විදෙස් විනිසුරුවරුන්ට මෙරටට පැමිණිමට ඇති අවස්ථා ජනපති හා අගමැති වැළැක්වූවා | දිනමිණ

විදෙස් විනිසුරුවරුන්ට මෙරටට පැමිණිමට ඇති අවස්ථා ජනපති හා අගමැති වැළැක්වූවා

චන්ද්‍රිකා පෙරේරා

යුද්ධය හෝ යුද සමයේ වූ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර විදෙස් විනිසුරුවරු මෙරටට ගෙන්වන්නේ නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන්කර ඇති බවත් රටේ ස්ථාවරය වන්නේ එය බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති මහින්ද සමරසිංහ මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවට ඒමට ජාත්‍යන්තර විනිසුරුවරුන්ට ඉඩ ප්‍රස්ථාව ලබා දී කටයුතු කිරීමට එදා අවස්ථාව දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව ද මෙහිදී ඇමැතිවරයා පෙන්වා දුන්නේ ය.

රුසියාව හා ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවාවක් ස්ථාපිත කිරීමට දෙරට සූදානම්වන බවද මහින්ද සමරසිංහ මහතා සඳහන් කරයි.

සියලු රටවල් සමඟ නොබැඳි ප්‍රතිපත්තියක් ගෙන යන බවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රුසියානු නිල සංචාරය මඟින් ලෝකයටම පණිවුඩයක් ලබා දුන් බවද, එම නිල සංචාරයෙන් ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වක් උදාවී ඇති බවද කීය.

යුද්ධයට දොස් පවරමින් නොසිට රට සංවර්ධනය සඳහා සැවොම එක්ව කටයුතු කරමු යැයි විපක්ෂ නායක සම්බන්ධන් මහතා ද ‍පවසා ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය.

මානව හිමිකම් පිළිබඳ සොයා බැලීමට සිවිල් සංවිධානවලට ඉඩ දෙන්නේ නම් විවිධ අදහස් ඇති සිවිල් සාමාජිකයන් එක් වූ කණ්ඩායමක් මිස එකම මතයක් ඇති අය පත්කර නොගත යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේ ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (31) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා එම අදහස් පළ කෙළේය.

හෙතෙම එහිදී මෙසේ ද කීය. මීට වසර 43කට පමණ පෙර සිරිමාවෝ මැතිනියගෙ යුගයේ දී රාජ්‍ය නායිකාව ලෙස ඇයට ලැබුණු රුසියානු නිල ආරාධනාවට පසු පළමු වරට මෛත්‍රීපාල සිරිසේන මහතාට නැවත නිල සංචාරකට එරට නායකයා ආරධනා කළා. ඒ අතර කාලයේ දී මෙරට රාජ්‍ය නායකයන් එරට පැවැති ජත්‍යන්තර සමුළු ආදියට ගියත් මෙවැනි ආරාධනා ලැබී තිබුණේ නැහැ.

සාකච්ඡා ලැබුණේ නැහැ. නමුත් මෙවර මෛත්‍රීපාල ජනාධිපතිතුමා සමඟ විශේෂ සාකච්ඡා පැවැත් වුනා. එමෙන්ම එම නිල චාරිකව සඳහා වැඩි වියදමක දැරුවෙත් රුසියාවෙන්.

මේ නිල සංචාරය සමඟ ශ්‍රී ලංකාව සියලු රටවල් සමඟ නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විශේෂ පණිවිඩයක් ලබා දුන්නා. මේ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී තිබෙනවා අපි කිසිදු රටකට ගැති නැති ස්වාධීන ප්‍රතිපත්ති අනුගමනය කරන සෑම රටක් සමඟම මිත්‍රශීලීව කටයුතු කරන රටක් බවට. අප කිසිවෙකුට ගැති නැහැ. ශ්‍රී ලංකාවට වාසි සහගත දේවලට පමණයි එකඟවන්නේ.

ඔබාමා ළඟට ගිහින් පින්තූර ගැනීමේ අවස්ථාව විතරයි අපේ නායකයින්ට බොහෝ විට හැකි වුනේ. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාළඟට ඇවිත් ඔහු කිව්වා එරට අගමැතිට ශ්‍රී ලංකා ජනාධිපතිටත් රටටත් සලකන්න ඕනෙ කියා. මේ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට ජාත්‍යන්තරයේ ම පිළිගැනීම ලැබී තිබෙනවා. නේරු කියා තිබෙනවා ඕනැම රටක විදෙස් ප්‍රතිපත්ති තිබිය යුත්තේ රටට වාසිවන අන්දමට කියා.

