එහෙයියන් නැති රටක්

 රටේ කාගේත් අවධානයට ලක් විය යුතු අපූරු ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් ජනගතකර තිබේ. එම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන් ම වර්තමාන පාලන තන්ත්‍රයත් එහෙයියන් බිහිකරන තැනෙක නැති බව ය. අද අපට අවශ්‍ය වන්නේ සියල්ලටම ‘යාර්ස්’ කියන දේශපාලකයන් නොව; ඇත්ත කියන හා සමාජය දෙස විචාරාක්ෂියෙන් බලන බුද්ධිමතුන් බව ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන ශාස්ත්‍රාලය විවෘත කරමින් ය. මෙය විශේෂයෙන්ම රටේ බුද්ධිමතුන්ගේ අවධානයට ලක්විය යුතු යැයි අපට සිතේ.

මේ කාලයේ හැටියට රටක නායකයකු මෙබඳු අදහසක් පළ කිරීම එක අතෙකින් පුදුම සහගත යැයි සිතන්නට පුළුවන. උතුරු කොරියාවේ නායකයා කිසිවිටෙක තමන්ගෙන් ප්‍රශ්න කරන නිලධාරින්ට ඉඩක් ලබා දෙන්නේ නැත. ඔහු ආඥා දායකයා වන අතර රටේ පාලන තන්ත්‍රය ඔහුගේ තනි කැමැත්තට අනුව ක්‍රියාත්මක වෙයි. ඒ රටේ සියලු නිලධාරීන් නායකයාගෙ මතය සනාථ කළ යුතුය. ඒ අනුව ක්‍රියාත්මක විය යුතුය. අපගේ දේශපාලන ඉතිහාසය විමසා බලන විට ද එබඳු කාල පරිච්ඡේද හමුවෙයි. එම කාල පරාසයන් තුළ රටේ නිදහස අන්තයට ම සීමා විය. ඒ පමණක් නොව; ආර්ථිකය, සමාජ ක්‍රමය හා සදාචාරය ද පිරිහීමට පත්විය.

පාලකයන් හා නායකයන් ආඥාන පුද්ගලයන් වූ කල සිදු වන විනාශය ගැන අපේ ජනකතාවල සඳහන් වේ. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කතා ප්‍රවෘත්ති හා මහ දැනමුත්තාගේ කතා ප්‍රවෘත්ති ඒ අතර ප්‍රධාන තැනක් ගනී. සියුම් විචාර බුද්ධියේ නොතිබූ මේ දෙදෙනා ම නායකත්වයට නුසුදුසු බව එම කතාවලින් පැහැදිලි වේ. අපේ ඉතිහාසය විමසන විට එබඳු රජකෙනෙක් ද මුණ ගැසේ. ඒ යසලාලක තිස්ස රජතුමා ය. එතුමා රාජ්‍යත්වය සමඟ විහිළු කළ බවක් ඉතිහාසයෙන් පෙනී ය යි. වංස කතාවලට අනුව ඔහු දොරටු පාලකයා සමඟ සිහසුන ගැන කවටකම් කළ අතර එයින්ම මරණයට පත් විය. නායකයා මෝඩයකු නොවිය යුතුය යන්නට ‍හොඳම සාක්ෂියක් එම කතාවේ ඇත.

දේශපාලකයාට දිගුකාලීන අත්දැකීම් තිබිය යුතු බවත්; ඔහුට දේශපාලනය පිළිබඳ ශාස්ත්‍රීය පදනමක් තිබිය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. අගමැති රනිල් වික්‍රම සිංහ මහතා ද මේ කතාව නිතර කියයි. ඔහු වරක් පෙන්වා දුන්නේ අපේ මන්ත්‍රීවරුන් අතර එබඳු  ශාස්ත්‍රඥයන් හිඟය. පාර්ලිමේන්තුවේ විනය පිරිහීමටත් එය බලපා ඇතැ’යි සිතන්නට පුළුවන. මේ තත්ත්වය ‍වෙනස් විය යුතුය යන්නයි.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල දේශපාලන විද්‍යාව විෂයයක් වශයෙන් උගන්වන්නේ වුව එහි ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමේ ක්‍රියාකාරකම් මේ කිසි තැනෙක නැත. බොහෝවිට මේ පාඨමාලාවලට අයත් වන්නේ දේශපාලන ඉතිහාසය හැදෑරීම යැයි කියන්නට පුළුවන. මේ හැරෙන්නට ප්‍රායෝගික ලෙස දේශපාලනයෙහි යෙදෙන කෙනකුට ඒ පිළිබඳ දැනුමක් ලබාගත හැකි තැනක් නැත. එය අපේ දේශපාලන ක්ෂේත්‍රයෙහි පවත්නා බලවත් අඩුවක් සේ දැක්විය හැකි ය. ජනාධිපතිවරයා පෙන්වා දෙන ලෙස දැනුම නූතන ලෝකය ඉදිරියට ගෙන යන ප්‍රධාන සාධකය බවට පත්ව තිබේ. එය සත්‍යයෙකි. දැනුම ප්‍රාග්ධනය වේ යන ජනප්‍රිය පාඨය ගොඩනැඟී ඇත්තේ ද ඒ අනුව ය . අද වන විට ඕනෑම ක්ෂේත්‍රයක ජයග්‍රහණ සඳහා නුතන දැනුම අත්‍යවශ්‍ය වේ.

