'සිළුමිණ කවදාවත් මාව අපහසුවට පත් කරලා නැහැ' - ඉරාජ් | දිනමිණ

'සිළුමිණ කවදාවත් මාව අපහසුවට පත් කරලා නැහැ' - ඉරාජ්

ඉරාජ් සද්ද බද්ද නැතුව හිටිහැටියේම පෙරළියක් කරනවා. මොකද්ද මේ මාර්කටිං තියරි එක?

මම කරන දේවල් ගොඩක් කතා බහට ලක් වෙන්නේ හැම තිස්සෙම අලුත් දෙයක් කරන හින්දා. නැතුව මේක මාර්කටිං තියරි එකක් නෙමෙයි.

මොකද්ද එහෙනම් ඔබේ මාර්කටිං තියරි එක?

මට තියෙන්නේ Accounting & Finance Degree එකක්. මම මාර්කටිං කියන දේ ඉගෙන ගෙන තියෙනවා. . මාර්කටිං කියන දේ මම දකින්නේ පොතේ තියරිය තිබුණට ප්‍රායෝගිකව apply කරන්න ගියහම වෙනස්වෙන දෙයක් හැටියට. ඇත්ත ජීවිතේ මාර්කටිං අපි apply කරන්න ඕනේ අපට අවශ්‍ය විදිහටයි...

ඒ ආභාසය ලැබුණේ ඔබේ පියාගෙන් වෙන්න ඇති ?

මගේ පවුලේ කවුරුත් මාර්කටිංවලට සම්බන්ධ නැහැ. තාත්තා ව්‍යාපාරවලට සම්බන්ධයි. හැබැයි එහෙම කියලා අභාසයක් පවුල් පසුබිමේ නැහැ.

ඔබ හඳුන්වන්නේ සංගීතඥයෙක් ලෙසයි. නමුත් ගී ගායනයට හැකියාවක් නැති, තාක්ෂණයෙන් තොර සංගීත නිර්මාණයට හැකියාවක් නැති අයෙකි යන ඔබට නඟන චෝදනාවට ඔබේ පිළිතුර ?

දැන් මට සින්දු කියන්න බැහැ කියලා කියනවනේ. නමුත් මිනිස්සු ආදරය කරන සින්දු කීයක් මම හදලා තියෙනවද. මුකුත් බැරුව මෙහෙම නිර්මාණ කළා නම් දක්ෂකම තිබුණොත් මම කොහොම සින්දු හදයිද? කොම්පියුටර් එකේ බටන් එකක් ප්‍රෙස් කළාට සින්දු හැදෙන්නේ නෑ. එහෙනම් කොම්පියුටර් තියෙන ඕන කෙනෙක් සින්දු හදන්න ඕනේ. බනින අයගෙන් මම අහන්නේ මෙච්චරයි...ඇයි මුකුත් කරන්නේ නැත්තේ ? මේක අපේ සිංහල මිනිස්සුන්ගේ විතරක් තියෙන ප්‍රශ්නයක්. සිංහල ජාතිය අපේ රටේ පිරිහිලා තියෙන්නේ අනිත් මිනිස්සුන්ට ඉරිසියාම කරලා. රටක් හැටියට ඉදිරියට යන්නත් බැරි ඒ ඉරිසියාව නිසාමයි. ඒ හින්දා හැමදාම පිටි පස්සෙන්. මම කවුරු කියන දෙයක්වත් අහන්නේ නැහැ. මගේ වැඩේ මම කර ගෙන යනවා. කාටවත් මාව නවත්තන්න බැහැ. ඒ තමයි මගේ සාර්ථකත්වය.

සංගීතය පිළිබඳ ඔබේ වෘත්තිමය සුදුසුකම් ගැන මා ඇසුවොත් ?

මම ඉලෙක්ට්‍රොනික් කීබෝර්ඩ්ස් ඉගෙන ගත්තා. පාසල් කාලේ දෙපාරක්ම් ඕල් අයිලන්ඩ් චැම්පියන් වෙලා එංගලන්තේ ශිෂ්‍යත්වයක් පවා ලැබුණා. නමුත් අවාසන­ාවකට පසු කාලීනව සංගීතය හදාරන්න බැරි වුණා. ගෙදරින් වැඩි පුර යොමු කළේ ගිණුම්කරණයට. මියුසික් වලට ගෙදරින් උනන්දුවක් නොතිබුණු තරම්

නවකයන්ගේ හැකියාව යොදා ගෙන ඔබේ ජනප්‍රියතාව හෝ සාර්ථකත්වය ගොඩ නඟා ගන්නවා යන්න ඔබට එල්ල වන තවත් චෝදනවක් ?