මෙම සංචාරයෙන් ශ්‍රී ලංකාවට විශේෂ සැලකිලි, වාසි ප්‍රයෝජන ලැබුණා. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ආර්ථිකමය මෙන්ම වෙනත් අභියෝග, ඉදිරියට ඇතිවන තත්ත්වයන්ට මුහුණ දීමට ඇති අභියෝග ආදියත් ඒවාට නිරන්තරයෙන් රුසියානු රජයෙන් උපකාර කිරීමටත් මෙහිදී කැමැත්ත පළ කළා.

මේ අනුව කෘෂිකර්මාන්තය හා බලශක්තිය සම්බන්ධ කටයුතු සඳහා එරට තාක්ෂණට, දැනුම හා පහසුකම් ලබාදීමට ද රුසියාව සූදානම්. සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමේ සාකච්ඡා ද මේ අනුව පැවැතුනා. සෘජු ගුවන් සේවාවක් ස්ථාපිත කිරීමේ සාකච්ඡාවක් ද පැවැති අතර එයට එරට ජනාධිපතිවරයා එකඟතාව පළ කළා.

හැමදාම රුසියාව ශ්‍රී ලංකාවේ කල්‍යාණ මිත්‍රයෙක් ලෙස හොඳ දෙයකදි වගේම ජාත්‍යන්තර ප්‍රශ්නවලදිත් සිටියා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිල සාමාජිකයෙක් වන රුසියාව ශ්‍රි ලංකාවට අත්‍යවශ්‍ය රටක්. ලොව බලවත්ම නායකයා පු‍ටිං ජනාධිපතිවරයා ගැන අද ලෝකය කතා කරනවා. මේ නිල සංචාරය මෙරට රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ලැබූ විශාල ජයගහණයක්. එමෙන්ම එය රටට ගෞරවයක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේ කීය. එදා දරුස්මාන් වාර්තාව අපි ප්‍රතික්ෂේප කළ එක ඇත්ත. ඒ එදා ර‍ජයේ ප්‍රතිපත්තිය. මා එදා රජයේ විදේශ කටයුතු ඇමැති ලෙස එය ප්‍රතික්ෂේප කිරීමට ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම ඉදිරියේ එම වාර්තාව නිල නොව බව කරුණු පෙන්වා දුන්නා. එම වාර්තාව ඉදිරිපත් කළ කමිටුව නිල නොවන ලෙස පත් වූ කණ්ඩායමක්. නමුත් 2015 මානව හිමිකම් වාර්තාව මානව හිමිකම් ‍කොමසාරිස්වරයාගේ යෝජනාවක් අනුව මානව හිමිකම් කවුන්සිලයෙන් ගත් තීරණයක් නිසා ප්‍රතික්ෂේප කළ නොහැකියි. නමුත් ජාත්‍යන්තර විනිසුරුවන් ගෙන්වන්නේ නැහැ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති යුගයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් 19ක් පිළිබඳ සොයා බැලීමට උදුලාගම කොමිසම පත් කළා. මෙය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සිදු කිරීමට ජාත්‍යන්තර කොමිසමක් අවශ්‍ය බවට එදා ආ බලපෑම් මත මහින්ද රාජපක්ෂ මහතා එයට කැමති වුනා. ඉන්දීය හිටපු අගවිනිසුරු බගවතී මහතා ඇතුළු කණ්ඩායමක් එදා පත්කලේ මේ අනුවයි.

මානව හිමිකම් කොමිසම එදා යෝජනා කළෙත් දරුස්මාන් පත් කිරීමටයි. මේ අනුව විශේෂඥ කණ්ඩායක් පත් කර ඒ අයට වෙලාව මදි නිසා ඒ යටතේ බගවතී ඇතුළු පිරිස පත් කළා. නමුත් පරීක්ෂණ සොයා බලන්න ආ අය වෙනම වාර්තාවක් ඉදිරිපත් කළා. මෙහි පරීක්ෂණ සඳහා රජය බලපෑම් කරන බවට එය දරුස්මාන් වාර්තාව ලෙස මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළා. නමුත් එයට එහි සභාපති බගවති මහතාගේ අස්සන තිබුනේ නැහැ. මේ අනුව එය නිවැරදි වාර්තාවක් නොවේ කියා බගවතී මහතාගෙන් ලබාගත් ලිපියක් අනුවයි මා එදා විදෙස් ඇමැති ලෙස කරුණු දක්වා එය වැරදි බවට පෙන්වා දී මේ අයට ඉදිරියට මේ රටේ පහසුකම් ලබා දෙන්න බැහැ කියා දැනුම් දුන්නේ.

