“ප්‍රේමය නම්” යථාර්ථයෙන් ප්‍රඥාවට! | දිනමිණ

“ප්‍රේමය නම්” යථාර්ථයෙන් ප්‍රඥාවට!

අහස අල්ලන්නට තතනන සරුංගලයක් මෙන් මසිත නොඉවසිලිමත් විය. ඒ යම් ඉඟියක් සොයා ගැනීමේ නොසන්සිඳුන කුතුහලය නිසාය. ඇගේ නික්මයාමත් නොනවත්වා සිදුවෙන ඔහුගේ පවිත්‍රවීමත් සම්ප්‍රදායික සංකේත නිරූපණයක්දෝයි මට සිතිණි.

සැමියා හා බිරිය අතර ඇතිවූ යම් කිසි ගැටලුවක් හේතුකොට ගෙන ඇය පිටව යන බව හැඟෙයි. එහෙත් ඇය පිටවයන්නේ ඔහු පිළිබඳ වෛරයකින් නොවන බව ‍දෙවැනි දෙබසින්ම වැටහී යයි. නියමිත වේලාවට ඖෂධ ලබාගන්න යැයි ඇය කරන ප්‍රකාශය ඊට නිදසුන්ය. සමනලීගේ දෑස්වල ප්‍රේමය පිරී ඇත; ඒ සමාන සන්තාපයක්ද පිරී ඇත. අැය මේ විප්‍රයෝගයට සූදානම්ව ඇත්තේ සිතකින් නොවන බව පැහැදිලිය.

එහෙත් එවැනි තීරණයක නොගෙනද නොහැකි බව, ඇය සිය හැඟීම්වලින් ප්‍රබලව නිරූපණය කරයි. ඇය රැගෙන යන්නේ සාමාන්‍ය බරක් ඇති බෑගයකි. ඒ බෑගය සම්පූර්ණ වියෝවීමක සංකේතයක් නොවන බව ප්‍රේක්ෂකයාට පැහැදිලි කරයි.

කුතුහලය ඇරඹෙන්නෙ මේ වෙන්වයෑමත් සමඟය. ශාම්ගේ පවිත්වීමේ අවසානයක් නැත. එය අසාමාන්‍ය පවිත්‍රවීමකි. එතරම් පවිත්‍රවීමක්? සම්ප්‍රදායික සංකේතාත්මක නිරුපණයක්ද යන්න සැකය ඇතිවන්නේ එකී පවිත්‍රවීම අරඹයාය. ඝාතනයක්? සැමියා අතින් බිරිය ඝාතනය වී ඇත්දෝ යන සිතිවිල්ල සිතට නැඟෙයි.

සම්ප්‍රදායික සිනමා භාවිතයන් බොහෝ දුරට ප්‍රේක්ෂක මනස හදා ඇත්තේ එතැනටය. අනෙක් අතට පවතින සමාජ ක්‍රමයේ හැඩරුව සැකසෙමින් පවතින්නේද එවැනි ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාර දැක්වීමකටය. එහෙත් ප්‍රේක්ෂකයා වෙහෙසට පත්කරන තරමට කාලය නාස්ති නොකරමින් සිනමාපටයේ වස්තු විෂය පිළිබඳ අව‍බෝධකර ගැනීමට ඉඩ සැලස්වීම සිදුවෙයි.

“ප්‍රේමය නම්” ගොඩනැ‍ඟෙන්නේ එකී ‘මානසික රෝගී තත්ත්වයක්’ වස්තු විෂය කරගනිමිනි. අපේ වර්තමාන සිනමාවද දේශපාලනය තරමටම ජනතාව රවටයි. ඡන්දදායකයා සිය මනාපය පිළිබඳ කලකිරෙන්නේ යම්සේද ප්‍රේක්ෂකයාද සිනමාව වෙනුවෙන් වැය කළ මුදල පිළිබඳ තැවීමට පටන් ගන්නේ සිනමාහල තුළදීමය. ඉපැයීම නැතිනම් පෞද්ගලික පටු පරමාර්ථ උ‍දෙසා සිනමාවද භාවිතයට ලක්වෙන ‍මෙවන් යුගයක, වට්ටෝරු සිනමාවෙන් මිදී ප්‍රේක්ෂකයා වෙනම මාවතකට අවතීර්ණ කිරීම උදෙසා “ප්‍රේමය නම්” ගෙන ඇති උත්සාහය අතිශය සාර්ථකය.