ප්‍රජාතන්ත්‍රවාදය පවතින කිසිදු රාජ්‍යයක නායකයන් තමන්ගේ තනි කැමැත්තට රාජ්‍ය පාලනය සිදුකරන්නේ නැත. අමාත්‍ය මණ්ඩල, උපදේශක සභා, විශේෂ කමිටු උපදේශනය හා අනුමැතිය ලබාගැනීමේ රීතියක් ‍මේ නායකයන් අතර ඇත. එය ප්‍රජාතන්ත්‍ර වාදයට එකඟ අතර රටක අනාගතයටත් යහපත් වනු ඇත. බොහෝ රටවල අමාත්‍ය මණ්ඩල සඳහා ද , උපදේශක කමිටු සඳහා ද ප ත් කරගනු ලබන්නේ එම ක්ෂේත්‍රවල ප්‍රවීණයන් ය. දියුණු රටවල විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයෙන් බැහැරව දේශපාලනය, ජනමාධ්‍ය, ආර්ථිකය වැනි ක්ෂේත්‍ර පිළිබඳ හැදෑරීම් කළ හැකි උසස් අධ්‍යාපන ආයතන තිබේ. එහෙත් අපේ රටේ එබඳු ආයතන නැත. විශේෂයෙන් දේශපාලනය වැනි විෂයයක් හැදෑරීම සඳහා ආයතනයක් හා අවකාශයක් නැත. ඒ අඩුව පිරවීමට නම් දේශපාලන ශාස්ත්‍රාල කිහිපයක් ඇති කළ යුතු ය.

පාර්ලිමේන්තුවට තේරී පත්වන මහජන නියෝජිතයන්ගේ පමණක් නොව; පළාත් සභා , ප්‍රාදේශීය සභා ආදියෙහි මහජන නියෝජියෙන්ගේද අධ්‍යාපන සුදුසකම් පිළිබඳ ප්‍රශ්න කිරීම ක් පවතින්නේ දීර්ඝ කාලයක සිට ය. අප කළ විමසුමකදී පෙනී ගොස් ඇත්තේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් අතර අ.පො.ස. (සා.පෙළ) අසමත් අය ද සිටින බවය. මහජන නියෝජිතයන් සඳහා නිශ්චිත සුදුසුකම් දැක්වීම ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ නැතැ’යි තර්ක කරන්නට පුළුවන. එලෙස අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධියේ විමසා සිටීම ද යුක්තිසහගත නැතැයි කියන්නට පුළුවන. එහෙත් මහජන නියෝජිතයාට ප්‍රායෝගික දැනුමක් තිබිය යුතු ය. එසේ නො වුණහොත් හරි දේ හෝ වැරැදි හෝ තීන්දු කිරීමේ හැකියාවක් ඔවුනට නැත.

ඉතාලියේ අධිරාජ්‍යයන් දේශ පාලන උපදේශන සැපයූ මැකියාවේලි කියා සිටියේ දේශපාලකයා එඩිතර හා කපටි පුද්ගලයකු විය යුතු බවය. පුද්ගලයා එඩි තර වන්නේද ස්ථානෝචිත ප්‍රඥා‍වෙන් සමන්විත වන්නේද දැනුම මත පිහිටා යැයි කියන්නට පුළුවන. අද වන විට අත්දැකීම් වලින් පමණක් දේශපාලනය කිරීමේ හැකියාවක් නැත. දක්ෂ දේශපාලකයා ලෝක දේශපාලනය හා එහි නව ප්‍රවණතා ගැන දැනගෙන සිටිය යුතුය. ලෝක දේශපාලනය හා එහි න ව ප්‍රවණතා අධ්‍යයනය කළ හැක්කේ ශාස්ත්‍රාලයක් ඔස්සේ ය. මෙසේ අඩුව පිරවීම ගැන මහජන නි‍යෝජිතයන්ගේ ගෞරවය වත්මන් රජය වෙත ලැබිය යුතුයැයි සිතේ

ජනාධිපතිවරයා කියන ලෙස මේ ක්‍රමය ඔස්සේ එහෙයින් බිහිවීම නවතිනු ඇත. අප දීර්ඝ කාලය ක් තිස්සේ අත්දැක ඇත්තේ එහෙයියන්ගේ ක්‍රියාකාරකම් ය. එසේය නොව මෙ සේය කියන දේශපාලකයන් තමන්ට අවශ්‍ය බව ජනාධිපතිවරයා කියා සිටී. ‍මේ තත්ත්වයෙන් නිසි ඵල ‍නෙළා ගැනීමට අපේ තරුණ දේශපාලකයන් උත්සුක විය යුතු ය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...