මඩගල්ල බස් අනතුරේ රියදුරු වසර 37ක් හිරේට | දිනමිණ

මඩගල්ල බස් අනතුරේ රියදුරු වසර 37ක් හිරේට

ආරියපාල වංශතිලක කුරුණෑගල මධ්‍යම විශේෂ

මගීන් 14 දෙනකුට මරු කැඳවමින් තවත් 44 දෙනකුට බරපතළ තුවාල සිදු කළ කුරුණෑගල මඩගල්ල මාරක බස් රිය අනතුරේ චූදිත රියදුරු වසර තිස්හතහමාරක බරපතළ සිර දඬුවමක් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් ඊයේ (20) නියම කළාය.

මේ සිරදඬුවම යටතේ මිනිස් ජීවිත 14ක් මරණයට පත් කිරීම යන චෝදනාව යටතේ වසර විසිඅටක් ද බරපතළ තුවාල සිදු කිරීම යන චෝදනාව යටතේ වසර නවයහමාරක් ද මෙසේ නියම කරනු ලැබීය.

වසර 13කට ආසන්න කාලයක් විනිසුරුවරුන් 7 දෙ‍නකු ඉදිරියේ විභාගවූ මේ නඩුවේ චූදිත හේරත් මුදියන්සේලාගේ ප්‍රේමරත්න වර්ෂ 2003 ජුලි මස 04 වෙනි දින කුරුණෑගල උතුරු ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රියක් කුරුණෑගල සිට මඩගල්ල දක්වා ධාවනය කරමින් තිබියදී ඉබ්බාගමුව දීයාය ප්‍රදේශයේදී ඉදිරියෙන් ගිය පෞද්ගලික බස් රියකට ඉස්සර කිරීමට ගොස් පාරෙන් ඉවතට ඇදී ගොස් මීගසක හැපීමෙන් මගීන් 14 දෙනෙකු මරණයට පත් කරමින් තවත් 44 දෙනෙකුගේ අත් පා අහිමි කළා යැයි එහි රියදුරුට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව කුරුණෑගල මහාධිකරණයට යොමු කොට තිබුණි.බස් රිය අනතුරෙන් බරපතළ තුවාල ලැබූවන් 21 දෙනකු දැනට මියගොස් ඇති අතර තුවාලකරුවන් සඳහා බස් රථය රක්ෂණය කර තිබූ සමුපකාර රක්ෂණ සමාගමෙන් වන්දි මුදලක් ද ගෙවා ඇති බැව් අධිකරණයේදී හෙළිදරව් විය.

මෙහිදී විත්තිකරුට එරෙහිව ගොනු කොට තිබූ චෝදනා එකින් එක පැහැදිලි කරදුන් විනිසුරුවරිය මෙම නඩුවේ සියලුම සාක්ෂිවලින් හෙළිදරව් වී තිබෙන්නේ රියදුරු අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීමෙන් මේ අනතුර සිදුව ඇති බවත් විත්තියේ නිතිඥවරයා පවසන පරිදි බස් රියේ කාර්මික දෝෂයක් නිසා මෙම අනතුර සිදුව තිබෙන බව පැවසුවද කාර්මික දෝෂයක් තිබුණා නම් එය පැදවිය යුත්තේ කරත්තයක් හා සමානව බවත් කී විනිසුරුවරිය ඉදිරියෙන් ධාවනය වූ පෞද්ගලික බස් රියකට ඉස්සර කිරීමට ගොස් මෙම ඛේදවාචකය සිදුවී තිබෙන බවත් පැමිණිල්ලේ සාක්ෂි සැකයෙන් තොරව ඔප්පු වී තිබෙන බවත් ඒ අනුව විත්තිකරු වරදකරු බවට අධිකරණය තීරණය කොට තිබෙන බවත් කියා සිටියාය.

නඩු අංක HC 114/2007 යටතේ ගොනු කොට තිබූ මෙම නඩුවේ සාක්ෂිකරුවන් 74 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබූ අතර සියලුම සාක්ෂි වලින් කියවී තිබෙන්නේ බස් රථය අධික වේගයෙන් ගොස් තවත් බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදු වූ බවයි.

රජයේ නීතිඥ ලහිරු ජයමාන්න මහතා විසින් පැමිණිල්ල මෙහෙයවනු ලැබීය.

නව අදහස දක්වන්න