මම කිසි ම දේශපාලන චරිතෙකට මඩ ගහලා නෑ | දිනමිණ

මම කිසි ම දේශපාලන චරිතෙකට මඩ ගහලා නෑ

ශෂික දියමන්ත සමරසිංහ

තමන්ගේ හඬෙහි ගැබ් වුණු වාසනා ගුණයෙන් විවිධ චරිතවල හඬ අනුකරණය කර, ජනතා හදවත්වල නම රැන්දූ ඔහු, ITN Yoth With Talent රියැලිටියට පෑයූ තවත් එක් දිදුලන තරුවකි. තරගකරුවන් 53, 657ක් එක්ක කරට කර තරග කර, අනුශූරතාව දිනාගත් ශෂික දියමන්ත සමරසිංහ, එහෙමත් නැත්නම් කවුරුත් දන්න විදිහට කියනවා නම්, සමරෙත් එක්කයි මේ කතාබහ.

* ලැබුණු ජයග්‍රහණය ගැන දැනෙන සතුට කොයි වගේද?

බොහොම සතුටුයි. ඇත්තටම හිතුවෙ නෑ. අපි කටින් වැඩ පෙන්නුවේ. එක එක විදිහෙ දක්ෂතා තිබුණ අය හිටියා. සමහරු තරගෙ වෙනුවෙන් ලොකු අවදානමක් ගත්තා. වෙලාවකට ජීවිතේ පවා අවදානමේ දාලා තරග කළේ. අනිත් අය කරපු කියපු දේ එක්ක අපට මේ තරම් ප්‍රසිද්ධියක් ලැබෙයි කියලා හිතුවෙ නෑ. එස්. එම් .එස් .වැඩි ම අපට කියලා විනිශ්චය මණ්ඩලය කිව්වා.

* පෞද්ගලික විස්තර ටිකක් කියමුද?

මම ඉන්නෙ මහනුවර. වයස අවු 20යි. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරනවා. ඒ ගමන් කලා කටයුතුත් සමබරව කරගෙන යනවා. මං තමයි පවුලේ එක ම දරුවා. අම්මා මහමායා විද්‍යාලයේ ගුරුවරියක් විදිහට වැඩ කරනවා. තාත්තත් ගුරුවරයෙක්. එයා කිංග්ස්වුඩ් විද්‍යාලයේ.

* ITN Youth With Talent එකට එන්න කලින් ම ශෂික සමාජ මාධ්‍යවලින් ජනතාව අතරට ගිහින් හිටියේ. හිතෙන්නෙ නැද්ද දෙවැනි තැන දිනන්න උදවු වුණේ ඒ ලබාගත්ත ප්‍රසිද්ධියයි, ජනප්‍රියත්වයයි කියලා?

සමාජ මාධ්‍යවලින් යම් කිසි ප්‍රසිද්ධියක් ලබලා තිබුණා. ඒත්, ITN Youth With Talent එකේදි ආව වීඩියෝ ටිකත් එක්ක ඒ ප්‍රසිද්ධිය දෙගුණ තෙගුණ වුණා. කලින් මගෙ සමාජ මාධ්‍යවල ගිය වීඩියෝ එකකවත් ප්‍රේක්ෂකාගාරයක් තිබුණෙ නෑනේ. Youth With Talent එකේදි මං වටා විශාල ප්‍රේක්ෂකාගාරයක් හැදුනා.

* බොහොම සියුම් විදිහට, වෙනසක් නොදැනෙනන ගානට තව කෙනෙක් අනුකරණය කිරීමේ සහජ හැකියාවක් ශෂිකට තියෙනවා. ඒ හැකියාවෙන් අයුතු ප්‍රයෝජන ගන්න ආව උදවියත් ඉන්න ඇති නේද?

ඔව් හිටියා. දැනටත් ඉන්නවා. එක එක චරිතවලට මඩ ගහන්න, මගේ කටහඬ යොදාගන්න උත්සාහ කරපු අය ඕන තරම් හිටියා. සමහරු කතා කරලා ප්‍රසිද්ධ චරිතවලට මඩක් ගහන්න පොඩි වීඩියෝ එකක්, සිංදුවක් කරන්න මගෙන් වොයිස් කට් ඉල්ලුවා. ඒත් මං කවදාවත් ඒ වගේ දේ කළේ නෑ. ඒ වගේ ම කරන්නෙත් නෑ. මේ හැකියාවෙන් කාටවත් හානියක් වෙන විදිහට අයුතු ප්‍රයෝජන ගන්න මං කැමැති නෑ . ඒ විදිහට එන යෝජනාවලින්, ඉල්ලීම්වලින් බොහොම අමාරුවෙන් බේරිලා හිටියා සහ දිගට ම ඒ විදිහට බේරිලා ඉන්නවා.

