ජාත්‍යන්තර අධිකරණයකට අපි කිසිසේත් එකඟ නෑ | දිනමිණ

ජාත්‍යන්තර අධිකරණයකට අපි කිසිසේත් එකඟ නෑ

රෝහණ ආරියරත්න- හම්බන්තොට

අපිට තියෙනවා සමහර දේවල්වලට එකග වෙන්න බැරි කරුණු, එකක් තමයි ජාත්‍යන්තර යුධ අධිකරණයකට එකතුවීම. ශ්‍රී ලංකාවේ අපි එදා ඉඳලම එයට විරුද්ධ වෙලා තියෙනවා. අපේ ව්‍යවස්ථාවේ පරමාධිපත්‍යය අයිති ලංකාවේ ජනතාවට. මුළු දකුණු ආසියා සංගමයත් එතනට යාමට විරුද්ධයි. ආසියාවේ අනිත් රටවලුත් විරුද්ධයි. ඒ කවුරුත් එකඟ වෙලා නැහැ.ඒ නිසා ව්‍යවස්ථාවේ හැටියටත් ප්‍රතිපත්තියක් හැටියටත් අපි‍ට එය කළ නොහැකි බවත් අපේ අධිකරණය හරහා මේ කටයුතු සිදු කළ යුතුව ඇති බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

අගමැතිවරයා ඒ බව සඳහන් කළේ (19 දා) ඊයේ විරකැටිය නයිගල රජමහා විහාරය කිංචිගුණේබෝධිමළුව රජමහාවිහාරයයන උභයමහා විහාර භාරකාර ධුරන්ධර කීර්ති ශ්‍රී සෝමරතනාභිධාන ආයුර්වේද වෛද්‍යවර තලාවේ නන්දසාර ස්වාමින්වහන්සේට මහනුවර මල්වතු මහා විහාරිය කාරක සංඝ සභාව විසින් මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ අගමැතිවරයා

පසුගිය කාලයේ අපේ රටේ යුද්ධයක් තිබුනා. එක පැත්තකින් අපේ ජිවිත විශාල සංඛ්‍යාවක් නැති වුනා.අපේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත නැති වුනා. උතුරු නැගෙනහිර ඉන්න ජනතාවගේ සිංහල වෙන්න පුළුවන් දෙමල වෙන්න පුළුවන් මුස්ලිම් වන්න පුළුවන් ඒ හැමෝගෙම ජිවිත නැති වුනා. අපේ පොලීසියේ ආරක්ෂක අංශයේ රණවිරුවන්ගේ ජිවිත ගණනාවක් නැතිවුනා. අපේ රට ආරක්ෂා කරන්න ගිහින් රටේ එක්සත් කම ආරක්ෂා කරන්න ඒකීයභාවය ආරක්ෂා කරන්න ගිහින් ඒ අය දිවි පිදුවා. ඒ වගේම කියන්න කැමතියි කොටි සංවිධානය ලෙස සටන් කරේ නොමග ගිය ලාංකික පුරවැසියන්, පිටින් ඒ අය ආවේ නැහැ. ඒ නොමග ගිය අයගේ ජිවිතත් නැතිවුනා. මේ රටේ උතරු පළාත දිහා බලනවානම් සම්පුර්ණයෙන්ම විනාශ වෙලා. ආර්ථිකයක් තියෙනවද කියලවත් දන්නේ නැහැ. ඒ නිසා උතුරේ ආර්ථිකය විතරක් නොවෙයි මුළු රටේම ආර්ථිකය පසු බැස්සා.

අපේ සම්පත් අපේ මිනිස් බලය අපේ අවධානය යුද්ධය සදහා යොමු වුනා. දැන් යුද්ධය අවසන් වෙලා අපේ මේ රට දැන් අපිට ඉදිරියට ගෙනයන්න වෙලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න සිදු වෙලා තියෙනවා. මේ රටේ සමගිය ඇති කරන්න වෙලා තියෙනවා. අවුරුදු හතලික් විතර මේ රට බෙදිලා තිබිලා දැන් ඒ ජනතාව එකතු කරන එක අපි හිතන තරම් ලේසි නැහැ. අපේ බලාපොරොත්තුව දේශපාලන විසඳුමක් ඕන කියන එක. හැබැයි ඒ දේශපාලන විසඳුමකින් විතරක් ඒ වැඩේ කරන්න බැහැ. විසඳුම ඇති කරන්න අවශ්‍ය නායකත්වය අපේ සංඝරත්නයෙනුත් අපිට දෙන්න ඕන. බුදුරජාණන්වහන්සේගේ ධර්මය අනුව අපට එකට එකතු වෙන්න තියෙනවා. අපි‍ට තියෙන්න අපේ ධර්මය ආරක්ෂා කරගෙන සියලුම දෙනා එකතු කරන්න. ඒ සදහා අවශ්යට මග පෙන්වීම අපේ මහා සංඝරත්නය ඉටු කරන බවට මගේ කිසිම සැකයක් නැහැ.

දැන් අපි ජාත්‍යන්තර සහයෝගයත් අරගෙන මේ රට ඇතුලේ ජනතාවගේ සහයෝගයත් ඇති කරගෙන දෙකම එකට ගෙනහිල්ලා මේ තියෙන ගැටළු විසදගන්න තමයි පියවර අරගන්නේ. අපි සියලු දෙනාම එකතු වෙලා වැඩ කරන්න ඕන. එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂයත් එකතු වෙලා මේ ආර්ථික ප්‍රශ්න විසඳලා මේ රට ඉදිරියට ගෙනියන්න ඕන. ඒ සදහා අනෙකුත් පක්ෂ හා සංවිධානත් අප සමග එකතු විය යුතුයැයි පැවසිය.

මේ අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, හිටපු අමාත්‍යය ආනන්ද කුලරත්න, දකුණු පළාත් විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් සමග ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.

 

නව අදහස දක්වන්න