“රෙඩ් ලසෝඩා” රජරට යයි

 ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට තුළම නිපදවා ගැනීමේ ජාතික ව්‍යාපාරයක් ඇරැඹීම වත්මන් ආණ්ඩුව බලයට පත් සැනින් ක්‍රියාත්මක කළ සංවර්ධනාත්මක පියවරකි.

2015 දේශීය අර්තාපල් නිෂ්පාදනය මෙ.ටොන් 70359 ක් වුවත්, 2016 නිෂ්පාදනය මෙ.ටොන් 80478 දක්වා ඉහළ ගොස් ඇති බව නවතම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යයි. අර්තාපල් වවන ප්‍රධානම දිස්ත්‍රික්කයක් වන නුවරඑළිය දිස්ත්‍රික්කය ලද අස්වැන්න 2015 දී මෙ.ටොන් 24067 ක් වුවද, 2016 එයින් ලද නිෂ්පාදනය මෙ.ටොන් 33456 කි.

2015 දී මෙ.ටොන් 142183 ක් ආනයනය කළ නමුත් 2016 දී අර්තාපල් ආනයනය මෙ.ටොන් 123579 දක්වා අඩුව තිබේ. බදුල්ල දිස්ත්‍රික්කය ද අර්තාපල් නිපදවන දිස්ත්‍රික්කයකි. මීට අමතරව යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හී ද සුළු වශයෙන් අර්තාපල් නිෂ්පාදනය වේ.

අර්තාපල් වගාව උඩරටට හඳුන්වා දුන්නේ අල මහත්තයා නමින් ගොවි මහතුන් විසින් එදා හඳුන්වන ලද නෝමන් ගුණතිලක නම් කෘෂිකර්ම උපදේශක මහතා විසිනි. ප්‍රථම වගාව 60 දශකයේ දී ඇරඹුණේ නුවරඑළියේ කඳපොළ ප්‍රදේශයේය. අනුරාධපුර, පොළොන්නරුව , දඹුල්ල අර්තාපල් වගාවට අලුතින්ම එක් වූ ප්‍රදේශයෝය.

අනුරාධපුර,පොළොන්නරුව සහ දඹුල්ල ගොවි මහත්වරුන් 20 දෙනකු හවුල් කරගෙන එම ප්‍රදේශවල ආදර්ශ අර්තාපල් වගාවක් අරඹන ලද්දේ මෙයට මාස 2 ½ කට පෙරය. මේ වගාව සඳහා භාවිතා කරන ලද්දේ රෙඩ් ලසෝඩා නම් බීජ අල ප්‍රභේදයයි. යාපනය දිස්ත්‍රික්කයේ අර්තාපල් ගොවියන් රෙඩ් ලසෝඩා බීජ අල වර්ගය මෙන්ම රැනොවා නම් අර්තාපල් වර්ගයද වගා කරන නිසා ඒ අනුව යමින් වියළි කාලගුණයට ඔරොත්තු දෙන රෙඩ් ලසෝඩා බීජ අල වගා කරන ලදී.

උසස් අස්වැන්නක්

මේ ආදර්ශ වගාව සඳහා උපදේශකත්වය සපයන ලද්දේ විශ්‍රාමලත් කෘෂිකර්ම උපදේශකවරයකු වූ සරත්චන්ද්‍ර බණ්ඩාර මහතාය. දඹුල්ලේ දඹුලු රෙඩ් ලොකු ලූනු බීජ නිෂ්පාදනයේ ද පුරෝගාමි වූ ඔහු කෘෂිකර්මාන්තය වෙනුවෙන් කරන ලද සේවාවට රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබූවෙකි.

හේලිස් කෘෂි සමාගමයේ සහායෙන් යාපනයෙන් ලබා ගන්නා ලද බීජ අල කිලෝවක මිල රු.260 කි. කිලෝ 25 බැගින් වූ බීජ අල ගෝනි 26 අනුරාධපුර, පොළොන්නරුව සහ දඹුල්ලේ එළවළු ගොවීන් අතර බෙදා දී වගාව අරඹන ලද්දේ මෙයට මාස 2 ½ කට පෙරදීය. බීජ අර්තාපල් මහ කන්නයේ අග භාගයේ සීත කාලගුණය ඇරැඹීම සමඟ සිටුවිය යුත්තේ බීජ, පැළ වීම සිදුවනුයේ එවැනි කාලගුණික තත්ත්වයක් යටතේ වීම නිසාය.