* ප්‍රබල දේශපාලන චරිත හාස්‍යජනක විදිහට අනුකරණය කරනකොට එල්ල වුණු තර්ජන , ගර්ජන, විවේචන ගැන මොනවද කියන්න තියෙන්නෙ?

එහෙම දේ තිබුණෙ නෑ. මං අනුකරණය කරපු බොහෝ දේශපාලන චරිත මට මුණගැහිලා තියෙනවා. ඒ කවුරුවත් මට වචනෙකින්වත් වැරැද්දක් කියලා නෑ. ඒ වෙනුවෙන් මං ඒ හැම කෙනෙක්ට ම විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕනැ. ඒ අය විරුද්ධ වෙලා බලපෑම් කරන්න පටන්ගත්තා නම්, මට කවදාවත් මේ වැඩේ දිගට අරන් යන්න ලැබෙන්නෙත් නෑ. ඒ විතරක් නෙවෙයි, අර චරිතෙ කරන්න එපා, මේ චරිතේ කරන්න එපා කියලා ITN එක රජයෙ නාලිකාවක් වෙලත් මට කවදාවත් කියලත් නෑ.

අගමැතිතුමා පවා මම එළිපිට අනුකරණය කළත්, කිසි ම කෙනෙක්ගෙන් මට විවේචන, බලපෑම් ආවෙ නෑ. මං හිතන්නෙ හැමෝම ඒ දේ වින්දා. ඒ වගේ ම මට සම්පූර්ණ නිදහසක් දුන්නා. හැබැයි මං පෞද්ගලික නාලිකාවක මේ දේ කළා නම්, මට එක එක විදිහෙ ප්‍රශ්නවලට මුහුණපාන්න තිබුණා. සීමා දාන්නත් ඉඩ තිබුණා. ඒත්, ITN එකේදී මට සම්පූර්ණ නිදහස ලැබුණයි කියලා තමයි කියන්න තියෙන්නෙ.

* සමාජ මාධ්‍යවල ගිය ඔබේ සමහර වීඩියෝවල ඇතැම් ප්‍රබල දේශපාලන චරිතවල නම් ගම් පවා සඳහන් වුණා. හාස්‍යජනක විදිහට ඒ දේශපාලන චරිත එළිපිට අනුකරණය කරනකොට බයක් දැනුනෙ නැද්ද? කොයි අවස්ථාවක හරි ඒවයේ අනිසි ප්‍රතිවිපාක ලැබේවි කියලා?

බොහෝ දෙනෙක් හිතන්න ඇති මේ කරන දේ එක්ක මට අමිහිරි අත්දැකීම්වලට මූහුණ දෙන්න වෙයි කියලා. ඒත්, මට නම් ඒ විදිහෙ බයක් තිබුණෙ නෑ. මම කිසි ම දේශපාලන චරිතෙකට මඩ ගහලා නෑ. කඩේ ගිහිල්ලා නෑ. ඒ වගේ ම මේ හැකියාවෙන් මං කිසිම දවසක අයුතු ප්‍රයෝජන අරගෙනත් නෑ. මං මේ කරන්නෙ උපහාසයක් මිසක් අපහාසයක් නෙවෙයි. ඒ නිසා බය නෑ.

* තරගය ඇතුළෙ දි හසජ කංචන සමරනායකගෙන් ලැබුණු සහයෝගය කොයිවගේද?

හසජගෙන් ලැබුණු සහයෝගය නම් උපරිමයි. ඒ ලැබුණු සහයෝගයත් එක්ක තමයි මේ වගේ ලොකු ගමනක් එන්න වාසනාව පෑදුනේ. මේ තරගෙට යමුයි කියලා යෝජනා කළෙත් හසජ ම තමයි. එයා යොවුන් පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරයෙක්. එයාගෙන් තමයි මං මේ තරගෙ ගැන දැනගත්තේ. දැනගෙන තරගෙට තරගයක් දෙන්න ආවෙ. එයා හොඳ දක්ෂ නිවේදකයෙක්. ඒ නිවේදන හැකියාව මට උපරිම ශක්තියක් වුණා.

* හැමෝටම දැනගන්නත් එක්ක, ශෂිකට හසජ මුණගැහුණ විදිහත් ටිකක් කියමුද?

