ඕල්කට් අනුස්මරණ කුසලානය ධර්මාශෝකයට | දිනමිණ

ඕල්කට් අනුස්මරණ කුසලානය ධර්මාශෝකයට

ජයග්‍රාහී ධර්මාශෝක විදුහල් කණ්ඩායම

ඩුබායි හි අජ්මාන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති 10 වැනි ඕල්කට් අනුස්මරණ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් කණ්ඩායම සමත් විය. ඔවුන් හමුවේ අවසන් තරගයේදී කුරුණෑගල මලියදේව විදුහල් පිල ලකුණු 54කින් පරාජයට පත් විය.

අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ධර්මාශෝක කණ්ඩායම නියමිත ඕවර 5 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 97ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මලියදේව කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 43ක් පමණි.

ධර්මාශෝක පිල අවසන් තරගයට පිවිසියේ ධර්මරාජ විදුහල පරාජය කරමිනි. එහි දී පළමුව පන්දුවට පහරදුන් ධර්මාශෝක කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 125ක් ලබා ගත්තේය. පිළිතුරු ලෙස ධර්මරාජයට එක් කඩුල්ලක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 98ක් පමණි. දෙවැනි අවසන් පූර්ව තරගයෙන් නාලන්දා විදුහල පරදවමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට මලියදේව විදුහල සමත් විය. එම තරගයේ පළමුව ලකුණු රැස්කළ නාලන්ද කණ්ඩායම කඩුලු 4කට ලකුණු 65ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මලියදේව කණ්ඩායම කිසිවකු නොදැවී තරගයේ ජය හිමිකර ගත්තේය.

මේ තරගාවලියට කොළඹ ආනන්ද, කොළඹ නාලන්ද, මහනුවර ධර්මරාජ, අම්බලන්ගොඩ ධර්මාශෝක, පන්නිපිටිය ධර්මපාල, කුරුණෑගල මලියදේව, ගාල්ල මහින්ද හා මාතර රාහුල විදුහල් එක්විණි.

අවසන් තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා ලෙස ධර්මාශෝක විද්‍යාලයේ නලීන් තේනුවර සම්මාන දිනාගත් අතර හොඳම පිතිකරු ලෙස ධර්මාශෝක විද්‍යාලයේ පසිදු ප්‍රබාශ් සම්මාන ලැබීය.

නව අදහස දක්වන්න