සංස්කරණය කිරීම එක්තරා විනෝදයක් | දිනමිණ

සංස්කරණය කිරීම එක්තරා විනෝදයක්

කාංචනා අමිලානි

කැත්‍රින් බුෂ්, කැනඩා ජාතික ලේඛිකාවකි. ඇගේ පළමු නවකතාව ‘මයිනස් ටයිම්‘ ය. දෙවැන්න ‘ද රූල්ස් ඔෆ් එන්ගේජ්මන්ට්‘ නමින් 2000 වසරේදී නිකුත් විය. ‘ක්ලෙයාර්ස් හෙඩ්‘ සහ ‘ඇකියුසේෂන්‘ කැත්‍රින්ගේ ඊ ළඟ නවකතා ද්විත්වයයි. මේ ඇය සමඟ කළ සාකච්ඡාවක පරිවර්තනයකි.

'මයිනස් ටයිම්' නම් ඔබේ පළමු නවකතාව චිත්‍රපටියක් බවට පත් වුණා. දෙවැනි නවකතාව 'රූල්ස් ඔෆ් එන්ගේජ්මන්ට්' ලියැවුණේ ඒ උණුසුමත් සමඟමයි. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

නවකතාවක්, චිත්‍රපටයක් වන එක ටිකක් දීර්ඝ වැඩක් විදිහටයි මට දැනෙන්නේ. මගේ චිත්‍රපටය තැනෙන්නත් ඒ වගේ දිගු කාලයක් ගත වෙමින් පවතිනවා. ජෙරමි පොඩ්ස්වා විසිනුයි මගේ නවකතාව චිත්‍රපටයක් බවට පත් කෙරෙන්නේ. දැනටමත් ඔහු වෙනත් චිත්‍රපටයක වැඩ කරමින් ඉන්නවා. මීට අවුරුදු කීපයකට කලින් ඔහු නිර්මාණය කරපු 'ෆයිව් සෙන්සස්' චිත්‍රපටිය කාන්ස් උළෙල පවා නියෝජනය කළා. මේ වාතාවරණය යටතේ මගේ නවකතාවෙන් තැනෙන චිත්‍රපටය ගැන යහපත් බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන්. ඒත් එක්කම, මගේ දෙවැනි නවකතාව ගැනත් හොඳ බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන්.

ලේඛනයට ඔබ පොලඹවපු කාරණා මොනවාද?

ලෝකෙ සිද්ධ වන දේ ගැන උනන්දුවෙන් ඉන්න කෙනකුට යුද්ධ ආදිය මඟහැරලා ඉන්න බෑ. මට ඒ සිදුවීම් හරියට දෛනිකව ලබා ගන්න කෑම බීම වගෙයි. ලේඛිකාවක් විදිහට මම විශ්වාස කරන්නේ, මගේ ජීවිතය ඉවර වෙන්නේ මගේ ගෙදර දොරකඩින් හරි, පාරෙ කෙළවරින් හරි, වීදියෙ අන්තිම ආපනශාලාව ළඟින් හරි නෙවෙයි කියලයි. එතැනින් බොහෝම දුර ඈතකට ජීවිතය විහිදෙනවා. අන්න එහෙම ඈතට විහිදෙන ජීවිතේ තියෙන හැම කතාවක්ම දැන ගන්න මට වුවමනායි. මම ඒ නිමක් නැති කතා හොයාගෙන ඇවිදිනවා.

මේ සඳහා වැඩිපුරම බලපාන්න ඇත්තේ තුන වසරේදී මම ඉගෙන ගත්ත ගුරුවරියක් කියලයි මම හිතන්නේ. වයස අටේදී රචනා සහ කවි විතරක් ලිව්වහම ඇතියි කියලා ඈ හිතුවෙ නෑ. අපේ සිතුවිලිත් ලියන්න කියලයි ඈ අපට කිව්වේ. තවත් පැහැදිලි කළොත්,

දවසේ සිද්ධ වෙච්ච දේ ගැන මම හිතන්නෙ මොනවද කියලයි ගුරුවරිය ලියන්න පෙලඹෙව්වේ. වියට්නාමෙ යුද්ධය ගැන මට මොනවද හිතෙන්නේ කියලා ලියන්න කියලා දවසක් ඈ කිව්වා. අපේ වයසේ හැටියට ඒක හරිම බැරෑරුම් කියලා ඒ කාලෙදි හිතුණෙත් නෑ. ගුරුවරිය කිව්වේ පත්තරවල තියෙන ප්‍රවෘත්ති වගේ දේ කියවලා, තොරතුරු හොයා ගන්න කියලයි.

