පරීක්ෂණ අරඹද්දීම ස්ථානාධිපති ඇද වැටී මරුට | දිනමිණ

පරීක්ෂණ අරඹද්දීම ස්ථානාධිපති ඇද වැටී මරුට

මුන්නේශ්වරම සමුහ ඊ.සි.ප්‍රනාන්දු

කාන්තාවක කර පැළද සිටි රන් දම්වැලක් කඩා ගෙන යතුරු පැදියකින් පලා යන අතර වෙඩි තබා පොලිස් නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් කොල්ලකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ආරම්භ කළ අවස්ථාවේ දි හලාවත මුලස්ථාන පොලිසියේ අපරාධ අපරාධ ඒකකයේ ස්ථානාධිපතිවරයා හදිසියේම අසාධ්‍යව වැටී හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ පසු මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පොලිස් පරික්ෂක එදිරිසිංහ ආරච්චිගේ තේමිය මෙන්ඩිස් ( 55 ) මහතායි. ඔහු හලාවත කොරයා වත්තේ පදිංචි එක්දරු පියෙකු වේ. ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි ආයුර්වේද වෛද්‍යවරියක් තම දරුවා ආරච්චිකට්ටුව ප්‍රා‍ථමික විදුහලට ඇරලිම පිණිස ඊයේ ( 20 දා ) උදේ ස්වකීය ස්වාමි පුරුෂයා සමග යමින් සිටිය දි එම විදුහල ආසන්නයේ දි පිටුපසින් යතුරු පැදියකින් ආ දෙදෙනකු වෛද්‍යවරිය කර පැළද සිටි රන් මාලය කඩා ගෙන පුත්තලම දෙසට යතුරු පැදියෙන්ම පලා ගොස් ඇති බවත් පොලිසිය කියයි.

එම අවස්ථාවේ දි වෛද්‍යවරියගේ සැමියා ඇය හා දරුවා එහිම දමා පලා යමින් සිටි කොල්ලකරුවන් ලුහුබැඳ ‍ගිය අතර ඒ අතර ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල රාජකාරි කරමින් සිටි හලාවත පොලිසියේ රථවාහන ඒකකයේ නිලධාරින් දෙදෙනකු දැක ඔවුන් සිද්ධිය දැනුම් දි ඇත. පොලිසිය පලා යන කොල්ලකරුවන් දෙදෙනාට නවතින ලෙසට නියෝග කළත් ඔවුන් එම නියෝගය නොතකා පලා යාම නිසා එම දෙදෙනාට වෙඩි තබා ඇත. එක් වෙඩි පහරක් එක් කොල්ලකරුවකුගේ පාදයකට වැදී ඇති නමුත් ඔවුන් මෙල්ල නොවී පලා ගිය අතර පොලිස් නිලධාරින් ඔවුන් ලුහුබැඳ යන අතර කිරියන්කල්ලිය ඇඟලුම් හල ඉදිරිපස දි පාර මාරුවෙමින් සිටි තරුණයකුගේ සිරුරේ යතුරු පැදිය හැපී පෙරැළි වැටී ඇත. අනතුරුව කොල්ලකරුවන් අසල කලපුව දෙසට පලා ගියත් පසු පසින් ලුහුබැඳ ආ පොලිස් නිලධාරින් කෙසේ හෝ ඔවුන් මෙල්ල කර අත් අඩංගුවට ගෙන ඇත. එක් අයකුගේ පාදයකට වෙඩි වැදි තුවාල සිදුවී තිබු අතර අනෙකා ද අනතුරින් තුවාල ලබා තිබිණි. පසුව ඔවුන් හා අනතුරින් තුවාල ලද තරුණිය ද හලාවත රෝහලට ඇතුළත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කළ අවස්ථාවේ දි අපරාධ විමර්ශන ඒකකයේ ස්තානාධිපතිවරයා වැටී රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත. කොල්ලකරුවන් දෙදෙනා නවගත්තේගම බගයාමඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 හා 28 වියේ පසුවන අය බවත් පොලිසිය කියයි.

හලාවත පොලිස් අධිකාරි සුරංජන් කුමාරපේලි මහතාගේ හා හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත හේරත් මහතාගේ උපදෙස් වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ. 

නව අදහස දක්වන්න