මේ අර්තාපල් වගාවේ අස්වනු නෙළීම ගිය සතියේ ඇරැඹුණු අතර සියලුම වගාවන්ගෙන් එකට 12 - එකට 14 වැනි මට්ටමේ උසස් අස්වැන්නක් ලැබුණු බව ‍සරත්චන්ද්‍ර මහතා කියයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තෝරාගත් ආදර්ශ ගොවියා පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිඹලව සියඹලාගස්වැව ඒ.බී.රෝහණ නම් තරුණයෙකි. වෘත්තියෙන් ගොවියකු වූ ඔහු සිය අර්තාපල් වගාවෙන් එකට දහයකට වඩා උසස් අස්වැන්නක් ලබා‍ගෙන තිබේ.

මින්නේරිය රජ ඇළ රණතුංග ගොවි මහතා ද සිය අර්තාපල් වගාවෙන් ඉහළ අස්වැන්නක් වාර්තා කර සිය ප්‍රදේශයේ අර්තාපල් වගා කළ හැකි බව ඔප්පු කර ඇත.

දඹුල්ල ප්‍රදේශයෙන් තෝරාගත් ගොවීන් ඉබ්බන්කටුව, දිගම්පතහ, අතුපරයාය ඇල 2, යන ප්‍රදේශයනට අයත්ය. දඹුල්ල ගොවීන් විසින් නෙළාගන්නා ලද අස්වැන්න දඹුල්ල වෙළෙඳ පොළට ඉදිරිපත් කර කිලෝවකට රුපියල් 70 -80 අතර මිලක් ලබා ගන්නා ලදී.

මධ්‍යම ආණ්ඩුව හෝ පළාත් සභාව හෝ මූලිකත්වය ගෙන මෙවැනි ව්‍යාපෘතියක් දියත් කළ යුතු වුවත්, මේ සත්කාර්ය සඳහා සියලු විය හියදම් උසුලන ලද්දේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තරුණ ව්‍යාපාරිකයකු වූ දිගම්පතහ කඩේ ජේ.එම්.ජයලත් මහතා විසිනි.

“දඹුල්ලේ ව්‍යාපාරිකයන් ජීවත්වන්නේ දඹුල්ලේ ගොවින්ගේ නිෂ්පාදන නිසයි. එම නිසා ගොවි ජනතාව වෙනුවෙන් යමක් කිරීමට කල්පනා කළා. අර්තාපල් සඳහා සහතික මිලක් තිබෙනවා. ඒවගේම නඩත්තු කළ යුතු කාලය මාස 2 ½ක් තරම් සුළු කාලයක්. ලූනු සහ එළවලු ගොවීනට මිල ඉහළ පහළ යෑමට මුහුණ දෙන්නට සිදුවනවා. නමුත් අල ගොවීනට සිය නිෂ්පාදන අලෙවි කරගැන්ම අමාරු වන්නේ නෑ. රට ගැන සහ ගොවි ජනතාව ගැන සිතා මේ ව්‍යාපෘතියට අවශ්‍ය සියලු වියදම් දැරුවා. එය සාර්ථකවීම සතුටක් යැයි’ ජයලත් මහතා කියයි.

හිටපු කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරි හඟවත්තේ චන්ද්‍රසෝම ගුණරත්න මහතා පවසන්නේ දඹුල්ල, අනුරාධපුර සහ පොළොන්නරුවේ අර්තාපල් වගාව දියුණු කිරීම උඩරට පාංශු ඛාදනය (සෝදාපාලුව) අඩු කිරීමට හේතුවන බවයි.

බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක දෙක ලංකාවේ අර්තාපල් විශාල වශයෙන්ම වවන ප්‍රදේශයි. මේ වගා කරනු ලබන්නේ කඳුකර බෑවුම් ඉඩම්වලයි. බෑවුම්වල වගා කිරීම සෝදා පාළුවට හේතුවක්”

“කඳුකරයේ වගා ඉඩම් හෙක්ටයාරයකින් වසරකට පස් ටොන් 100 – 200 අතර ප්‍රමාණයක් සේදී යනවා. අල වගාවට යට වූ ඉඩම්වල ප්‍රතිශතය මීට වැඩියි. දඹුල්ල, අනුරාධපුර, පොළොන්නරු සම භූමිය අර්තාපල් වගාවට යොදා ගැනීම නිසා උඩරට ඉඩම් නිසරුවීම අඩුවනවා. එම නිසා මේ වගාව දියුණු කළ යුතු යැයි ඔහු කියයි.

ලබන මාස් කන්නයේ අර්තාපල් වගා කිරීමට වැඩි ‍ගොවීන් සංඛ්‍යාවක් ඉදිරිපත් වනවාට සැකයක් නැහැ. ඔවුනට අවශ්‍ය බීජ සපයා දීමට වගකිව යුතු අංශ පියවර ගත යුතුයි. ඒ සඳහා වියළි දේශගුණයට ඔරොත්තු දෙන බීජ අවශ්‍යයි. ශ්‍රී ලංකාවට අවශ්‍ය අර්තාපල් ප්‍රමාණයෙන් සියයට 40 ක් පමණ ආනයනය කරනවා යැයි සරත්චන්ද්‍ර මහතා කියයි.

