ජාතික සම්මාන උළෙළ ලබන 20දා | දිනමිණ

ජාතික සම්මාන උළෙළ ලබන 20දා

චමීර ඇල්ලදෙණිය
ඡායාරූපය – විමල් කරුණාතිලක

වසර 12කට පසුව ජාතික සම්මාන උළෙල නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 20 වැනි දින සවස 6.00ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

1986 වසරේ සිට ජාතික සම්මාන උළෙල පවත්වා ඇති අතර, එය 2005 වසරේ සිට පවත්වා නොමැත.

1986 වසරේදී ගැසට් පත්‍රයක් මඟින් ජාතික සම්මාන උළෙල ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති අතර, එය ලංකාව තුළ නෛතික භාවයෙන් ලබාදෙන එකම සම්මානය බව ජනාධිපති ලේකම් පී බී අබේකෝන් මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (16) පැවැති මාධ්‍ය හමවට සහභාගීවෙමින් එසේ කී ලේකම්වරයා ජාතික සම්මාන උළෙලේදී ලබාදෙන සම්මාන නාමය එම පුද්ගලයාගේ නමට පිටුපසින් යෙදිය හැකි බවද සඳහන් කළේය.

වසර 12කට පසුව පවත්වනු ලබන මෙම සම්මාන උළෙල සඳහා අයඳුම් පත් 426ක් ලැබී ඇති අතර, ඉන් 90 දෙනකුට සම්මාන ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා අභිමාන්‍ය, දේශමාන්‍ය, දේශබන්දු, විද්‍යාජෝති, ශ්‍රී ලංකා රංජන, කලා කීර්ති, ශ්‍රී ලංකා ශිඛාමණි, විද්‍යා නිධි, කලාශූරි, ශ්‍රී ලංකා තිලක හා වීර ප්‍රතාප යන අංශ යටතේ මෙම සම්මාන ලබාදීමට සැලසුම් කර තිබේ.

මෙම් සම්මාන උළෙල ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමමට රජය බලාපොරොත්තුන බවත් රටේ දියුණුවට ඕනෑම අංශයකයින් ඉදිරියට පැමිණි අයට මෙම සම්මාන ලබාදීම තුළින් විශාල දිරිගැන්වීමක් ලැබෙන බවත් අබේකෝන් මහතා කීවේය.

මෙම ගෞරව නාම සම්මාන සඳහා විදේශිකයින් දෙදෙනකුද නාමයෝජනා හිමිව ඇති බවත් ඔවුන් දෙදෙනා මීට පෙර ශ්‍රී ලංකිකයන් වන අතර, දැන් වෙනත් රටක පුරවැසිභාවය ලබාගෙන සිටියදීත් ලංකාවේ විද්‍යා අංශයෙන් දියුණුවක් ඇති කිරීමට කටයුතු කර තිබෙන නිසා මෙම සම්මාන සඳහා නම් යෝජනා වී ඇති බවද ලේකම්වරයා වැඩිදුරටත් කීවේය.

ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ දිසානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක එම් කරුණාරත්න, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න