මම සංගීතඥයෙක් විදිහට නවකයන් සෑහෙන පිරිසක් මෙරටට හඳුන්වා දිලා තියෙනවා. රොමේෂ්, ඉන්ෆාස්, පේෂල මනෝජ් දැන් අතිශය ජනප්‍රියයි. රැප් ආර්ටිස්ලා සීයයට අනූවක්ම මමයි එළියට දැම්මේ. ඔවුන් දැන් තනියම දැන් වැඩ කරගෙන යනවා. මම ඔවුන්ව ෆ්ලැට්ෆෝර්ම් එකක් ඉස්සරහට අරන් දුන්නා පමණයි. මේ රටේ කොච්චර පිරිසක් ඉන්නවාද අවස්ථාවක් නැතිව... මගේ ගීතයකින් මම නවකයකුට අවස්ථාව දුන්නාම ඔවුන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත යුතුයි. එතන යූස් කිරිල්ලක් නැහැ. අපිට එහෙනම් ඒ. ආර්. රහමන්ටත් චෝදනා කරන්න පුලුවන් අනිත් අයව යූස් කරනවා කියලා. මොකද ඔහු සිංදු කියන්නේ නැහැ නේ. ඕකටත් කියන්න තියෙන්නේ කුහක කම කියලා තමයි. කවුරුහරි දෙයක් කරද්දි අනෙක් කෙනා බලන් ඉන්නේ ඒකට බනින්න.

ඒ අවස්ථාව ඔවුන්ට ලැබෙන්නේ ලොකු මිලකට, ඔබ එතරම් මිල අධිකයි ?

ඔව්. මම අනිවාර්යෙන් මිල අධික පුද්ගලයෙක්. මගේ නිර්මාණ කෙරෙන්නේ මිලියන ගාණක ලොකු ඇඩ්වටයිසිං බජට් එකකින්. හැබැයි ඔය අන්තීමට ආපූ ‘ආශාවරි‘ ගීතයට ගායකයාගෙන් සත පහක් වත් වියදම් නොකර මමයි මුළු ප්‍රඩක්ෂන් එකම අරගෙන කළේ. එහිදි පද රචකයාට පවා ගෙවන්නෙත් මම. ඉතින් මම ගායකයෙක් හඳුන්වා දුන්නහාම ඊට පස්සේ ඒ ගීතයේ ගායන අයිතිය හා වෙනත් තැන් වල ගිහින් ගායනා කරන්න අවස්ථාවත් ඔවුන්ට ලැබෙනවා.

ඒ කියන්නේ ගීතයට අදාළ රූප රාමු හෝ පසුබිම් කතාව හැදෙන්නේ ඔබේ තනි මතයට?

ඔව්. මගේ තනි මතයට අනුව තමයි කොන්සෙප්ට් එක හදන්නේ. හැබැයි වීඩියෝ අධ්‍යක්ෂවරු මම හදා ගත්ත ටීම් එකක් එක්කයි වැඩ කරන්නේ. එහිදි ඔවුන්ගේ ඉන්පුට් එකත් ලැබෙනවා.

නිර්මාණකරණයේදී සංස්කෘතිය, සභ්‍ය අසභ්‍යත්වය හෝ සීමා මායිම් ගැන ඔබ තැකීමක් නැද්ද?

මට සීමා මායිම් නැහැ. බොරුවට කොටු කරගෙන ඉන්න දේවල්. වැඩිපුරම ඇල්කොහොල් බොන්නේ අපේ රටේ, සියදිවි නසා ගැනීමෙන් වසර ගණනක් පළමු තැන තිබුණේ අපේ රට. අවුරුදු පහක ඉඳලා ගූගල් එකේ වැඩිපුරම සෙක්ස් කියන වචනේ ස්ර්ච් කරන ලෝකෙන්ම අංක එක අපේ රට.. ඉතින් මෙහෙම වෙන්නේ පුදුම අසහනකාරයෝ ටිකක් ඉන්න නිසා නේ. ඒ කියන්නේ අපේ සංස්කෘතියේ තියෙන්නේ ලොකු අවුලක්. අන්න ඒ අවුල්වලට තමයි මම හැම තිස්සේම කතා කර කර ගහන්නේ.. අපේ මිනිස්සු හොරෙන් කරන දේවල් එළි පිට දැම්මාම ඒවා දරා ගන්න බැහැ. ඒ නිසානේ මට බැන බැන මට චෝදනා කරන්නේ.

