ආශාව මුදල් කරන කුමාරි | දිනමිණ

ආශාව මුදල් කරන කුමාරි

ඕනෑම පුද්ගලයකුගේ ආශාව, එම පුද්ගලයාගේ ජීවිත ඉරණම වෙනස් කරන සුවිශේෂී සාධකයක් වේ. එලෙස තම ආශාවෙන් දිවිය සොඳුරු කරගත්, නාත්තණ්ඩියේ පදිංචි කුමාරි වික්‍රමසිංහ අද දවස වන විට ජීවිතයේ සැදෑ සමය ගෙවන්නේ මල් පැළවල සිරිය ආස්වාදනීය ලෙස විඳගනිමිනි.

“මට පොඩි කාලේ ඉඳලා ම මල් වවන්න පුදුම ආශාවක් තිබුණේ. ඒ හින්දම මම අපේ ගෙවල් පැත්තේ තිබුණු මල් සංගමයකටත් බැඳුණා. එතනින් ඉගෙනගත් දේවලින් මම මල් පැළ හිටවන්න පටන් ගත්තා. පැළයක් දෙකක් හිටවනකොට මට ඒක අතහැර ගන්න බැරි වුණා. ඒ හින්දා මම අන්තිමට හිතුවා, මල් වගාව මගේ වෘත්තිය කර ගත්තොත් හොඳයි කියලා.”

සිත බැඳුණු දෙයකින් සිත ඉවතට ගැනීම එතරම් ලෙහෙසි පහසු නැත. කුමාරිගේ සිත මල් කෙරෙහි ඇදී ගියේ යළි කිසි දාක මල් පැළවලින් සමු නොගන්නා අටියෙනි.

“වයස‍ට යෑමත් සමඟ ජීවිතයට ලැබුණු අත්දැකීම් තුළින් මට මල් වගාව පිළිබඳ බොහෝ දේ ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේ ම මල් වගාව තව තවත් දියුණු කරගන්න ලැබුණා. මම මල් වගා කරන්න පටන් අරගෙන දැන් අවුරුදු 30ක් විතර වෙනවා. එදයි අදයි බලනකොට මගේ ජීවිතය වෙනස් වෙලා තියෙන්නෙ මට ම හිතාගන්න බැරි විදිහට”

“අපේ ගෙවල් පැත්තේ අව්ව ටිකක් සැරයි. ඒ හින්දා හොඳට අව්වට ඔරොත්තු දෙන පැළ තමයි මම ගොඩක් ම වගා කරන්නේ. ඕකීඩ්, බෝගන්විලා, ඇන්තූරියම්, වගේ පැළ මම වගා කරනවා”

ඇය තම පරිසර වටපිටාවට ම ආවේණික වූ පැළ වර්ගවලට මූලිකත්වය දෙන්නේ ස්ථානෝචිත ප්‍රඥාව උපයෝගී කර ගනිමිනි. කරන්නන් වාලේ කාර්යයක් සිදු නොකරමින් ඇය තම ස්වයං ව්‍යාපාරය දිනෙන් දින ම දියුණු කරලීමට ස්වකීය බුද්ධිය භාවිත කළ නුවණැති කාන්තාවකි.

“මම පොඩි බෝගන්විලා පැළයක් දෙන්නෙ රු.100කට. ඒ ඒ පැළවල ප්‍රමාණයන් අනුව තමයි ඒවගේ මිල තීරණය කරන්නේ‍‍. මමයි මගේ සේවක පිරිසයි දැඩි කැපවීමකින් තමයි මේ මල් පැළවලට සාත්තු කරන්නේ. අපේ මහන්සිය එක්ක තමයි අපට හොඳ ආදායමක් ගන්න පුළුවන් වෙන්නේ.”

උත්සාහයත්, කැපවීමත් නොමැතිව කිසිවෙකුට ඉදිරි අනාගතයේ ජය කණුව වෙත යෑමට ලැබෙන්නේ නැත. කුමාරිගේ ද ධෛර්යවන්ත ගමන් මඟට අස්වැසිල්ලක් වී ඇත්තේ උත්සාහය හා කැපවීම පමණක් බව ඇගේ කතාවෙන් මා හට හෙළි විය.

“ඉස්සර මම තනියම තමයි මල් පැළ වගා කළේ. ඒත් දැන් මමත් එන්න එන්න ම වයසට යනවා. ඒ හින්දා දැන් මට සේවක පිරිසක් සිටිනවා. මගේ අනුදැනුම ඇතිව ඒගොල්ලෝ මට සහය දක්වන නිසා; ‍මගේ වයසත් එක්ක කිසි ම ආතතියක් නැතිව මට වැඩ කරන්න පුළුවන්.”

ජීවිතයේ පරිණත අවධියෙහි වෙසෙන කුමාරිට කිසිඳු මානසික ව්‍යාකූලත්වයක් නොදැනෙන්නේ, ඇය මල් කෙරෙහි දක්වන ඇල්ම සේ ම තම සේවකයින්ට දක්වන කරුණාවන්ත බව නිසාවෙනි. ඇය තම සේවකයන්ට දක්වන ළෙන්ගතුකම නිසා සේවකයින් ද ඇයට සෙනෙහස දක්වන්නේ පුදුමාකාර ලෙසිනි.

“මම කිසි ම දවසක අසාධාරණ විදිහට මුදල් හම්බ කරලා නෑ. එදත් ඒ වගෙයි. අදත් ඒ වගෙයි. ඉස්සරහටත් ඒ වගේ ම තමයි. අසාධාරණ විදිහට හම්බ කරන මුදල්වලින් කාටවත් ම කිසි ම වගතුවක් වෙන්නේ නෑ.”

ඇය තම රාජකාරිය දේවකාරියක් කරගෙන ඇත. මිනිසුන්ගෙන් මුදල් අසාධාරණ අයුරින් නොගෙන, ඇය තමන්ගේ මහන්සියට ගැලපෙන මුදලක් පමණක් මල්පැළ විකිණීමෙන් ලබාගන්නී ය. අසාධාරණ ලෙසින් මුදල් උපයා මහා මන්දිර තනන්නන්ට ඇය කියාදෙන්නේ කදිම ඔවදනකි.

“මේ වගේ ස්වයං ව්‍යාපාරයක් ඉස්සරහට කරන්න ඉන්න කෙනෙකුට මට කියන්න තියෙන්නේ, මුලිකවම ඕනෑකම තියෙන්න ඕනේ කියලයි. ඕනෑකම නැත්නම් කිසි ම වැඩක් හරියට කරන්න බෑ. ඒ වගේ ම අවංකකම අනිවාර්යයෙන් ම තිබිය යුතුයි. එහෙම කළොත් කිසි ම කෙනෙකුට ජීවිතය වරදින්නේ නෑ.” ‍‍

එලෙස ඇය අවසානයට ප්‍රකාශ කළේ ලොව ජීවත් වන ඕනෑ ම පුද්ගලයෙකුට ඉගෙනගත හැකි වටිනා ගුණ ධර්මයකි.

 

මදාරා මුදලිගේ 

නව අදහස දක්වන්න