කලක පටන් කරගෙන ගිය හොර හරක් ජාවාරමක් අල්ලයි | දිනමිණ

කලක පටන් කරගෙන ගිය හොර හරක් ජාවාරමක් අල්ලයි

කලකපටන් ගවයන් මස් පිණිස ප්‍රවාහනය කරමින් ජාවාරමේ යෙදුන පුද්ගලයන් පිරිසක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට අම්පාර පොලිස් දුෂණමර්දන ඒකකයේ නිලධාරීන්ට හැකිව තිබේ. ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කරනු ලැබු අතර එම ලොරිය තුළ අපරික්ෂාකාරී ලෙස ගවයන් දහසය දෙනෙකු මොනරාගල සිට සම්මන්තුරේ දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. ලොරියේ ගවයන් ප්‍රවාහනය කළ අවස්ථාවේ සිටි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගවයන්ගේ හිමිකරු බවට එක් පුද්ගලයකු ඉදිරිපත්ව සිටී.

ලොරිය තුළ කලක පටන් ගවයන් රැගෙන යෑම සඳහා යකඩ බට යොදා ගනිමින් එහි ඇතුළත සකස් කර ඇති ආකාරයත් ලොරියේ වහලයේ කොටසක් ඉවත් කර ඇති ආකාරයත් අනුව මෙම ජාවාරම ඉතා සුක්ෂමව සිදු කර ඇති බව පොලිසිය පවසයි.

මොනරාගල පශූ වෛද්‍ය නිලධාරි විසින් නිකුත් කරනු ලැබු ලේඛනවල ඇති වෙනස් කම් සහ එම ලේඛනවල සඳහන් ගවයන්ගේ තොරතුරු පරස්පර වීම හේතුවෙන් ලේඛන පිළිබඳවද සැකයක් ඇති බව පොලිසිය සඳහන් කරයි.

විවිධ වයස් මට්මේ කිරි ගවයන් ගව දෙනුන් ගව පැටවුන් මෙහි සිටි අතර නිසි ප්‍රමිතියකින් තොරව ගවයන් එකිනෙකා හිරවන ආකාරයට ප්‍රවාහනය සිදු කර ඇත.

අම්පාර කොට්ඨාස පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් පරිදි අම්පාර මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩී.සී.ඩී ඉලංගකොන් මහතාගේ මුලිකත්වයෙන් දුෂණමර්දන ඒකකයේ උපපොලිස් පරික්ෂක ඩබ්ලිව් .එච්.ඒ.වයි.ආර්.විඡේසේකර උපපොලිස් පරික්ෂක බී .පුගලාදන් මහතා සහ පොලිස් කොස්තාපල් වරුන් වන 43658 ලක්ෂමන් 43536 සුදත් 53271 සම්පත් නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

දිගාමඩුල්ල සමුහ චන්දන ලියනආරච්ච්
ඡායාරූප - දිගාමඩුල්ල සමුහ

 

නව අදහස දක්වන්න