කාන්තාව අපහසුවට ලක්වන නිර්මාණ කිරීම හොඳ නෑ | දිනමිණ

කාන්තාව අපහසුවට ලක්වන නිර්මාණ කිරීම හොඳ නෑ

රූපාන්ති බුලත්සිංහල
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලතා ගුරුසිංහ

ස්ත්‍රිය සහ ස්ත්‍රීත්වය සම්බන්ධ ශාස්ත්‍රීය කතිකාවන් කොතෙක් තිබුණත්, සාහිත්‍යයේ දී ඒ පිළිබඳ එතරම් ගැඹුරු කතාබහක් නිර්මාණය වී නොමැත. පැරැණි සාහිත්‍යයේ මෙන් ම නූතන සාහිත්‍යයේ ද ඇය පිළිබඳ වර්ණනා විෂයාතික්‍රාන්ති ය. එය සාධනීය මෙන් ම නිශේධනීය ස්වරූපයක් ගනී. කෙසේ වුවත්, කාන්තාව පිළිබඳ සාහිත්‍යයෙ­් ඇති විග්‍රහ වඩාත් තහවුරු කිරීම පිණිස, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලතා ගුරුසිංහ මහත්මිය දැරූ උත්සාහය පිළිබඳ කතාබහකි.

අපි නිර්මාණයක් කිරීමේ දී, සමාජයට ලබාදෙන පණිවිඩය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. අද බොහෝ දෙනා මේ පණිවිඩය පිළිබඳ සැලැකිලිමත් නැහැ. මේ නිසා ඇති වන ප්‍රශ්නවලත් සීමාවක් නැහැ. අලෙවිකරණය මුල් කරගෙන නිර්මාණයක් කරන්න බැහැ. නිර්මාණයක් කළ යුත්තේ, සමාජ ප්‍රගතිය අරමුණු කරගෙනයි. අපි සමාජයට හොඳ දෙයක් දෙන්න නිරන්තරයෙන් උත්සාහ ගත යුතුයි.

ඔබ මේ කෘතිය මඟින් කියන්න උත්සාහ කරලා තියෙන්නේ, සාහිත්‍ය මැවූ ගැහැනිය පිළිබඳයි. වර්තමානයේ මෙවැනි මාතෘකා කතාබහට ලක් වෙනවා ඉතාමත් අඩුයි. ඇයි මෙවැන්නක් තෝරා ගත්තේ?

වර්තමානයේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පොත් ලියැවෙනවා. ඒත්, කාන්තාව සම්බන්ධ හෝ කාන්තාව සම්බන්ධ කළ සාහිත්‍ය පිළිබඳ හෝ ග්‍රන්ථ නිර්මාණය වීමේ විරල බවක් තියෙනවා. මෙය මඟ හැරීමක්, නැති නම් අවධානය යොමු නොකිරීමක් කියලා අපට හිතන්න බැහැ. සාහිත්‍ය මුල් වූ කාන්තාව පිළිබඳ අධ්‍යයනයක් කිරීමට බොහෝ දෙනාට අවශ්‍ය වෙලා නැහැ. ඒත් මෙය සමාජීය වශයෙන් අත්‍යවශ්‍ය දෙයක්.

මේ කෘතිය නිර්මාණයේදී, ඒ සඳහා මේ ක්ෂේත්‍රය පාදක කර ගන්න විශේෂ හේතුවක් තිබෙනවද?

සමාජීය වශයෙන් විවිධ අරමුණු තිබුණත්, විවිධ චින්තන නිර්මාණය වෙමින් පැවැතියත්, මගේ අධ්‍යයන කටයුතුවලදී මං වැඩි ඉඩක් දුන්නේ ස්ත්‍රීත්වය සම්බන්ධ අධ්‍යයන කටයුතු සඳහායි. එයට විශේෂ හේතුව තමයි, කොළඹ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ වැඩිපුර ශිෂ්‍යාවන් ඇතුළත් වීම. මේ නිසා ම මට හිතුණා ස්ත්‍රීත්වය සම්බන්ධයෙන් යම් අධ්‍යයනයක් කළොත් හොඳයි කියලා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කෘතිය රචනා කළේ.

