දෙපළටත් පැමිණ සිටින නියෝජිතයන්ටත් බැසිල් කීවේ ආණ්ඩුව හදිසියේම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඉඩ ඇති බවයි. ඒ සඳහා සූදානම් වීමට ද සියලු දිස්ත්‍රික් සංවිධාන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ගොඩනඟා අවසන් කළ යුතු බව බැසිල් උපදෙස් දුන්නා.

බැසිල් රාජපක්ෂ මහතා හා මෛත්‍රී ආණ්ඩුවේ ඇමැතිවරුන් දෙදෙනකු අතර හදිසි සාකච්ඡාවක් පසුගියදා සිදුවූයේ අහම්බයෙන්. ඒ ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයාගේ අභාවප්‍රාප්ත නැන්දනියට අවසන් ගෞරව දැක්වීමට ගිය අවස්ථාවේදීයි. බැසිල් එන බව දැනගෙන රංජිත් සොයිසා මන්ත්‍රීවරයා හා පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරියද එහි පැමිණ සිටියා.

එසේ වුවද බැසිල් පැමිණෙන තෙක්ම ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා කිසිවක් දැනගෙන සිටියේ නෑ. බැසිල් පැමිණ ටික වේලාවකින් නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා ද එහි පැමිණියා. මද වේලාවකට පසු නිමල් සිරිපාල, ජෝන් සෙනෙවිරත්න ඇමතිවරුන් සමඟ ඇතුළු කාමරයකට ගිය බැසිල් ටික වේලාවක් ඔවුන් සමඟ සාකච්ඡා කරමින් සිටියා.

මහින්ද රාජපක්ෂ මහතාට ආධාර කරන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මත්මියගේ මන්ත්‍රී ධුරය නීති විරෝධී බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දන්වා තිබෙනවා. එම මන්ත්‍රී ධුරය අ‍හෝසිකිරීම ගැන තීන්දුව මැයි තුන්වනදා ලබාදීමට නියමිතයි. එයට හේතුව එතුමිය මැතිවරණය තරග කරනවිට එයට නුසුදුසු වීමයි. ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය ඇයට හිමිව තිබුණා. ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකිය යන්න නීතියයි.

මේ ගැන දැන් කුමාරසිංහ මහත්මිය තම නීතිඥයින්ට දොස් නඟමින් සිටිනවා. ඇය කියන්නේ ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවයෙන් තමා ඉවත්ව ඇති බවත් එම ලියකියැවිලි නීතිඥවරුන් විසින් අධිකරණයට නිසි පරිදි ඉදිරිපත්කොට නැති බවත්ය. කෙසේ වෙතත් නීතිපතිවරයා අධිකරණයට දන්වා තිබෙන්නේ මැතිවරණය තරග කරන විට ඇයට ද්විත්ව පුරවැසිභාවය හිමිව තිබූ නිසා තනතුරට පත්වීමට ඇය නුසුදුසු තත්ත්වයක සිටි බවයි. පසුව පුරවැසි භාවය ඉවත්කරගැනීමෙන් ඇය ඒ මොහොතේ නුසුදුසුව සිටීම වෙනස් නොවන බව නීතිඥ මතයයි.

ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රී ධුරය අහිමි වුවහොත් එයට පත්වන්නට නියමිතව සිටින්නේ ගාලු දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟට වැඩි ඡන්ද ලබාගෙන සිටින පියසේන ගමගේ මහතායි. ඔහු සහය දක්වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටයි. ඒ අනුව පාර්ලිමේන්තු ඒකාබද්ධ විපක්ෂයෙන් එක් මන්ත්‍රී ධුරයක් අඩුවන අතර මෛත්‍රීගේ නායකත්වයෙන් යුතු ශ්‍රීලනිපයට මන්ත්‍රී ධුරයක් එක්වෙනවා. 

නව අදහස දක්වන්න