සිනමාපටය අවසානයේ ප්‍රේක්ෂකයාගේ හදවතෙහි ඇතිකරන්නේ ප්‍රබල කම්පනයකි. තම වර්ගයා සම්බන්ධයෙන් වූ ගැඹුරු භාවනාවකට ප්‍රේක්ෂකයා යොමු වෙයි. තවත් විදියකින් කියතොත් තමා පිළිබඳවද ස්වයං විවරණයකට ප්‍රේක්ෂකයා යොමුවන්නේ නිතැතින්ය. කුණු රොඩු සහ මඩ තැන්පත්වීමෙන් අවහිර වී, බොර පැහැ වී තිබෙන දිය පහරක්, පෑදීමෙන් පසු නිදහසේ ගලා යන සුනිල දිය දහරක් බවට පත්වන්නා මෙන් තමාට තමාවද සුවපත් කර ගැනීමට ‍සිනමාපටය අවසානයේදී ලැබෙන අවස්ථාව, ප්‍රේක්ෂකයාට ගෙනදෙන්නේ අපූරු අත්දැකීමකි. ඊළඟට ප්‍රේක්ෂකයා සිතන්නට පටන්ගන්නේ තම අවට සිටින්නන් ගැනය. ඔවුන්ව සුවපත් කරන්නට මැදිහත්වන ආකාරය පිළිබඳය. ලෝකය ගැන හිතන්නට පොළඹවන කලා කෘතියක් නරඹන්නට ලැබීම ගැනද ප්‍රේක්ෂකයාට ඇති වන ආනන්දයේ නිමක් නැත.

සිනමා පටයේදී, එකී තරුණයා සුවපත් කරගැනීමේ වුවමනාව ඔහුගේ බිරියට තදින්ම දැනී තිබිණි. මිනිස් වර්ගයාගේම වාසනාවට, මේ රෝගය පිළිබඳ අධ්‍යයනය කිරීමට තරම් ඇයට බුද්ධියක් ඇත. එමෙන්ම එවැනි රෝගී තත්ත්වයකට බඳුන් වී ඇත්තේද මනුෂ්‍යයකු බව වටහා ගැනීමටත්, එකී රෝගය විවාහ නොවී සිටීමට හෝ ඔහුගෙන් දික්කසාදය ලබා ගැනීමට තරම් හේතුවක් නොවන බවත් ඇය අවබෝධ කරගන්නීය. එමෙන්ම, ඔහු සදාතනික රෝගියකු බවට පත්කර, ඇප උපස්ථාන කරමින් ජිවිතයම අපායක් කර නොගැනීමට තරම් ඕ බුද්ධිමත් ද වූවාය. එබැවින් සිය සැමියා නිසි ප්‍රතිකාරවලින් සුවපත් කර ගැනීමේ කර්තව්‍යයට ඇය බුද්ධිමත් ලෙස අවතීර්ණ වෙයි.