මෙය රචනයට හේතුව එය ම පමණ ද?

නැහැ . ඒ සඳහා තවත් අවශේෂ හේතු ගණනාවක්ම එකතු වුණා. මං හිතන්නේ ප්‍රධාන හේතුව එය වුණත්, අවශේෂ හේතුවලින් ඇති කරනු ලැබූ බලපෑම මත මෙවැනි නිර්මාණය කරන්න මගේ හිතේ පෙලඹවීමක් ඇති වුණා. ඒ කියන්නේ වර්තමාන සමාජයේ ස්ත්‍රීත්වය, ස්ත්‍රී වාදය පිළිබඳ කතා බහට ලක් වුණත්, ඒ සම්බන්ධ ඍජු මැදිහත් වීමක් කරන අයුරක් පෙනෙන්නට නැහැ. අනෙක් දෙය තමයි , වෙනත් ආකාරවලින් මැදිහත් වුණත්, කාන්තාව සාහිත්‍යයට දායක වෙලා තියෙන ආකාරය පිළිබඳ විග්‍රහ කරන්න මේ වන විට කවුරුත් පෙලඹිලා නැහැ. මෙන්න මේ අඩුව මගේ හිතට දැනුණා. අතීතයේ කාන්තාව මුලික කරගත් සාහිත්‍යයක් තිබුණත්, ඉන් ලැබුණ ප්‍රතිලාභ පිළිබඳ කිසිවෙක් කතා කරලා නැහැ.

ඔබ කියන්නේ සාහිත්‍ය කෘතිවලින් කාන්තාව ඉස්මතු කර තිබෙන ආකාරය පිළිබඳ කිසිවෙක් කතා කර නොමැති බවද?

ඔව්. ඕනෑ තරම් සාහිත්‍ය කෘතිවල කාන්තාව සිටිනවා. කාන්තා වර්ණනා තියෙනවා. එහෙත් මේ වර්ණනා සඳහා කාන්තා දායකත්වය අවතීර්ණ වූණේ කුමන හේතුවක් නිසා ද යන්න විග්‍රහ කිරීමක් වෙන්නේ නැහැ. සම්භාව්‍ය සාහිත්‍යය නිර්මාණයේ සිට වර්තමනය දක්වාම සාහිත්‍ය සඳහා කාන්තාව උපයෝගි කර ගත්තා. ඒ යොදා ගැනීමෙන් සාහිත්‍යයමය වර්ණනාවල සුඛනම්‍ය බව උද්දීපනය වුණා පමණයි. එහෙත්, ඇයි එය එලසෙ සිදුවුණේ යන්න පිළිබඳ පසු විග්‍රහයක් නැහැ.

විශ්වවිද්‍යාල පද්ධතියේ මෙවැනි දේ කිරීම සම්බන්ධයෙන් අභියෝගයක් තියෙනවා?

විශ්වවිද්‍යාලය ක්ෂේත්‍රය පමණක් නෙමෙයි, මුළු මහත් සමාජයේම මෙවැනි දේ නිර්මාණය කිරීම පිළිබඳ අභියෝගයක් තියෙනවා. සමහර අය හිතනවා අපි පිරිමි අභිබවා යන්න සූදානම් වෙනවා කියලා. ඒත් එහෙම දෙයක් නැහැ. සොබාදහමෙන් ස්ත්‍රියට ලැබුණ දායාදයක් තියෙනවා. ඒ දායදය තවත් ඔපමට්ටම් කරගෙන ඉදිරියට ගෙන යායුතුයි කියලා තමයි මං හිතන්නේ. එවැනි දෙයක් සමාජය තුළ සිදු නොවීම දුබලතාවක්.

අද බොහෝ කාන්තාවන් තමන්ගේ තිබුණ ආධ්‍යාත්මික ඌණතාව නිසා ම, තමන් පහත් කර ගන්නවා. මේ පිළිබඳ ඔබ දරන ආකල්පය කුමක්ද?