මම මේ කතා කරන්නේ 1960 වගේ කාලයක් ගැන. නැවත ඒ ගැන හිතනකොට ඉතා ම වැදගත් සහ තීරණාත්මක ළමා කාලයක් අපි ගත කළා කියලා හිතෙනවා. ඒ වගේම වගකීම්සහගත ළමා කාලයක් මම ඇතුළු අනෙක් ළමයින්ට තිබුණා කියලත් හිතෙනවා.

ඈ මගේ ළමා කාලය ඉතා ම පළල් අවකාශයක් බවට පත් කළා කියලා හිතෙනවා. සමහර විට මම කුඩා කාලෙ ලියපු ඒ සිතුවිලි, මා ලේඛකයෙක් කරන්න අනියමින් බලපෑම් කරන්න ඇති.

එහෙම බැලුවහම පොදු අවකාශයේ පුද්ගලික ජීවිත හැප්පෙන තැන් ගැන සෙවිල්ලෙන් මම ඉන්නවා. මගේ නවකතාවල තියෙන්නෙත් අන්න එහෙම ජීවිත හැප්පෙන තැන් ගැන, සමාජයෙන් මම උරා ගත්ත සිද්ධි ප්‍රතිනිර්මාණය කිරීමක් වෙන්න ඇති.

පළමු නවකතාව ලියන්න ඔබ පෙලඹවූවේ කුමක්ද?

පොත ලියන්න පොලඹවපු කාරණා කීපයක්ම තියෙනවා. එකක් මගේ යාළුවෙක් යුද්ධය ගැන කියපු කතාවක්. ඈ යුද්ධය ගැන ලියපු කාන්තාවක්. ඇත්තටම කාන්තාවක් යුද්ධය ගැන ලියනවා කියන එක ම මා ප්‍රහර්ෂයට පත් කළා. ඒක එක්තරා අන්දමක තහනමක් බිඳ හෙළීමක් කියලයි මම හිතුවේ. ඈ මේ කියන යුද්ධයට සෘජුවම සම්බන්ධ නොවුණාට, යුද්ධයෙන් සීමාසහිත පීඩාවකට පත් වෙලයි හිටියේ. ඈට යුද්ධයෙන් ලැබුණු කැළැල් තිබුණා. මේ කතාන්දරය මා උනන්දුවට පත් කළා.

ඊළඟ කතාව මගේ බාලම නංගී කියපු එකක්. ඈ අප්‍රිකාවේ අවුරුදු 10 ක් තිස්සේ සේවය කරපු තැනැත්තියක්. 1990 මුල් භාගයේ විතර නංගි බලන්න මම කෙන්යාවට ගියා. එතකොට ඉතියෝපියානු ආණ්ඩුව බිඳ වැටිලා සෝමාලියානු සිවිල් යුද්ධය පටන් අරන් තිබුණේ.

එතකොටයි මට දැනුණේ මාත් අනියමින් යුද්ධයකට මැදි වෙලයි ඉන්නෙ කියලා. අපි ලෝකයේ වෙනත් මුල්ලක සැප පහසුවෙන් ඉන්නකොට, තවත් අන්තයක තියෙන මේ වාගෙ රටවල් නොදන්නා යුද්ධයක පසුවෙනවා. ඒ කාලෙදි මට හම්බ වුණා යුද්ධය නිසා ඉතියෝපියාවෙන් කැනඩාවට සංක්‍රමණය වෙන්න උත්සාහ කරමින් ඉන්න. ඈ සරණාගතයෙක් විදිහටයි සංක්‍රමණය වෙන්න උත්සාහ කරමින් හිටියේ. තවත් අය පවුල් පිටින්ම සංක්‍රමණය වෙන්න උත්සාහ කරමින් හිටියා. ටොරොන්ටෝවේ සිට හරි, ලන්ඩනයේ සිට හරි අපි මේ වගේ කතා එකතු කරමින්, නැවත ලියමින් ඉන්නවා. අන්න ඒකයි මම අත් දු‍ටුව ඇත්ත.

මේ කතා ඔක්කොම සම්මිශ්‍රාණය වෙච්ච අගක්, මුලක් නැති දිග කතාන්දරයක් මගේ හිතේ ගැඹුරක තැන්පත් වෙලා තිබුණා. ඒ ඔක්කොම නිරවුල් විදිහට එක කොණකින් එළියට ඇදලා අරන් තමයි මම මේ නවකතාව ලිව්වේ.

නවකතාවක් ලියා අවසන් කරන කාල වකවානුව ගැන නිශ්චිත හැඟීමක් ඔබට තිබෙනවාද?

