‘ජාතික සම්මාන-උළෙල 2017’ ජනාධිපති ප්‍රධානත්වයෙන් | දිනමිණ

‘ජාතික සම්මාන-උළෙල 2017’ ජනාධිපති ප්‍රධානත්වයෙන්

නිරුෂි විමලවීර

මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් ඇගයීම සඳහා පැවැති 'ජාතික සම්මාන(2017) උළෙල' ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ඊයේ(20)සන්ධ්‍යාවේ දී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණි.

අශ්වාරෝහකයන් පිරිවරා ගනිමින් මහත් අභිමානවත් අයුරින් උත්සවයට සම්ප්‍රාප්ත වූ ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ මහත් ගෞරව පූර්වකය.

අනතුරුව උත්සව සභාවට සම්ප්‍රාප්ත වූ ජනාධිපතිවරයාට පැමිණි පිරිසෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

ශ්‍රී ලංකාවේ අභිමානය ලොව බැබැළවූ විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් 87 දෙනකුට සහ ශ්‍රී ලාංකිකයන් නොවන පුරවැසියන් දෙදෙනකු වෙත සම්මාන දෙකක් ද ජනාධිපතිවරයාගේ සුරතින් පිරිනැමුණි.

වසර වසර 12 කට පසු පැවැති මෙම ජාතික සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර ගණනාවක විශිෂ්ට දක්ෂතා දැක්වූ අභිමානවත් දූපුතුන් වෙනුවෙන් නිර්මාණය වුවකි.

මෙහි දී ශ්‍රී ලාංකිකයකුට හිමිකරගත හැකි ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය අභාවප්‍රාප්ත හෙළයේ මහා ගාන්ඨර්වයාණන් වූ ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරින් වෙනුවෙන් පිරිනැමුණු අතර එය එතුමාගේ භාර්යාව වූ විමලා අමරදේව මහත්මිය විසින් ලබා ගත්තාය.

මානව වර්ගයා උදෙසා සිදුකරන ලද විශිෂ්ට සේවය අගයමින් ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන පුද්ගලයන් දෙදෙනකු සඳහා ශ්‍රී ලංකා රංජන සම්මාන දෙකක් ද ජනාධිපතිතුමාගේ සුරතින් පිරිනැමුණු අතර ආචාර්ය සරත් ඩී. ගුණපාල, සිද්ධාර්ථ කාවුල් යන මහත්වරුන් වෙනුවෙන් එම සම්මාන පිරිනැමිණි.

දේශමාන්‍ය, සම්මාන දහයකින් ද, දේශබන්දු සම්මාන නවයකින් ද, විද්‍යා ජෝතී සම්මාන එකොළහකින් ද, කලාකීර්ති විසි දෙකකින් ද, ශ්‍රී ලංකාශිඛාමණි සම්මාන හතකින් ද විද්‍යානිධි සම්මාන දහයකින් ද, කලාශූරී සම්මාන දහහතරකින් ද, ශ්‍රී ලංකා තිලක සම්මාන දෙකකින් ද, වීර ප්‍රතාප සම්මාන දෙදකින් ද සම්මාන උළෙල සමන්විත විය.

ජාතිය උදෙසා කරන ලද අතිවිශිෂ්ට වූත්, ප්‍රශංසනීය වූත් සේවයට උපහාර වශයෙන් පිදෙන දේශමාන්‍ය සම්මාන දහය ජනාධිපතිවරයාගේ සුරතින් පිරිනැමුණු අතර අබ්බාස්අලී අක්බර්අලී මහතා, මහාචාර්ය කොල්වින් ගුණරත්න, ආචාර්ය දේවනේසන් නේසයියා, නන්දදාස රාජපක්ෂ, මහාචාර්ය කේ.එම්. ද සිල්වා, ලතා වල්පොල, මිනේක ප්‍රසන්න වික්‍රමසිංහ, මහාචාර්ය ප්‍රියානි සොයිසා, අමරදාස ගුණවර්ධන, තිස්ස දේවේන්ද්‍ර යන මහත්ම මහත්මීන් පිදුම් ලැබූහ.

සම්මාන නවයකින් සමන්විත වූ දේශබන්දු සම්මාන දේවනායගම් ඊශ්වරන්, වෛද්‍ය ලක්ෂ්මන් වීරසේන ලෙස්ලි ෂෙල්ටන් දේවේන්ද්‍ර, කපිතාන් එම්.ජී. කුලරත්න, ධාවනශූරී සුසන්තිකා ජයසිංහ, රංජන් මඬුගල්ල, ශාන් වික්‍රමසිංහ, ආචාර්ය පබිලිස් සිල්වා, ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය යන මහත්වරුන් එසේ සම්මානයට පාත්‍ර වූහ.

විද්‍යාජෝති සම්මාන එකොළහකින් සමන්විත වූ අතර මහාචාර්ය නිමල් සේනානායක, ආචාර්ය බන්දුල විජයරත්න, වෛද්‍ය කොල්වින් සමරසිංහ, මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, මහාචාර්ය ටී.කේ. නිමල් පද්මසේන, මහාචර්ය එරල් රැඩ්ක්ලිෆ් ජෑන්ස්, මහාචාර්ය ලාල් චන්ද්‍රසේන, මහාචාර්ය එම්.ඩබ්.ජේ.ජී. මෙන්ඩිස්, මහාචාර්ය එම්.එම්.ආර්. වාස් ජයසේකර, මහාචාර්ය සරත් කොටගම, මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් ජනාධිපතිතුමාගේ සුරතින් සිය සම්මාන ලබා ගත්හ.

1986 ජාතික සම්මාන පනත අනුව පිරිනැමුණු මෙම සම්මානයන්ට සුදුස්සන් තෝරාගැනීම අදාළ පුද්ගලයන් විසින් හා මහජන සංවිධාන මඟින් එවනු ලැබූ නාමයෝජනා 426ක් විද්වත් විනිශ්චය මණ්ඩලයක පරික්ෂාවට භාජනය කිරීමෙන් පසුව සම්මාන 89ක් සඳහා සම්මාන පිරිනැමුණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් සහ මැති ඇමතිවරු ද, විද්වතුන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් සම්මාන උළෙලට එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න