ඉරාජ් ඉන්නේ ලංකාව ගැන කලකිරීමකින් වගේ?

ඔව්. අපේ සමාජය ගැන නම් මම ලොකු කලකිරීමකින් ඉන්නේ. අපේ මිනිස්සු එක්කෙනකුට එක්කෙනෙක් උදව් කර ගන්නේ නැහැ. ඒ නිසාමයි අපි ලෝකෙටම ණය වෙච්ච රටක් වෙලා තියෙන්නේ. පැත්තකින් දේශපාලඥයෝ පිස්සු කෙළිනවා. මෙහෙන් මිනිස්සු පිස්සු කෙළිනවා. මට නම් දැනෙන්නේ තවමත් දූපත් මානසිකත්වයකින් ඉස්සරහට යන්න බැරිව ජිවත් වෙන වහල්ලු වගේ පිරිසක් ජිවත් වෙන රටක් විදිහටයි. ඔවුන්ගේ ඔලු හදන්න වෙන්නේ අපිට දැන් ඉන්න තරුණ පිරිස අලුතෙන් හිතන අය බවට පරිපවර්තනය වෙලා.

ඒ කියන්නේ ඉදිරියේදි විදෙස්ගත වෙන්නත් පුළුවන්?

දැනටත් වැඩි කාලයක් මම ගත කරන්නේ අමෙරිකාවේ. අවුරුද්දෙන් මාස දෙක තුනයි ලංකාවේ ඉන්නේ. මෙහෙ රැඳෙනවා බොහොම අඩුයි.

ඉරාජ් ජාත්‍යන්තරයට ගියා කියනවා. නමුත් දන්න කෙනෙක් නැති තරම්?

මම ඉන්දියානු දෙමළ චිත්‍ර‍පට ගණනාවක් සහ හින්දි ,නේපාල් භාෂාවෙන් සංගීතයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. යු ටියුබ් ගිහින් ඉරාජ් කියලා ටයිප් කළොත් මගේ ජාත්‍යන්තර නිර්මාණ සියල්ල ඕනෑම කෙනකුට බලා ගන්න පුළුවන්. ඉස්සරහට අමරිකාවේ ඒ - කෝන් එක්ක වැඩ කරනවා. දැනටත් එහේ ආර්ටිස්ලට මම සිංදු ප්‍ර‍ඩියුස් කරනවා. ෂෝන් කිංස්ටන් වැනි බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ ලෝකේන්ම අංක එක වෙච්ච ආර්ටිස්ලා කී දෙනෙක් මා එක්ක වැඩ කළාද මගේ මියුසික් විඩියෝ වල පවා ඔවුන් ඉන්නවා නම් තවත් මොනවද? ඕකත් ඉතින් දරා ගන්න බැරි එක්තරා මානසිකත්වයක් තමයි.

මේ තරම් මහා පරිමාණයෙන් නිර්මාණ කරන්න මුදලක් සංගීතයෙන් ලැබෙනවාද?

ඔව්. ඊට අවශ්‍ය මගේ මාර්කටිං, මගේ අලුත් ක්‍ර‍ම සහ විදි තියෙනවා. සෝෂල් මිඩියා , යූ ටියුබ් මගේ තනි ටීවී චැනල් එකක් වගේ තැනකට දැන් හදා ගෙන ඉවරයි. මම විඩියෝ එකක් දැම්මොත් අපේ රටේ විතරක් බලන්න ලක්ෂ හතළිහ පනහ ඉන්නවා. ඉන් මට විශාල මුදල් ප්‍ර‍මාණයක් ලැබෙනවා. ඉතින් මේවා මම තනියෙන් හදා ගත් දේවල්.

ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ඉරාජ් කියන්නේ හුදෙකලා චරිතයක්?

හැමෝම එක්ක ගනු දෙනු කරන්න මම කැමැති නැහැ. බොහොම සීමිත පිරිසක් එක්කයි මම වැඩ කරන්නේ. මගේ ස්පිඩ් එක වෙනස්. ඒ ලෙවල් එකට වැඩ කරන්න බැරි අය මඟදි හැළෙනවා.

