මේක වදයක් | දිනමිණ

මේක වදයක්

හොරකම් කරමින්, මංකොල්ලා කමින්, අනිකුත් වැරදි වැඩ කරමින් මුදල් උපයනවාට වඩා කිසිවෙකුටවත් කරදර හිරිහැර නොකොට කුමක් හෝ රැකියාවක නිරත වී මුදල් උපයා ජීවත්වීම ඉතා අගය කළ යුතු කටයුත්තකි.

රජයේ හෝ පෞද්ගලික ආයතනයන්හි පමණක් නොව ස්වයං රැකියා හා තමන්ගේ ශ්‍රම ශක්තියෙන් ගොඩනගාගත් රැකියාවන්හි නිරත වෙමින් මුදල් උපයන පිරිස් ද අප සමාජයේ වෙසෙති. එයද අගය කළ යුතු කටයුත්තකි. ඇතැමුන් ජංගම වෙළෙඳාමේ යෙදෙමින් මුදල් උපයති. එහෙත් කිසිවෙකුට හෝ හිරිහැරයක්, කරදරයක් නොවන අයුරින් තම කාරිය කරගැනීම වටී.

ජංගම වෙළෙඳාම ජයටම සිදුවන ස්ථාන අතර දුම්රිය හා බස්රිය කැපී පෙනෙයි. දුම්රිය තුළ හා දුම්රිය ස්ථානයේ ජංගම වෙළෙඳුන් බොහෝ සිටිති. එහෙත් දුම්රිය ස්ථානයන්හි වෙළෙඳාම් කිරීම සඳහා ඔවුන්ට අවසර ඇතත් දුම්රිය තුළ වෙළෙඳාම් කිරීමට ඔවුන්ට අවසරයක් තිබේද යන්න ගැටලු සහගතය. මා දන්නා තරමින් දුම්රිය තුළ වෙළෙඳාම් කිරීම සඳහා ජංගම වෙළෙඳුන්ට අවසරයක් නොමැත.

දුම්රිය තුළ දී ජංගම වෙළෙඳුන්ගෙන් මගීන්ට සිදුවන්නේ දැඩි හිරිහැරයකි. අපහසුතාවකි. විශේෂයෙන් දුර ගමන් සේවාවන්හි යෙදෙන දුම්රියන් ජංගම වෙළෙඳුන්ගේ පාරාදීසයකි. ඔවුන් එය තමන්ගේ දේපළ සේ පාවිච්චි කරති. විශේෂයෙන් කාර්යාල දුම්රිය සේවාව මොවුන්ගේ රජ දහනකි. කොතරම් මගීන්ගෙන් පිරී තිබුණද ජංගම වෙළෙඳුන්ට එය ගැටලුවක් නොවෙති. ඔවුන් මගීන් තලා පෙළාගෙන ඇදී යන්නේ ‘අපට යන්න බැරි නම් කාටද යන්න පුළුවන්” යන අදහසිනි.

එමඟින් මගීන්ට සිදුවන අපහසුතා හා හිරිහැර බොහෝයි. පිළිවෙළෙකට ඇඳ පැළඳගත් මගීන්ගේ ඇඳුම් වෙළෙෙඳුන් නිසා අපවිත්‍රවන අවස්ථා බො‍හෝය. ඇතැම් කාන්තාවන් අතරින් ඇදී යන වෙළෙඳුන් නිසා ස්ත්‍රී පක්ෂය මහත් අසීරුතාවයන්ට පත් වේ. මඟීන්ට සිදුවන හිරිහැර අපහසුතා පිළිබඳ යමෙක් කතා කරයි ද ඔහුට හෝ ඇයට ඇතැම් වෙළෙඳුන් අ‍ශෝබන ලෙස කතා කිරීම හේතුවෙන් සිදුවන අපහසුතා විඳ දරා සිටිනවා හැර කිසිවක් කතා නොකිරීමට යති.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය මගීන් සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය වෙන දුම්රිය මගීන් ජංගම වෙළෙඳුන්ගේ අපහසුතාවයන්ට ලක් වෙන විශේෂ පුද්ගලයන් වෙති. කාර්යාල සේවයට පැමිණෙන හා යළි නිවෙස් වෙත ගමන් ගන්නා මගීන් මෙසේ දැඩි අසීරුතාවයට පත්වන පිරිසය. ඇතැම් වඩේ වෙළෙඳුන්ගේ කූඩාවල ඇති තෙල් සහිත කුණු දූවිලි මගීන්ගේ ඇදුම්වල ගෑවීම හේතුවෙන් අපවිත්‍රවන අවස්ථා බොහෝය.

මෙසේ දුම්රිය මගීන් හට සිදුවන අපහසුතා හා හිරිහැර පිළිබඳ නිසි බලධාරීන් පියවරක් ගත යුතුය. දුම්රිය ප්‍රවේශ පත්‍රයක් හෝ වාර ප්‍රවේශ පත්‍රයක් ලබා ගත් මගීන් පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුව තිබේ.

නිශාන් මෙන්ඩිස්

නව අදහස දක්වන්න