රෝගය පරදවා ලබන ජයග්‍රහණය අවසානයේ, යුවළ පිළිබඳ, ප්‍රේක්ෂකයා අසීමිත තෘප්තියට පත්වන්නේ කෙතරම්ද , ඒතරම්ම ප්‍රමාණයෙන් මහා කම්පනයටද පත් වන්නේය. ඒ සිය මානව වර්ගයා පිළිබඳය. එයිනුත් තම දෑසට පෙනෙන තම හදවතට දැනෙන දෙනෝදාහක් වූ අසරණ දූපත් වැසියා පිළිබඳවය. මැතිවරණ කන්නයෙන් කන්නයට රැවටී ගොඩ ඒමක් නැතිව දුක් විඳින අසරණ දුගී ජනයා ගැනය. තමන්ගේ මෙවැනි ලෙඩ රෝගයක් තබා, තමන් පාලකයාට රැව‍ටෙන බවත්, පාලකයා තමා රවටන බවත් නොදැන, අන්තදුක්ඛිත ජීවිත ගෙවන ජනයා ගැනය. එම මානසික රෝගයෙන්ම පීඩා විඳ, ඇතැම්විට එකී රෝග උත්සන්නව, මහපාරේ, අගුපිලේ කුණු බක්කි අඳිමින් දිවි ගෙවන සිය සහෝදර ජනයා ගැනය. මානසික රෝගය සුවපත් වුවද නිවෙසට බාර ගැනීමට තරම් බුද්ධියක් නැති ඥාතීන් නිසා මානසික රෝහලටම කොටුවූ අසරණ ජීවිත ගැනය.

සිනමාවට භද්‍ර යෞවනයන් වූ මේ සහෝදර අධ්‍යක්ෂවරුන් මිනිස් ජීවිත විවරණය කිරීමට පටන්ගත් තැන අපූරුය. ප්‍රේක්ෂකයා ඇන්දවීමට ඔවුන් කිසිසේත් අදහස් නොකරයි. මෙහි ඇති ප්‍රේමයද එබඳුය. සිනමාව විකුණා ගැනීමට බලෙන් ලිංගික දර්ශන ඔබ්බන අධ්‍යක්ෂවරුන් බහුල මේ රටේ, මේ යොවුන් නිර්මාණකරුවන් මෙහි ප්‍රේමය ‍යොදාගන්නා සැටි ප්‍රශංසනීයය.

මෙය මානසික රෝගී තත්ත්වයක් නිරූපණය කරන සිනමා පටයක් බැවින් උසස්පෙළ සිසුන්ට පෙන්වීමේ අවස්ථාව සලස්වා දෙන්න යැයි අධ්‍යක්ෂ සහෝදරවරුන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව ඔවුන් එක්තරා පුවත්පතකට කියා තිබුණි. එහෙත් මේ සිනමාවේ ඇත්තේ ප්‍රේමය බවත් එබැවින් පාසල් සිසුන්ට මේ සිනමාපටය නැරඹීමට ඉඩසලසා දිය නොහැකි බවත් අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කළ බවත් තමන් ඉන් කලකිරී මට පත්වූ බවත් ඔවුන් ප්‍රකාශ කර තිබුණි. අහෝ! ‍මෙවැනි සිනමාවක් තබා ප්‍රේමය පිළිබඳ ‍හෝ නිවැරදි වැටහීමක් අපේ අධ්‍යාපන බලධාරීන්ට නැති බවය ඉන් හැඟී යන්නේ.

‘ප්‍රේමය නම්’ සිනමාපටයේ ප්‍රේමය අපූරුවට නිරූපණය වෙයි. සැබැවින්ම එය සැබෑ ප්‍රේමයක අපූරුතම නිරූපණයකි. බිරිය සිය සැමියාට ඇති ප්‍රේමය හේතුකොට ගෙන කෙසේ හෝ ඔහු සුවපත් කර ගැනීමේ බුද්ධිමය ප්‍රයත්නය යෙදෙයි. තමාට ඇති ප්‍රේමය නිසාම තම සැමියා වශයෙන් තෝරා ගත් බිරියගේ අනාගතය අඳුරු කිරීමට සැමියාට වුවමනාවක් නැත. තමා අතහැර ගිය බිරියට වෛර කිරීම පසෙක තබා ඇයටත් සමාජයටත් තමාගෙන් වෙන කරදරවල අවසාන‍යක් දකින්නට ඔහුට වුවමනාය. එහිදී තමා ගැන සිතනවාට වඩා ඔහු සිතන්නේ අනෙකා ගැනය.