අපි පොඩි කාලෙ ඉඳන් විවාද තරගවලදි, නිවේදන තරගවලදි නිතර මුණගැහුණා. හසජ මහනුවර ධර්මරාජෙ ඉගෙන ගත්තේ. මං කිංස්වුඩ්. ඒ දවස්වල අපි අතර හොඳ තරගයක් තිබුණා. සමහර වෙලාවට සමස්ත ලංකා අපි දෙන්න ම එනවා. එයා එක වෙලා මම දෙවැනියා වෙනවා. මම එක වෙලා එයා දෙක වෙනවා. කරට කර තරගයක් තිබුණා. එහෙම තමයි අපේ ඇඳුරුම්කම, යාළුකම පටන් ගත්තේ. ඒ වුණත් අපි දෙන්නා එක වේදිකාවක එකට රංගනයේ යෙදුනෙ, Youth With Talent වලදියි.

* ජීවිතේ ඉදිරි ගමන ගැන මොනවගේ සැලැසුම්ද තියෙන්නෙ?

මම දකින විදිහට කලාවෙන් විතරක් ජීවිතේ බර ඇදගෙන යන එක ශ්‍රී ලංකාව ඇතුළෙදි හරි අමාරුයි. කරන්න පුළුවන් අය ඉන්නවා. ඒ වුණත් ඒකෙ ලොකු අවදානමක් තියෙනවා. මං හිතාගෙන ඉන්නෙ විද්‍යා අංශයෙන් ගමනක් යන්න. කලාව, ජීවිතේ පැත්තකින් තියාගෙන යන ගමන්, කවදා හරි දවසක මගේ ජීවන වෘත්තිය මම තෝර ගන්නෙ වෙනම ම අංශයකින්.

* කලින් වතාවක ශෂික ප්‍රසිද්ධියෙ කිව්වා අවසාන වටයට තේරුණොත්, ජනාධිපතිතුමා අනුකරණය කරනවයි කියලා. ඇයි අනුකරණය නොකළෙ?

ඒක නොකළෙ, ඒ අනුකරණය අපේ පිටපතට පොඩ්ඩක් ගැළපෙන්නේ නැති ගතියක් තිබුණ නිසයි. ඒ වගේ ම, ඒකෙදි හාස්‍ය කියන දේ පොඩ්ඩක් මුහු කරන්න අමාරු ගතියක් තිබුණා. වෙලාවෙ ප්‍රශ්නෙකුත් තිබුණා. ඒ නිසා අපි අවසාන වටයෙදි ජනාධිපතිතුමා අනුකරණය කළේ නෑ.

* මේ ආව ගමනෙදි විශේෂයෙන් මතක් කරන්න ඕන අය ගැනත් ටිකක් කියමුද?

මං එකේ ඉඳන් පහ වෙනකම් ඉගෙන ගත්තෙ දෙහිඅත්ත කණ්ඩිය ජාතික පාසලෙන්. පස්සෙ තමයි කිංස්වුඩ් ආවෙ. කිංස්වුඩ් එකට ආව එක මගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. ඒ ඉස්කෝල දෙක ම ආදරෙන් මතක් කරන්න ඕනෑ. මං පාසල් යන කාලෙදි පාසලේ ගුරුවරු අනුකරණය කළා. ඒ කවුරුවත් මට බැන්නෙ නෑ.

පාසලේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිපවා මං අනුකරණය කළා. එදා මා විවේචනය කරලා, මට දඩුවම් කරලා, මා නැවැත්තුවා නම්, අද සමරේලා මේ ගමන එන්නෙ නෑ.

මගෙයි, හසජගෙයි අම්මා, තාත්තා, නෑදෑයෝ, උදවු කරපු හැමෝම, විශේෂෙන් ම ජාතික තරුණ සේවා සභාවයි, ITN එකයි මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕනෑ.

ඒ අය කරපු දේ නිසා තමයි අපි හොඳ නාලිකාවකින්, හොඳ විනිශ්චය මණ්ඩලයකින් , හොඳ තරගයකින්, හොඳ විදිහට එළියට ආවෙ. ඒ නිසා අපි මේ හැකියාව තුට්ටු දෙකට විකුණන්නෙත් නෑ. අපේ මාපියො අප තුට්ටු දෙකට විකුණුවෙත් නෑ. අපේ අම්මලා, තාත්තලා ඕක සීඩීවලට ගහලා, බෝක්කු ගානෙ, බස් හෝල්ට් ගානෙ විකුණුවෙ නෑ . අන්තිමටත් කියන් තියෙන්නෙ, කෙටි පණිවිඩයකින් පවා උදවු කරපු හැමෝටම ස්තූතියි කියලයි.

 

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න