බෙන්තර පාසල් සිසුන්ට නොමිලේ ජීවිතාරක්ෂක පුහුණුව | දිනමිණ

බෙන්තර පාසල් සිසුන්ට නොමිලේ ජීවිතාරක්ෂක පුහුණුව

ඉඳුරුව සමූහ ඇම්. පී. මුනිදාස

බෙන්තර ගං තීරයේ කිසි දිනෙක දැක නොමැති අන්දමේ දිය කිඳුරන් හා කිඳුරියන් රැසක් ගං දිය මත උඩුබැලි අතට නොපිහිනා නොසෙල්වී සිටින අපූර්ව දසුනක් දැක ගැනීමට ලැබුණෙන් ඒ ගැන මඳක් විමසිලිමත් වීමී. සංචාරක මණ්ඩලයට අයත් සුලන්කා බංගලාව අසල ගං දිය මත එසේ විවිධ කරනම් ගසමින් සිටියේ පාසල් යන පුංචි දරු දැරියන් පිරිසක් බව දැන ගන්නට ලැබුණේ ඒ කටයුතු වල මූලිකත්වය ගෙන ක්‍රියාත්මක වූවන් හා කතා බහ කිරීමෙන් පසුවය. සම්පූර්ණයෙන්ම නොමිලේ ජීවිතාරක්ෂක පිහිනුම් කටයුතු උගන්වනවා නම් එය මහා සද්කාර්යයකි. මෙතැන කෙරෙන්නේද එවැන්නකි. තමන්ගේ ජීවිතය බේරා ගන්නා ගමන් ජල ගැල්මකට හෝ ගඟක නැතිනම් වෙනත් ජල පහරකට හසු වී ගසා ගෙන යන අයෙකුට නැවතත් ජීවිතය ලබා දිය හැකි නම් එය මොන තරම් පුණ්‍ය කර්මයක්ද? මේ ඒ සඳහා පෙර සූදානම් කරවීමකි.

මෙය ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ජීවිතාරක්ෂක සංගමයේ සහායද ඇතිව ක්‍රියාත්මක කරනු ලබන වැඩ සටහනක් යැයි දැනගන්නට ලැබුණේ, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ තරග අධිකාරී මෙන්ම පුහුණු වැඩ සටහනේ ප්‍රධාන පුහුණුකරුද වන ගයාන් ප්‍රියදර්ශන මහතාගෙනි. ඒ මහතා පවසන පරිදි මේ ගැන පරීක්ෂණ කටයුතු කරනු ලබන්නේ ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයයි. ශ්‍රී ලංකාවේ SAGT නම් ආයතනයක් මේ සඳහා පෞද්ගලික සහාය ලබා දීමටද ඉදිරිපත් වී සිටින බවත් දැනගන්නට ලැබිණි.

ශ්‍රී ලංකාවේ දිනකට දියේ ගිලීමෙන් ජීවිත තුනක් අහිමි වෙනවා. මේක රටක් වශයෙන් දරා ගැනීමට නොහැකි ඛෙදවාචකයක්. අපේ මූලික අරමුණ මේ තත්ත්වය නතර කිරීමයි. වැඩිහිටි අයට යමක් පුහුණු කරනවාට වඩා ළමා වියේදී එය කිරීම පහසුයි.

අප මේ පුහුණු කටයුතු දින දොළහකදී නිම කරනවා. දැන් රට පුරා පුහුණුව ලැබූ විශාල පිරිසක් ඉන්නවා. වයස අවුරුදු 10 ට වැඩි පාසල් සිසු සිසුවියන්ට මේ වැඩ සටහනට සහභාගි වීමට හැකියි. තවත් පැත්තකින් ළමයින්ට මෙය පුහුණු කිරීමෙන් ඔවුන් උනන්දුවකින් ඉගෙන ගන්නවා. මේ ළමයි හරිම දක්ෂයි. ඔවුන් මේ ලබන පුහුණුව තුළින් සමස්ත රටවැසියන්ටම විශාල සෙතක් සැලසෙනු නිසැක යැයි,” ද ප්‍රියදර්ශන මහතා පැවසීය.

නව අදහස දක්වන්න