වගකීම්වලට සීමා නොවී මානුෂීය මෙහෙවරක් ලෙස සලකා රාජකාරි ඉටු කරන්න | දිනමිණ

වගකීම්වලට සීමා නොවී මානුෂීය මෙහෙවරක් ලෙස සලකා රාජකාරි ඉටු කරන්න

නිරුෂි විමලවීර

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 34වැනි සම්මේලනයට එක්වෙමින් ජනපති කියයි

රාජ්‍ය සේවයේ වගකීම්වලට සීමා නොවී මානුෂීය මෙහෙවරක් ලෙස සලකා කටයුතු කරන ලෙසත්, චක්‍රලේඛ, උපදෙස්, අණපනත්වලට ගරු කරමින් උපන් දේශය යහපත් රටක් ලෙස නඟා සිටුවීමට කැපවෙන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේ දී පසුගිය දා පැවැති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 34 වැනි වාර්ෂික සම්මේලනයට එක්වෙමිනි.

උත්සවයට එක් වූ ජනාධිපතිවරයා චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන් දැල්වීමේ අවස්ථාවට එක්විය.

පූජා නර්ථනයෙන් උත්සව සභාවේ කටයුතු ආරම්භ වූ අතර විශේෂ අවශ්‍යතා ඇති දරුවන් විසින් ඉදිරිපත් කළ නර්ථනය ඉතා දැකුම්කලු අංගයක් විය.

පරිපාලන ක්‍‍‍ෂේත්‍රයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වූ පිල්ලේ නඩරාජා මහතා විසින් රචිත ‘අබ්දුල් කලාම්’ සැමරුම් කලාපය ජනාධිපතිවරයාට පිළිගැන්වීම ද මෙහි දී සිදු විය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද සඳහන් කළේය.

පරිපාලන සේවා සංගමය වශයෙන් ඔබ සැම අපේක්ෂා කරන අරමුණු, පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමට ලැබේවායි මා සුබ ප්‍රාර්ථනා කරනවා.

රාජ්‍ය සේවය පිළිබඳව පසුගිය දශක කිහිපයේ තිබෙන අත්දැකීම් ගත්විට බලයට පත් වූ සෑම රජයක්ම රාජ්‍ය සේවයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ, කාලානුරූපව සිදුවිය යුතු වෙනස්කම් සිදු කළා. නව ලෝකයේ නව තාක්ෂණය සහ නව ශිල්පීය ඥානයත් සමඟින් දියුණු රටවල රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය පිළිබඳව අදාළ වූ ක්‍රමවේදයන් ද, පුහුණුවීම්, අත්හදා බැලීම්, වැඩමුළු, සාකච්ඡා, සම්මන්ත්‍රණ, ශිෂ්‍යත්ව තුළ ඔබේ දැනුම වර්ධනය කිරීමට කටයුතු කළ බව මගේ විශ්වාසයයි.

මීට වසර දෙකකට පෙරාතුව මගේ රජය බලයට පත්වීමෙන් පසු මේ රටේ රාජ්‍ය සේවය ඇතුළු දේශපාලන ක්ෂේත්‍රයේත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලත් වඩා යහපත් භාවයක්, විනයගරුක භාවයක්, හික්මීමක් හැදියාවක් ඇති කිරීමට නව නීති රීති අණපනත් රාශියක් සම්මත කළා. ඉන් සමහරක් ක්‍රියාත්මක කර තිබෙනවා. තවත් සමහරක් ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.

මීට පෙර දේශනය කළ රණසිංහ මහත්මයා තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳව සඳහන් කළා. තොරතුරු දැන ගැනීමේ පනත සහ විගණන පනත මේ රටේ රාජ්‍ය සේවයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ඉතාමත් වැදගත් වූ පරිවර්තනීය අවශ්‍යතාවන් ලෙස මා සලකනවා.

ඒ නිසා එවැනි නව නීති රීති තුළ මූලික වශයෙන්ම රාජ්‍ය පාලනයට, පොදු මහජන සේවාවට සදාචාර වීම, විනයගරුක වීම, විනිවිද භාවය ඇතිවීම, විවෘත භාවය ඇතිවීම, මහජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සමාජයක යහපැවැත්ම සඳහා ඉතා අත්‍යවශ්‍ය වූ අංග ලෙස මා සලකනවා.

