සාන්ත ජෝශප් විදුහලට 25-10ක ජයක් | දිනමිණ

සාන්ත ජෝශප් විදුහලට 25-10ක ජයක්

ෆවුස් මොහොමඩ්

පාසල් ක්‍රීඩා පිටියේ සිය සම්ප්‍රදායික පසමිතුරා වන සාන්ත පීතර විදුහල් පිලට එරෙහිව අන්තර් පාසල් ලීග් රගර් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරගයෙන් ලකුණු 25-10ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සාන්ත ජෝශප් විදුහල් පිල සමත් විය. මේ ජයග්‍රහණයත් සමග දෙපිල අතර වාර්ෂිකව හුවමාරු වන බැසිල් වීරතුංග පියතුමා වෙනුවෙන් පිදෙන අනුස්මරණ පළිහ අත්කර ගැනීමට ද සාන්ත ජෝශප් ක්‍රීඩකයෝ සමත්වූහ.

සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේ පෙරේදා පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 10-0කින් පෙරමුණ ගත් සාන්ත ජෝශප් විදුහල් පිල තරගය නිමා කළේ ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් සමගිනි. පරාජිත සාන්ත පීතර විදුහල් පිලට රැස් කිරීමට හැකිවූයේ උත්සාහක දිනුම් 2ක් පමණි.

ආරම්භයේදී දෙපිලම ලකුණු රැස් කිරීමට දැඩි සටනක නිරතවූ අතර එය සාර්ථක කරගත් සාන්ත ජෝශප් විදුහල් පිල තරගයේ 30 වැනි මිනිත්තුවේදී සචිත් සිල්වා සාර්ථකව එල්ල කළ දඬුවම් පහරකින් ලකුණු 3-0කින් පෙරමුණ ගත්තේය. අනතුරුව ශාන් අකිල තැබූ අනගි උත්සාහක දිනුමක් සචිත් විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකණු 10-0කින් තරගයේ පළමු භාගය නිමා කරගැනීමට සාන්ත ජෝශප් විදුහල සමත්විය.

දෙවැනි භාගයේ ආරම්භයේදීම තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත් සචිත් සාන්ත ජෝශප් විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව 13-0කින් ඉදිරියට ගෙන ගිය අතර ඊට මොහොතකට පසුව උත්සාහක දිනුමක් තබමින් ලකුණු සංඛ්‍යාව 18 දක්වා ඉහළ දැමුවේය. ඊට මිනිත්තු කිහිපයකට පසුව සාන්ත පිතර විදුහලේ ලකුණු ලබාගැනීම ආරම්භ කළ රවීන් ප්‍රනාන්දු උත්සාහක දිනුමක් තැබීමට සමත්වූ අතර 73 වැනි මිනිත්තුවේදී බිලාල් හිල්මි තැබූ උත්සාහක දිනුමත් සමග ලකුණු පරතරය 10-18කින් අඩු කරගැනීමට සාන්ත පීතර විදුහල් පිල සමත්විය.

එහෙත් අවසන් මිනිත්තු කිහිපයේදී දැඩි ආක්‍රමණශීලී තරග රටාවක් අනුගමනය කළ සාන්ත ජෝශප් විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දමමින් සිය දෙවැනි උත්සාහක දිනුම තැබීමට සචිත් සිල්වා සමත්විය.

ඉසිපතනය ජය ගනී

මේ අතර ඩී.එස්.සේනානායක විදුහලට එරෙහිව ලකුණු 69-13ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉසිපතන විදුහල් පිල සමත්විය. වැලිසර නාවික හමුදා පිටියේ පැවැති මේ තරගයේ දී ඉසිපතන විදුහල් පිල උත්සාහක දිනුම් 11ක් තැබීමට සමත්විය. ඉන් 7ක්ම ගෝල බවට පත් කළ චමෝද් ප්‍රනාන්දු දිනයේ විශිෂ්ටතම ක්‍රීඩකයා බවට පත්වෙමින් උත්සාහක දිනුම් 4ක් තැබීමට ද සමත්වීම කැපී පෙනුණි.

ඩී.එස්. සේනානායක විදුහල් පිල රැස් කළේ උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහරක් පමණි. පළමු භාගය නිමාවට පත්වූයේ ලකුණු 38-8ක් ලෙස ඉසිපතනය පෙරමුණට තබමිනි. 

 

නව අදහස දක්වන්න