මේ අනුව මේ රටට විදෙස් නිරීක්ෂක පිරිසක් ගෙන්වීමට අවස්ථාව දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. මේ සියලු කරුණු දන්නා නිසායි මෛත්‍රීපාල සිරිසේන මහතා මුල සිටම කිව්වේ විදෙස් විනිසුරුවරුන්‍ට මේ රටට ඇවිත් යුද්ධය හෝ යුද්ධ කාලෙ ගැන කිසිම පරීක්ෂණයක් කිරීමට ඉඩ නොදෙන බව. යාපනයට ගොස් ප්‍රකාශ පවා මේ බව කීවා එහිදී රණවිරුවන් පාවා නොදෙන බව බිය නැතිව ප්‍රකාශ කළා.

අගමැතිවරයා පවා පෙන්වා දී තිබෙනවා රටේ නීතිය, ව්‍යවස්ථාව අනුව විදෙස් විනිසුරුවරු ගෙන්වන්න ඉඩක් නැති බව. අපේ පොලිසිය හා ත්‍රිවිධ හමුදා රණවිරුවො කිසිම අවස්ථාවක සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ප්‍රහාර එල්ල කළේ නැහැ. කොටි ත්‍රස්තවාදීන් රඳවාගෙන සිටි සිවිල් ජනතාව බේරගන්න දහස් සංඛ්‍යාත රණවිරුවො ජීවිත දුන්නා. ඒ අය මුදා ගන්න අවශ්‍ය වූ නිසයි අපේ රණවිරුවන්ට මිය යන්න සිදුවුනේ.

මේ අනුව හමුදා හා පොලිසිය කළ දේවල් පිළිබඳ නොවේ එල්ටීටීඊය කළ දේවල් ගැනයි සොයා බැලිය යුතු වන්නේ. මේ රාජ්‍ය නොවන සංවිධාන අපේ රටේ සිදු නොවූ දේ ගැන කතා කරනවා නමුත් මේ අය ත්‍රස්තවාදීන් කළ අපරාධ ගැන කිසි විටෙක කතා කරන්නෙ නැහැ. සම්බන්ධන් මහතා පවසා තිබෙනවා යුද්ධයට දොස් කියමින් නොසිට සංවර්ධනය සඳහා සියලු දෙනා එක් වෙමු කියා. මෙයයි සිදුවිය යුත්තේ.

රණවිරුවො යුද්ධයක් කර ලොව දරුණුම ත්‍රස්තවාදීන් පිරිසක් පරාජය කර ශ්‍රී ලංකාවට සාමය උදා කළා. මේ ස්ථාවර කළ රට නැවත අස්ථාවර කරන්න කිසිවෙකුට අප ඉඩ දෙන්නෙ නැහැ.

සුළු ජන කොටස්වලටයි රටේ අස්ථාවර බව වැඩියෙන් දැනෙන්නෙ.

අද දේශපාලන ඇඟිලි ගැසීම් නැති පරිපාලනයක් තිබෙන නිසා, අධිකරණය ස්වාධීනයි. අපට විශ්වාස කළ හැකි දේශීය අධිකරණ යාන්ත්‍රණයක් තිබෙනවා. මේ සඳහා තාක්ෂණික පහසුකම් අවශ්‍ය නම් අපේ කැමැත්ත අනුව ලබා ගන්න හැකියි.

මහින්ද මහත්තයගෙ කාලෙ විදෙස් විනිසුරුවන් ගෙන්වාගැනීමේ උදාහරණ තිබෙනවා. ඒ අනුවයි අපි මේ හයිබ්‍රීඩ් අධිකරණයට අකමැති‍යි. ඉරාකයේ යුද්ධය සම්බන්ධයෙන් පත්කළ කොමිටිය හමුදා යැවු අදාල රටේ රාජ්‍ය නායකයාට වැරදි කියා තිබුණා මිස හමුදා කණ්ඩායමයට අැඟිල්ල දිගුකර තිබුණේ නැහැ.

ඒකාබද්ධ විපක්ෂය කියන ලෙස විදේශ කටයුතු ඇමැතිවරයාට ජාත්‍යන්තරය ඉදිරියේ රජයේ ස්ථාවරයට විරුද්ධ යමක් ප්‍රකාශ කිරීමට නොහැකියි. එමෙන්ම ඒ අය කියන ලෙස මංගල සමරවීර මහතා එවැන්නක් ප්‍රකාශකර නැති බවයි එතුමාගේ කතාවෙන් මට පෙනී යන්නේ. 

නව අදහස දක්වන්න