ඔබ මේ රටේ විවිධ ආයතන වල, විවිධ ක්ෂේත්‍රවල දරන වගකීම් සහ තනතුරු සමඟින් ඔබ රටේ අනාගතය වෙනුවෙන් මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් ඉටුකර ඇති සේවය ඉතා ප්‍රශංසනීය වූ ගෞරවනීය වූ සේවාවක්. උසස් ප්‍රමිතියකින් සහ ගුණාත්මකභාවයෙන් එම සේවාවන් ඉටු කිරීමට ඔබට සැමවිටම ධෛර්යය සහ වාසනාව ලබාදුන් බව මා විශ්වාස කරනවා.

දේශපාලනඥයා සහ රාජ්‍ය නිලධාරියා අතරේ තිබිය යුතු සම්බන්ධතාවය පිළිබඳව පසුගිය වසරේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ඔබේ වාර්ෂික සමුළුවේදී මා සඳහන් කළා. ඇතැම් සංවර්ධන කටයුතු වලදී සිදුවන ප්‍රමාද දෝෂ,මඟහැරීම් වලට බොහෝ විට රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයින් අතරේ ඇති සුහඳතාවය අවමවීම, සම්බන්ධතාවය අඩුවීම, හමුවීම් අවමවීම යන මේ කරුණු බලපානවා. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුව, අමාත්‍යාංශ වල දෙපාර්තමේන්තු වල මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් වල බෙහෝ වේලාවට මේ දෙපාර්ශ්වයන්ගේ එක්වීම හමුවීම අවමවීම් නිසා එවැනි අඩුපාඩුකම් ඇති වෙනවා. එය පුළුල් ලෙස රටේ සංවර්ධනයට බලපානවා. වාර්ෂිකව මුදල් එක් එක් ආයතන වලට වෙන්කිරීමේදී, ඔබ සහ අපත් රටේ මහජනයාත්, රජයක් ලෙස බලාපෙරොත්තු වන සංවර්ධන ඉලක්ක වල පසුබෑම් ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් ආයතන වල වර්ෂ අවසානයේදී මුදල් ආපසු යනවා. ටෙන්ඩර් කැඳවීමේදී ඇති වන ප්‍රමාදයන්, තීන්දු ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් අදාළ ආයතන වල එකඟතාවයෙන් කටයුතු කළ යුතුයි. ඊට සම්බන්ධ වූ මැති ඇමැතිවරු, ආයතන ප්‍රධානීන් අතරේ හමුවීම්වල දී සිදුවන අඩුපාඩුකම් අප දකිනවා.

ප්‍රාදේශීය සංවර්ධන කමිටුව මාස ගණකින් නොපැවැත්වුණේ ඇයිදැයි කියා ප්‍රශ්න කළවිට දිස්ත්‍රික්ක සංවර්ධන කමිටුව මාස ගණනකින් නොපැවැත්වුණේ ඇයි දැයි කියා ඇසූවිට ‘ ඇමැතිතුමාගෙන් දිනයක් ගැනීමට අපහසුවුණා’ යැයි ඊට පිළිතුරු ලැබෙනවා. මීට විසඳුමක් ලෙසින් මේ වසර ආරම්භයේ දී වාර්ෂික කාලසටහනක් සැකසීම පිළිබඳ ජනාධිපති ලේකම්, පී. බී. අබේකෝන් මහතාට උපදෙස් ලබා දුන්නා. ඒ පිළිබඳව මා කැබිනට් මණ්ඩලය දැනුවත් කළා. දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු, අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු, ආයතනවල මාසික ‍ත්‍රෛමාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් සඳහා වාර්ෂික කාල සටහනක් සකස් කර ගැනීමටත්, ඒ සකස් කර ගන්නා වූ කාලසටහන මැති ඇමැතිවරුන්ට දැනුම් දීමටත්, පළාත් සභා රැස්වීම් නොමැති, පාර්ලිමේන්තු රැස්වීම් පළාත් පාලන ආයතන නොපැවැත්වෙන දින ඉවත් කර වාර්ෂික කැලන්ඩරයක් ලෙස සකසා දීම තුළ රැස්වීම් පැවැත්වීමේ වැදගත්කම හා අවශ්‍යතාවය පෙන්වා දුන්නා. ඒ රැස්වීම්වලට අදාළ ඇමැතිවරයා ඒ දිනයට පැමිණිය යුතුයි. කලින් දැනුම් දුන්නා වගේ. වාර්ෂිකව අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීම්වල දී සියලු දෙනා දැනුවත් වෙනවා. ප්‍රාදේශීය හා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලත් ඒ අයුරින් වාර්ෂික කාලසටහන සකස් කර රැස්වීම් පවත්වනවා. මෙයින් අප බලාපොරොත්තු වෙන්නේ සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමයි. අදාළ අංශ පිළිබඳ නිසිදැනුමක් ලබාගෙන සංවර්ධන කාර්යය ක්‍රියාශීලීව සිදුකරමින්, නිර්මාණශීලී අන්දමින් ඔබගේ කාර්යය ඉටුකරන බව මා මැනවින් දන්නවා.