මේ වගාවට රසායනික පොහොර අවශ්‍ය වන්නේ නැති තරම්. දඹුල්ලේ ආදර්ශන සඳහා අප වැඩියෙන්ම භාවිතා කෙළේ කොම්පෝස්ට් පොහොරයි. අල පොහොර නමින් විවෘත වෙළෙඳපොළේ ඇති පොහොර ස්වල්පයක් පාවිච්චි කළා. කෘමිනාශක සඳහා පාවිච්චි කෙළේ දිලීර නාශක පමණයි.

පසුගිය සතියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහත වැටුණි. මෑකරල් කිලෝව රුපියල් 11 දක්වා ද බටු කිලෝව රුපියල් 10 දක්වා ද පහත වැටුණි. එළවළු මිල පහත වැටීම නිසා ඇතැම් ගොවියෝ සිය නිෂ්පාදන දියට විසි කිරීමට පවා පෙළඹුනහ.

එළවළු මිළ

දඹුල්ලට සමාන තත්ත්වයක් වැලිමඩ ප්‍රදේශයේ ද දක්නට ලැබුණි. වියළි පැහැපත් කාලගුණය නිසා අස්වැන්න සරු වූ බවත්, වගා ළිං භාවිතාව නිසා එළවළු වගාව නොකඩවා කරගෙන යෑමට ජල පහසුව හිමි වූ බවත් පවසන දඹුල්ලේ වෙළෙඳ ප්‍රජාව, යාපනය, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, ගල්ගමුව සහ නුවරඑළියෙන් ලැබෙන එළවළු තොග ප්‍රමාණය වැඩිවීමත් මෙයට හේතුවූ බවත් කියති. විශේෂයෙන් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා විශාල වශයෙන් එළවළු ලැබුණත්, මිලදී ගන්නන්ගේ සංඛ්‍යාව අඩුවීම ද දඹුල්ලේ එළවළු මිල වැටීමට හේතු වූ බවද කීහ.

පසුගිය කාලයේ එළවළු මිල ඉහළ යෑම සමඟ විශාල පිරිස් එළවළු වගාවට යොමු වූ බවද, ඔවුහු තවදුරටත් පවසති. මේ තත්ත්වය වෙනස්ම උත්සව සමය වනවිට නැවත එළවළු මිල ඉහළ යන බවට ඔවුහු අනාවැකි පළ කරති.

දඹුල්ල සහ කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන අවට ප්‍රදේශවල ගොවි ජනතාව මුහුණදෙන මේ ගැටලුවට පිළියමක් ලෙස මෙම ආර්ථික මධ්‍යස්ථානගතව ශීතාගාර දෙකක් ඉඳි කළ යුතුය යන යෝජනාව කතාබහට ලක්වන්නේ කලක සිටය.

එවැනි ශීතාගාර ඇත්නම් දඹුල්ලේ සහ වැලිමඩ එළවළු වගාව මෙසේ නාස්ති වන්නට ඉඩකඩක් නැත.

පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය ද මේ පිළිබඳව සාකච්ඡා කළේ ය. මෙම ශීතාගාර දෙක ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය වෙත වෙන් කරන ලද්දේ 2016 අයවැය මගිනි.

මේ ශීතාගාර දෙක 2017 ඔක්තෝබර් මස වනවිට නිම කිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු වහාම ඇරැඹීමට කැබිනට් මණ්ඩලය පසුගිය 14 වනදා තීරණය කෙළේය. මේ ශීතාගාර ඉදිකිරීම නිසා දඹුල්ලේ එළවළු විනාශය නතර වනවා ඇත.

කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පසුගිය ජනවාරියේ ජර්මනියේ සංචාරයක නිරතව සිටිය දී ජර්මනියේ ආහාර සහ කෘෂිකර්ම ඇමැතිවරයා සමග සාකච්ඡාවක නිරත විය.

එහිදී කෘෂිකර්මය දියුණු කිරීමට අදාළ කරුණු රාශියකට ජර්මනිය උපකාර කරන බවට ප්‍රතිඥා දුන්නේය. අර්තාපල් බීජ අල නිපදවීමට උපකාර කිරීම එක් ප්‍රතිඥාවකි. පලතුරු සහ එළවළු ගබඩා කිරීම සඳහා අවශ්‍ය සහාය දීම තවත් ප්‍රතිඥාවකි.

මේ ප්‍රතිඥාවන් දෙන ලද්දේ රටවල් 65ක කෘෂිකර්ම ඇමැතිවරුන් සහභාගි වූ ආහාර සහ කෘෂිකාර්මික සාකච්ඡා සමුළුවකදී ය.

කරුණාරත්න අමරතුංග


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...