රට නංවන්න අංශ 25ක ප්‍රති­සං­ස්ක­රණ | දිනමිණ

රට නංවන්න අංශ 25ක ප්‍රති­සං­ස්ක­රණ

ජය­සිරි මුණ­සිංහ
ඡායා­රූප - සුසන්ත විජේ­ගු­ණ­සේ­කර

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය ඇතිකරලීම උදෙසා ප්‍රධාන අංශ 25ක සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ බව මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා අවධාරණය කෙ‍ෙළ්ය.

රට නැංවිය යුතු මග පැහැදිලි කරමින් තමන් ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් මේ යෝජනා ඉදිරිපත් කළ බව සිහිමත් සමාජයක් උදෙසා පුරවැසියෝ ජාතික සම්මන්ත්‍රණයට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව කියා සිටියේය.

කොළඹ නිදහස් මාවතේ පිහිටි පුස්තකාල හා ප්‍ර‍ලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ ඉකුත්දා පැවැති සම්මන්ත්‍රණයට එක්වෙමින් මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

ශ්‍රී ලංකාව ඉතාම ඉහළ මානව හා භෞතික සම්පත් ජාලයකින් යුක්ත රටක්. මේ රටේ දියුණුව ඇති කිරීමට කළයුතු දේ වන්නේ විධිමත් හා මනා පරිපාලන, කළමනාකරණ, සැලසුම්සහගත වැඩපිළිවෙළකට රට යොමු කිරීම පමණයි. ඒ දේ ඉටු කිරීමට බුද්ධිමත් පිරිස් පෙරට ඇවිත් රටේ පාලකයින්ට උපදෙස්, මඟපෙන්වීම් ලබාදෙන්නට ඕනෑ. ඒ දේ අද දවසේ අප නොකළහොත් අනාගතය අර්බුදකාරී එකක් වන බවට සැකයක් නැහැ.

මේ නිසා සිහිමත් සමාජයක් උදෙසා පුරවැසියෝ වැනි ජාතික ව්‍යාපාරයක් ආරම්භ කිරීම ඉතාම වටිනා කාලෝචිත කටයුත්තක් බව සිරි හෙට්ටිගේ මහතා කීය.

මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ මහතා,

ශ්‍රී ලංකාවේ වාර්ෂික ආර්ථික වර්ධන වේගය දළ ජාතික නිෂ්පාදිතය ඉහළ නංවා ගැනීමට අප ක්‍රියා කළ යුතුයි. ඒ අයුරින් ක්‍රියා කිරීම තුළින් විරැකියාව, දුප්පත්කම, ආදායම් බෙදීයාමේ විෂමතා යන දුර්විපාකවලින් රට නිදහස් කර ගත හැකියි කීය.

අද දවසේ අප රටේ ආර්ථිකය මුහුණදී තිබෙන විදේශ ණය අර්බුදයෙන් ගොඩඒමට අප ක්‍රියා කළ යුතුයි. විදේශ විනිමය හිඟය, අය-වැය හිඟය කියන ප්‍රධාන අභියෝග දෙක අප ජයගන්න ඕනෑ. ඒ සඳහා නව ඍජු විදේශ ආයෝජන, විදේශ විනිමය ලැබෙන අපනයන ආදායම් වැඩිකර ගන්න ඕනෑ කීය. සිහිමත් සමාජයක් උදෙසා පුරවැසියෝ ජාතික ව්‍යාපාරයේ අරමුණ පැහැදිලි කිරීම රාහුල සේනානායක මහතා විසින් සිදු කෙළේය.

ආචාර්ය ශාන්ත ගම්ලත්, මාලක විමලසූරිය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහේෂ් සේනානායක යන මහත්වරු ඇතුළු කිහිපදෙනකු මෙහිදී අදහස් දැක්වූහ.

 

නව අදහස දක්වන්න