බොහෝ වෙලාවට එන චක්‍රලේඛ, උපදෙස්, අණපනත්වලින් කරන මඟ පෙන්වීම මූලිකව ඉටුකළ යුතු රාජකාරි මට්ටමේ වගකීම් යටතේ කළයුතු කාර්යයන්. නමුත් ඔබ සෑම කෙනකුගේම දැනුම බුද්ධිය හා පරිණතභාවය සමඟ යෙදී සිටින ක්ෂේත්‍රය තුළ නිර්මාණශීලීභාවයනන් සමඟ ඔබේ දායකත්වය මහජනතාවට ලබාදිය හැකියි. ඒ නිසා රටක සංවර්ධනය සඳහා මූලික වශයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම් ඉටුකිරීමේ දී එම චක්‍රලේඛ හා උපදෙස්වලට ගරු කරමින් රාජකාරියට එහා ගිය උසස් වූ මානුෂීය කාර්යයන් ඉටු කර ගන්නට ඔබේ දැනුම වර්ධනය කර ගන්නට මෙවැනි නිර්මාණශීලී කාර්යයන් වැදගත් වෙනවා.

ඒ නිසා ශ්‍රී ලංකා පරිපාලන සේවය ලෙස ඔබ කරන කියන කටයුතු සංවර්ධනය සඳහා මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑම සඳහා ඔබේ කැපවීම මා ඉතාමත් අගයනවා. ඔබ සෑම කෙනෙක්ම රට වෙනුවෙන් කරන සේවාවන් සඳහා රජයේ ගෞරවය හා ප්‍රසාදය සියලු දෙනාටම පිරිනමමින් ඔබ බලාපොරොත්තු වන කාර්යයන් ඉටු කර ගැනීමට ආශිර්වාද කරනවා.

තොරතුරු දැනගැනීම සහ රාජ්‍ය නිලධාරියාගේ වගකීම මැයෙන් මුඛ්‍ය දේශනය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශක පියතිස්ස රණසිංහ මහතා-

තොරතුරු දැන ගැනීමේ පනත වසර 2016 අගෝස්තු මස පාර්ලිමේන්තුවේ දී සම්මත කළා. ලෝකයේ හොඳම පනත් අතරට තිබෙන පනතක් ලෙස සැලකිය හැකියි. නියෝග සහ නීති අංශයෙන් ශ්‍රී ලංකාවේ පවතින පනත් අතරින් තෙවැනි තැන හිමි වන්නේ තොරතුරු දැන ගැනීමේ පනතටයි. රටේ පවතින අනෙකුත් පනත්වලට වඩා මෙහි විශේෂත්වයක් තිබෙනවා. එනම් වෙනත් පනත් ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය නිලධාරීන් විසිනුයි. නමුත් මේ පනත ක්‍රියාත්මක කරන්නේ ජනතාව විසිනුයි. ඒ නිසා එය සුවිශේෂී පනතක්.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති රංජිත් ආරියරත්න මහතා ද මෙහි දී අදහස් දැක්වීය.

අගමැති රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර, ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන්, අග්‍රාමාත්‍ය ලේකම් ඊ. එම්. එස්. බී. ඒකනායක, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල්ද අල්විස් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් සුනිල් ගලගම යන මහත්වරුන් ද පරිපාලන ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - සුදත් මලවීර

නව අදහස දක්වන්න