ප්‍රේමය තුළ පවා අතිශය ආත්මාර්ථකාමී මනුෂ්‍යයන් බහුල සමාජයක ‍ප්‍රේමය යනු පරාර්ථකාමීත්වය, ඉවසීම, කැපකිරීම, අන්‍යෝන්‍ය අවබෝධ, එකිනෙකාට ගරුත්වය දැක්වීම වැනි ප්‍රබල මානුෂීය වටිනාකම්වලින් පිරුණාවූ දෙයක් බව තරුණ දරුවන් හෙවත් උසස් පෙළ සිසු සිසුවියන් අවබෝධ කර ගැනීමේ වරද කිම? සෞන්දර්යාත්මකව මේ අවබෝධය, දරුවන්ට ලබාදීම වැරැද්දක් වන්නේ ‍කෙසේද?

එකකුගේ ‍ප්‍රේමය අනෙකා විසින් ප්‍රතික්ෂේප කරන විට පිහියෙන් ඇන මරා දමන තරුණ දරුවන් සිටින සමාජයකි මේ. එසේ නොවුණත් නොමරා වද දෙන මානසිකත්වයක් ඇතැම් තරුණ දරුවන්ට ඇත. අනෙකාට නිග්‍රහ කිරීම , මානසික බිඳවැට්ටවීම් ඇතුළු බොහෝ විෂම දේ ඊට ඇතුළත්ය.

එවැනි පරිසරයක සිටින දරුවන්ට මේ සිනමාපටය නැරඹීමට දීම එකඅතකින් මානසික රෝගයක් පිළිබඳ දැනුවත් වීමටත්, ඊට ප්‍රතික්‍රියා දැක්විය ආකාරය හැදෑරීමටත් නැවුම් අත්දැකීම් වනු ඇත. අනෙක් පැත්තෙන් ප්‍රේමයේ වටිනාකම් මැනවින් අවබෝධ කර ගැනීමටද දරුවන්ට අවස්ථාව ලැබේ. ඒ යථාර්ථය තේරුම් ගැනීමට හැකියාවක් නැති අධ්‍යාපන බලධාරීන් සිටින රටක ජාතියක් වශයෙන් අපි අවාසනාවන්ත ‍වෙමු.

අනෙක් පැත්තෙන් මේ යුවළගේ ස්වධීනත්වය කතාව යටින් දිවෙන සියුම් හුයක් සේ නිරූපණය වේ. ඔවුන් එකිනෙකාගේ ස්වාධීනත්වයට ගරු කරන්නේ නිරායාසයෙනි.

ඔවුන්ට තනිවම හුස්ම ගැනීමට ඇති අයිතිය සේම, ඔවුහු එකිනෙකාගේ ස්වාධීනත්වයේ අයිතියට ගරු කරති. ‍මිනිසාගේ ස්වාධීනත්වය ප්‍රේමයේ සාර්ථකත්වයට බලපාන ප්‍රධාන සාධකයක් බව අධ්‍යක්ෂවරුන් ප්‍රේක්ෂකයාට අඟවන්නේ කිසිඳු වෙහෙසකින් තොරවය. එය ප්‍රේක්ෂකයාට ලබාදීමට අධ්‍යක්ෂවරුන් කිසිදු වෙහෙසක් ගෙන නැත්තාසේම ප්‍රේක්ෂකයාද කිසිදු වෙහෙසකින් තොරව එකී යථාර්ථය මැනවින් ග්‍රහණය කර ගනී.

