දරුවන්ට බුද්ධිය ලැබෙන්නේ මවගෙන් | දිනමිණ

දරුවන්ට බුද්ධිය ලැබෙන්නේ මවගෙන්

විද්‍ය­ානුකූල සොයාගැනීම්වලට අනුව, මවගෙන් දරුවන්ට බුද්ධිය ලැබෙන බව සනාථ කරගෙන තිබේ. ලොව පුරා වෙසෙන මවුවරුන්ට නම් මෙය සැබැවින්ම සතුටට කරුණක් වනු නොඅනුමාන ය. Psychology spot හි මනෝ වෛද්‍ය ජෙනිෆර් සුවාරෙස්ට අනුව, බුද්ධියේ ජානය දරුවන්ට ලබාදීමේ කර්තව්‍ය සිදු වන්නේ මවගේ ජාන මඟින් බව සනාථ කරගෙන තිබේ.

අධ්‍යයන ගණනාවකින් පසු, ජර්මනියේ යූඅයිඑම් විශ්වවිද්‍යාලයේ පවත්වන ලද සමීක්ෂණයකට අනුව ද, බුද්ධිය සපයන ජානය x වර්ණ දේහයෙහි ඇති බව සොයා ගැණුනි. කාන්තාවන් එවැනි ජාන දෙකකට හිමිකම් කීම නිසා, බුද්ධිය ලැබීමේ ජානය තම මවගෙන් ලබාගන්නා බව ඒ අනුව පෙනී යන බව ඔහුගේ අදහස වේ. ඒ වගේම, 30% ක් පිරිමින් තුළ බුද්ධිමය ඌණතා දකින්නට ලැබීම මඟින් ද මෙය තව දුරටත් සනාථ වන බව සුවාරෙස්ගේ අදහස වේ.

ස්කොට්ලන්තයේ වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ සමාජ සහ මහජන සෞඛ්‍ය ඒකකය මඟින් පවත්වන ලද අධ්‍යනයකට අනුව, බොහෝ දුරට මවට ඇති සාමාන්‍ය දැනීම පිළිබඳ බුද්ධි මට්ටම මඟින් ද එය සනාථ වන බව කියැවේ. තරුණ තරුණියන්ගේ බුද්ධි මට්ටම, ඔවුන්ගේ මවුවරුන්ගේ බුද්ධි මට්ටමට අනුව 15% ක වෙනසක් පමණක් දක්නට ඇති බව සුවාරෙස්ගේ වාර්තා පවසා සිටී.

විද්‍යාවට අනුව, 60% ක බුද්ධියක් හිමිවීම සඳහා, පරම්පරාගත හා ආවේණික බලපෑමක් ඇතුවා සේ ම, දරුවකු බලාගන්නා හා හදාවඩා ගන්නා ආකාරය ද, දරුවාගේ බුද්ධි වර්ධනයට හේතු වන බව පැවසේ.

මිනෙසෝටා විශ්වවිද්‍යාලය මඟින් කරන ලද සමීක්ෂණවලට අනුව, තම මව සමඟ ඉතා ආරක්‍ෂිත බැඳීමක් ඇති දරුවන්, පරීක්ෂණවලදී ඉතා හොඳින් දක්ෂතා පෙන්වන බව පැවසේ. මේ දරුවන්ට ආරක්ෂාව දැනෙන නිසා, ඔවුන් තුළ විශ්වාසය ඇතිවනබැවින්,කලකිරීම් නැතිව අමාරු හා බැරෑරුම් අවස්ථාවලට මුහුණ දීමට ඔවුන්ට හැකි වන බව ද මේ පර්යේෂණ වාර්තා සනාථ කරයි. වොෂින්ටන් විශ්වවිද්‍යාලය මඟින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව, වයස අවුරුදු 13 ක් වන දරුවන්ගේ මොළයේ පිහිටා ඇති, ඉගෙනීම, මතකය හා ආතතියට දක්වන ප්‍රතිචාර සඳහා වන කේන්ද්‍රය වන හිපොකැම්පස් (hippocampus) හි කරන ලද පර්යේෂණයකට අනුව, තම මව සමඟ ඉහළ බැඳීමක් ඇති දරුවන්ගේ බුද්ධි මට්ටම 10% කින් ඉහළ බව සොයා ගෙන තිබේ.

 

යශෝදා ඉන්දීවරී
අන්තර්ජාලය ඇසුරිනි

නව අදහස දක්වන්න