අඩන ගීත රැල්ල, රිංගිං ටෝන් රැල්ල ලාංකේය සංගීතය විනාශ කරනවා නම් ඔබේ සෙක්ස් මාර්කටිං රැල්ලෙන් සිදු වන්නෙත් සංගීතයට බලපෑමක් නෙමෙයිද?

‘තොල් සිප ගැනීමක්‘ කියන්නේ සෙක්ස් මාර්කටිං නෙමෙයි නේ. සිංගප්පුරුව මැලේසියාව වගේ රටවල මිනිස්සු ආදරය කරන විදිහ හරිම සුන්දරයි මාර නිදහස්. මගකදී වුණත් යුවළක් ආදරය ප්‍ර‍කාශ කර ගැනීම, වෙන් වෙලා යන කොට සිප ගැනීම හරිම ආදරණීයයි.. මිසක් වෙනත් දෙයක් නැහැ.. මෙහෙ ඒවට හරිම බයයි. ඔක්කොම හොරෙන් කරන්නේ .

අපේ රටේ ගෑනු ළමයකුට හතෙන් පස්සේ එළියට යන්න පුළුවන්ද? විසිල් ගහයි. අමුතු විදිහට බලයි. අපේ මේ බෞද්ධ රටේ මිනිස්සුන්ට එළියට බැහැල යන්න නිදහසක් නැහැ. ඉතින් මම මේ දේවල් දාන්නේ අපේ ඊළඟ ජෙනරේෂන් එකවත් වෙනස් කරන්නයි. අපේ අයට බොලිවුඩ් චිත්‍ර‍පට බලන්න පුළුවන් නම් උඩ දාගෙන. අපේ දේවල් වලට සිප ගැනීමේ දර්ශනයක් දාන එක ලොකු දෙයක් නෙමෙයි. 60, 70 දශකයේ චිත්‍ර‍පට වල මීට වඩා නිදහස තිබුණා. දැන් තමයි මේ බොරු බෞද්ධ කමක් අරගෙන කෑගහන්නේ. දේශපාලඥයන්ගේ ප්‍රයෝජනය සඳහා හැදිච්ච රාමු වලට අපි මේ කොටු වෙලා. මම කරන්නේ ඒ සීමාවන් කඩන එක.

ඔබ පොරක් වෙන්නද හදන්නේ?

පොරක්ද කියලා දන්නේ නැහැ. මම නිර්මාණයක් කළාම ඒ ගීත විවේචනය කරන්නම සමහර චැනල් වලත් රෙඩියොවල් පැය ගණන් වෙන් කරගෙන මට බැනලා බැනලා ඒ අයම මාව පොරක් කරගෙන. ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ.

ලංකාවේ මාධ්‍ය ඔබට කොතරම් වැදගත් ද?

මම කාලයක් මාධ්‍ය එක්ක වැඩ කළා. දැන් නම් මාධ්‍ය පස්සේ යන්නේ නැහැ. වරක් මම මාධ්‍ය එක්ක රණ්ඩු කළා. ඔවුන් සල්ලි අරන් ආර්ටිස්ලට කරන ජරා වැඩ ගැන.. ලංකාවේ සමහර විද්‍යුත් මාධ්‍ය තමයි තීරණය කරන්නේ මොන සිංදුද හිට් වෙන්නේ මොනවද නැත්තේ කියලා. ඉතින් මට ලොකු කලකිරීමක් ඇති වුණා මේ මාධ්‍ය සංස්කාතිය ගැන. මට මගේ අලුත් නිර්මාණවලට උදව් කළ චැනල්ස් තියෙනවා. ඔවුන් එක්ක මම ඉන්නවා. සමහර පුවත් පත් ඔවුන්ගේ ආර්ටිකල් එක මාර්කට් කර ගන්න මම නොකියපු දේවල් හෙඩ් ලයින් වල දාලා තිබුණා. ඉතින් කාටත් කරදරයක් නොවි මම මාධ්‍යයෙන් හිමින් අයින් වුණා. දැන් මාධ්‍යට එන්නේ හරිම අඩුවෙන්.

නමුත් ඔබ මේ කතා කරන්නෙත් ජාතික මාධ්‍යයකට?

හැම මාධ්‍යකටම මම විස්තර දෙන්නේ නැහැ. හැබැයි මේ පුවත් පතෙන් අද වෙනතුරු මම නොකියූ දෙයක් ලියලා මා අපහසුවට පත් කරලා නැහැ. 

-ටානියා මෝසස්

නව අදහස දක්වන්න