තවද මෙහි ප්‍රධාන භූමිකා ඉදිරිපත් කරන ශාම් ප්‍රනාන්දු සහ සමනලී ‍ෆොන්සේකාගේ චරිත නිරූපණයන්ද විශිෂ්ට මට්ටමක ඇත. කෙසේ වුවද මේ දෙදෙනාම අපට සිටින දක්ෂ නළු නිළි දෙපළකි. විශේෂයෙන් ශාම්ගේ රංගන කුසලතාව ඉතා උසස් මට්ටමක තිබූ බව නිර්ලෝභීව ප්‍රකාශ කළ යුතුය. ඔහු එම චරිතයේ අවංකව ජීවත් වෙයි. ඒ අවංකබව ඔහු නිරූපණය කරන භූමිකාව ඉතා ස්වාභාවිකව ගලාගෙන යෑමට ඉඩ සලස්වයි. ශාම්ගේ රංගන කුසලතාව ගැන පමණක්, අනාගතයේ දීර්ඝ වටිනා ලිපි ලියවෙනු ඇත.

“ප්‍රේමය නම්” වින්දන ආරියවංශගේ පෞද්ගලික අත්දැකීමක් මත නිර්මාණය වූ සිනමා පටයකි. ඔහු තමන්ට අවංකවීමට ගත් උත්සාහයට මනුෂ්‍යයෝ විදියට අපි ගෞරවයෙන් හිස නමන්නෙමු. මන්දයත් බොහෝ නිර්මාණකරුවන් ජනතාවට දායක කරනුයේ තව එකකුගේ අත්දැකීමකි. එහි වරදක් නැත. වරද ඇත්තේ එකී අත්දැකීමවත් තමන්ට දැනුණු ආකාරයෙන් නිර්මාණය කිරීමට බොහෝ අධ්‍යක්ෂවරුන් අවංක නොවීමය. තමන්ටවත් නොදැනෙන තේමාවකින් යම් නිර්මාණයක් ‍ගොඩනඟන කල, එය විකෘතියක් මිස යථාර්ථයක් නොවන්නේය.

ඒ අනුව තමන්ටත් ලෝකයටත් අවංකවීම තුළ වින්දන ආරියවංශ, වැනසී යන මනුෂ්‍යත්වය නැවත සමාජය තුළ රෝපණය කරන්නේය. ඒ සඳහා ඔහුගේ සහෝදරයා වන කල්පන ආරියවංශ හා පියා වන ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශත් දැක්වූ සහයෝගය ‍කොතරම් ශ්‍රේෂ්ඨ මානුෂීය ගුණයක්ද?

“ප්‍රේමය නම්” සිනමා පටය සිංහල සිනමාවේ හැරහුම් ලක්ෂ්‍යක් බව මගේ හැඟීමය. තවදුරටත් ප්‍රේක්ෂකයා රවටන සිනමා උගුල් නොඅටවන ලෙස අපි අපේ සිනමා අධ්‍යක්ෂවරුන්ගෙන් ඉල්ලා සිටිමු. නිර්මාණ සඳහා මොන තරම් තේමාවන් මේ සමාජය තුළ තිබේද යන්න ප්‍රේමය නම් කදිම උපහැරණයකි. වල්වැදී ගිය දේශපාලනයෙන් තොර ලිංගික දර්ශන බලෙන් ඇතුළු නොකළ මේ සිනමා පටය, මිනිස් ජීවිත කෙතරම් සංකීර්ණද යන්න ගැනත් එහි ඇති ගැටලු සියුම් නිරීක්ෂණයන්ගෙන් හා මානවීය ගුණයන්ගෙන් විසඳාගත හැකි අයුරු පිළිබඳවත් අපූරුවට නිරූපණය කරයි.

ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය හරහා ප්‍රදර්ශනය කරන දැවැන්ත යැයි හඟන නාටක ප්‍රයත්න ගැටලුවලට වඩා අතිශය මානුෂීය ගැටලු කෙතරම් නම් තිබේද යන්න ගැන මනාව වටහා ගත හැකි නිර්මාණයක් ලෙසද මෙය හඳුන්වාදීමට කැමැත්තෙමි.

බීරි අලින්ට කවදා වීණා ඇසේදැයි මම නොදනිමි. එහෙත් නිරන්තරයෙන් වීණා වැයීම කළ යුතුය. මන්දයත් කැලයක තවත් සතුන් සිටින බැවිනි.

සුමේධා නවරත්න 

නව අදහස දක්වන්න