එහෙම උදාහරණ සාහිත්‍යයේ තියෙනවා. සාමාන්‍ය සමාජයෙත් එහෙම කාන්තාවන් ජීවත් වෙනවා. එමා බෝවාරි නවකතාවේ එමා බෝවාරි සියලු දේම අහිමි වීම නිසා අවසානයේ සිය දිවි හානි කරගන්නවා. කාන්තාවක් තුළ ඍණවාදී චින්තනයක් ඇති කර ගතහොත්, ඇයට ලැබෙන සමාජීය තත්ත්වයත් ඍණවාදීයි. ඒ කියන්නේ චින්තනයට බොහෝ දේ කරන්න පුළුවන්.

එදා රචකයෝ කාන්තාව වර්ණනා කළේ , ඇය අපහසුතාවට පත් නොවෙන අයුරින්. ඒත්, අද මේ තත්ත්වය වෙනස්. මේ පිළිබඳ ඔබේ අදහස පැහැදිලි කළොත්?

සම්භාව්‍ය සාහිත්‍යයේ අපේ කාන්තාව පිළිබඳ අපූරුවට වර්ණා වෙනවා. සැළලිහිණි සංදේශය වැනි සංදේශ කාව්‍යවලදීත් එහෙමයි. ඒත් මේ කිසිදු දෙයකින් කාන්තාව අපහසුවකට පත් වන්නේ නැහැ. එහෙත්, වර්තමානයේ නිර්මාණය වන ඇතැම් රචනා මඟින් කාන්තාව අපහසුවට පත් වෙනවා පමණක් නෙමෙයි, අපහසුතාවටත් ලක් වෙනවා. මේ නිසා නිර්මාණකරුවා නිර්මාණයක් කිරීමේ දී සැලකිලිමත් විය යුතුයි.

පියදාස සිරිසේන මහතා ප්‍රබන්ධ රචනයට පිවිසීමේදී , කාන්තා චරිතයට විශේෂත්වයක් දක්වා තිබෙනවා. ඔහුගේ එම ප්‍රබන්ධ රචනා කලාව පිළිබඳව ඔබේ අදහස පැහැදි කළොත්?

පියදාස සිරිසේන මහතා සංස්කෘතිය අගය කළ කෙනෙක්. ඒ නිසා, ඒ මහතා සාහිත්‍යයට කාන්තාව සම්බන්ධ කර ගැනීමේ දී, සදාචාරත්මක වුණා. අපේ සංස්කෘතිය අගය කරමින් තමයි පියදාස සිරිසේන මහතා නිර්මාණ කළේ. ඒත්, වර්තමාන ලේඛකයන් මේ පිළිබඳ සැලකිලිමත් නැහැ. මේ තත්ත්වය එක්තරා ආකාරයකට ගැටලුවක්.

ඔබ හිතන්නේ මේ ගැටලුව විසඳා ගැනීමට කුමක් කළ යුතු ද?

අපි නිර්මාණයක් කිරීමේ දී, සමාජයට ලබාදෙන පණිවිඩය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. අද බොහෝ දෙනා මේ පණිවිඩය පිළිබඳ සැලැකිලිමත් නැහැ. මේ නිසා ඇති වන ප්‍රශ්නවලත් සීමාවක් නැහැ. අලෙවිකරණය මුල් කරගෙන නිර්මාණයක් කරන්න බැහැ. නිර්මාණයක් කළ යුත්තේ, සමාජ ප්‍රගතිය අරමුණු කරගෙනයි. අපි සමාජයට හොඳ දෙයක් දෙන්න නිරන්තරයෙන් උත්සාහ ගත යුතුයි.

ඔබ කියන්නේ අද ලේඛකයෝ හිතන්නේ වෙළෙඳ පොළ ගැන පමණක් ය කියන කරුණද?

හැමෝම එහෙම කියලා මම කියන්නේ නැහැ. ඇතැම් අය වෙළෙඳ පොළ පිළිබඳ උනන්දු වෙනවා වැඩියි. ඒ නිසා ම, සමාජයට දියයුතු පණිවිඩය පිළිබඳ ඔවුන්ට අමතක වෙනවා. මේ දුබලතාව නැති කරගැනීමට, ලේඛකයා සැලැකිලිමත් විය යුතුයි.

නව අදහස දක්වන්න