පැහැදිලිවම කාලය සම්බන්ධව නිශ්චිතවම කියන්න හැකියාවක් නෑ. මගේ දෙවැනි පොතත් එක්ක සසඳලා බැලුවොත්, අවුරුදු 6 1/2 ක් ඒක ලියලා ඉවර කරන්න ගත කරන්න වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නෑ. මම ඒක කලින් දැනගෙන හිටියා නම් හරි, වෙනත් කවුරු හරි මට ඒක කිව්වා නම් මගේ අත වැඩකරන එකක්වත් නෑ. මම කියාවි 'නෑ. ඒක වෙන්න බෑ. එච්චර කල් යන්නෙ නෑ නවකතාවක් ලියන්න' කියලා. කාලයත් එක්ක මම ඉගෙන ගත්තා වටපිට ඉන්න අයගේ බලාපොරොත්තු සහ වුවමනා ගැන වධ නොවී නවකතාව එක්ක මට කැමැති විදිහට හැසිරෙන එකයි වැදගත් කියලා. නවකතාව ඉල්ලා හිටින කාලෙ කොයි තරම් දිග ද, කොට ද කියන එකට ඔබට කරන්න කිසි ම දෙයක් නෑ. ඒකත් එකඟ වෙන එක විතරයි ඔබට කරන්න තියෙන්නේ. සමහර විට මගේ අලුත් නවකතාව ලියන්න ඒ හැටි කාලයක් ගත වෙන එකක් නෑ. ඒත්, ඒක ගැන පූර්ව නිගමනයකට එන්න තාමත් මට පුළුවන්කමක් නෑ.

ඔබ පැවසුවා ඔබේ පළමු නවකතාව නැවතත් සංස්කරණය කළ බවක්. ඒ ගැන යමක් සඳහන් කළ හැකිද? වසර ගණනාවකට පසුව පළමු නවකතාව කියැවීමෙන් ඔබ තුළ සිදු වූ විපර්යාසය කුමක්ද?

ලේඛකයෙක් යම් නවකතාව ලියා පළ කළාට පස්සේ, ඒක නැවත සංස්කරණය කරන්න හිතන එක තමයි නොකරනම දෙය. ඔවුන් නිතරම හිතන්නේ ඊළඟ නවකතාව ගැන මිසක් පසුගිය නවකතාව ගැන නෙවෙයි. ඒක සාධාරණයි. ඒත්, මට එහෙම ලේසියෙන් අතීත ලියැවිලිවලින් ගැළවෙන්න බැහැ. අවුරුදු 5ට පස්සෙයි මම නවකතාව නැවත කියවා සංස්කරණය කර අලුත් කවරයක් සමඟ මුද්‍රණය කළේ.

පළ කළ නවකතාවකට එවන් නව සංස්කරණයක් කිරීම කොයි තරම් සාධාරණද? ඔබේ ප්‍රකාශකයන් ඊට ඉඩ දුන්නාද?

මගේ ප්‍රකාශකයාට ඒක ගැන කිසි ම ගැටලුවක් තිබුණේ නෑ. මට කැමැති දෙයක් කරන්න නිදහස ඔවුන් මට දීලා තිබුණේ. අවංකවම නැවත කියවලා බලද්දි මට නවකතාව පුරාම අනවශ්‍ය වචන රාශියක් හම්බ වුණා. අනවශ්‍ය සිද්ධි සහ රූපරාමු හම්බ වුණා. ඒවා සංස්කරණය කිරීම එක්තරා ආකාරයක විනෝදයක්. ඒ වෙලාවෙ මම රතු පැන්සලක් අතේ තියාගෙන ඉන්න සංස්කාරක කෙනෙක් විතරක්ම වුණා.

ඒත්, සමහර විට මේ සංස්කරණය කළ නව පිටපතේ සහ පැ‍රැණි පිටපතේ වෙනසක් කියවන්නාට නොදැනෙන්නත් පුළුවන්.

ඔබ ශික්ෂණයක් සහිත ලේඛිකාවක් විදිහට හඳුන්වනවාට කැමැතිද?

මම නීතිගරුක ලේඛිකාවක්. පිළිවෙළ සහ සංයමය අගය කරන කෙනෙක්. කාල සටහනකට වැඩ කරන්න කැමැති කෙනෙක්. සාමාන්‍ය විදිහට උදෑසන අවදි වෙලා, සතිය මුළුල්ලේම ලිවීමේ නිරත වෙනවා. ඒත්, සාමාන්‍ය මිනිස් ජීවිතයක් ගත කරනකොට, සතියේ දින හතේම ලියන්න ලැබෙන්නේ නෑ. වෙනත් සිද්ධිවලටත් ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒවා එක්ක ඔබේ අවධානය වෙනස් වෙනවා. මම කරන්නේ මගේ අවධානය වෙනස් කර නොගෙන මට අවශ්‍ය විදිහට ලියන්න උත්සාහ කරන එකයි.

නව අදහස දක්වන්න