නාවිකයන් බේරා ගැනීම රාජ්‍යතාන්ත්‍රික ජයක් | දිනමිණ

නාවිකයන් බේරා ගැනීම රාජ්‍යතාන්ත්‍රික ජයක්

ලේ බිඳුවක් හෝ නොසොලවා, කිසිදු කප්පම් මුදලක් ලබා නො‍දී , සෝමාලියා කොල්ලකරුවන්ගෙන් ශ්‍රී ලාංකික අටදෙනා බේරා ගත් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. එසේ ඔවුන් බේරා ගැනීමට හැකි වීම රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් බව ද ඒ මහතා කීය.

අපේ නාවික හමුදාව, බහරේන් කලාපීය නාවික හමුදාව, යුරෝපා සංවිධානය, ඇමෙරිකා එක්සත් ජනපදය, මේ සියලුම දෙනා එකතු කර ගෙන මේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකියාව ලැබුණ බව ද නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

සෝමාලියා කොල්ලකරුවන් විසින් පසුගිය දා පැහැර ගනු ලැබූ නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකික කපිතාන්වරයා ඇතුළු නාවිකයන් අට දෙනා නිදහස් කළ බව නිල වශයෙන් දැනුම් දීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවේ දී නියෝජ්‍ය ඇමතිවරයා ඒ බැව් අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාවලිය ඉතාමත්ම විශිෂ්ට ලෙස සිදු වුණ බව පැවසූ ඇමතිවරයා මෙහිදී සහය දැක්වූ මිත්‍ර රට වලට කෘතඥතාව පළ කළ යුතු බවද සඳහන් කළේය. ප්‍රධාන වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට අපේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටින බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කේෂප් මහතා වහාම ක්‍රියාත්මක වී අවශ්‍ය පහසුකම් සලසා දීම පිළිබඳව විශේෂ ස්තූතිය පළ කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. එසේම මේ අවස්ථාව ඉතා වගකීමෙන් ජනතාව වෙත ගෙන ගිය සියලුම මාධ්‍ය වෙත ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය කෘතඥතාව පළ කර සිටියේය. 

ක්‍රිසන්ති විතාරණ

නව අදහස දක්වන්න