'රැල්ලට යන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ' | දිනමිණ

'රැල්ලට යන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ'

 කවුද ඔබ?

මම නිශී තෙන්නකෝන්.

 ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ?

2014 වසරේ, නිරූපණ ශිල්පිනියක් විදියට.

 දැන් ඔබ ඉන්න ක්ෂේත්‍රය?

සංගීත ක්ෂේත්‍රය

 නිරුපිකාවක් ලෙස පැමිණි ඔබ සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද?

මම Music videos ගණනාවකම නිරූපණ ශිල්පිනියක් ලෙස වැඩ කළා.ඒ අතරේදී මට සිංදු කියන්න ආසාවක් ඇති වුණා.ඒ ආසාව නිසා තමයි සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ.

 මුල්ම ගීතය ගැන කියමු

මම මගේම කියලා ගීතයක් මුලින්ම කළේ 2015 වර්ෂයේදී. ඒ ‘රතු රෝස’ ඒක මම ‘ආදරවන්තයින්ගේ දිනය’ දී විශේෂ ගීතයක් විදියට ඉදිරිපත් කළා.ඒ ගීතය ලියලා දුන්නේ ආනන්ද පද්මසිරි මහතා.ඇත්තටම ඒක surprize එකක්. සුනෙත් කැලුම් අයියා සංගීත නිර්මාණය කර දුන්නා.කාලීඩ් (khalid) එක්ක තමා ඒ ගීතය ගායන කළේ.

 ඊට පසුව කළ නිර්මාණ

2016 වසරේදී මගේම ගීතයක් (solo) කළා. ‘උන්නාද මදිද’ කියලා. ඒ ගීතයේ පද රචනය, ප්‍රසාද් සිරිවර්ධන, සුනෙත් කැලුම් සංගීත නිර්මාණයෙන් දායක වුණා. ඒ ගීතයේ Music video එකත් රීලිස් කළා.ගොඩක් අය ඒ ගීතය හරහා තමා මාව අඳුනගත්තේ.

 ඔය අතරේදී ඔබට විශේෂ අවස්ථාවක් ලැබෙනවා නේද?

ඔව්.ඔය අතරතුරේදී මට මුණගැසෙනවා, සිරිතුංග පෙරේරා මහතා. ඔහු මගේ ‘උන්නාද මදිද’ ගීතය අහලා, මට ආරාධනා කරනවා,ඔහු ගේ නවතම සිනමා නිර්මාණයෙහි පසුබිම් ගායනයට එන්න කියලා. විශේෂයෙන් කියන්න ඕන ,මට ඒ අවස්ථාව ලැබුණේ ගීත රචක ආනන්ද පද්මසිරි මහතාගේ මඟ පෙන්වීම යටතේ.

 ඒ සිනමා නිර්මාණය ගැන කියමු,

එහි නම ‘පෝරිසාදයා’ එහිදී මට ගීත 2 ක් ගායනා කරන්න අවස්ථාව උදා වුණා .එම සිනමා නිර්මාණය මේ වසරේ අග හරියේදී ප්‍රේක්ෂකයන් අතරට පැමිණේවි. මමත් ගොඩක් අසාවෙන් බලාගෙන ඉන්නවා ලැබෙන ප්‍රතිචාර බලන්න.

 පාසල් අධ්‍යාපනය තුළදී සංගීතය හැදෑරුවද?

ඔව්. මම විෂයයක් විදියට පෙරදිග සංගීතය හැදෑරුවා. පාසල් කාලය තුළදී ගායන කණ්ඩායමේ සාමාජිකාවක් විදියට වැඩ කළා. ඒ වගේම තරග සඳහා සහභාගී වුණා. ඒ හරහා ජයග්‍රහණ පවා ලබාගෙන තිබෙනවා. හැබැයි පාසලෙන් ඉවත් වුණාට පස්සේ සංගීතය දිගටම කරගෙන යන්න බැරි වුණා.

 නමුත් දැන් ඔබගේ විෂය සංගීතය.

අනිවාර්යෙන්ම. මමයි කැලුම් අයියයි studio එකක් කරගෙන යනවා. එතැනදී මට කැලුම් අයියා හම්බ වුණාට පස්සේ මට ගායනය කියන දේ සඳහා අවස්ථාව හම්බ වුණා. කොහොමත් මම පොඩි කාලේ ඉඳන්ම සංගීතයට ගොඩක් ආසා කළා.ඒ ආසාව නිසාම මට මගේ කියලා ගීතයක් කරන්න අවශ්‍ය වුණා.

 දැනට ගීත කොපමණ සංඛ්‍යාවක් කර තිබෙනවද?

ෆිල්ම් එකේ ගීත දෙකට අමතරව, ගීත 2 ක් කර තිබෙනවා.තව අලුත්ම ගීතයක් ළඟදීම එන්න තියෙනවා.

 මේ කාලය ඇතුළත ලැබුණු අත්දැකීම කොහොමද?

සංගීත ක්ෂේත්‍රයදී මට ලොකු අත්දැකීමක් ලැබුණා. ඒ වගේම ප්‍රවීණයෝ එක්ක,ඒ අයගේ ගුරුහරුකම් මැද ක්ෂේත්‍රයට එන්න ලැබීමම ලොකු වාසනාවක්. ඒ ගමනේදී ආනන්ද පද්මසිරි මහතාගේ මඟ පෙන්වීම මට ලොකු ශක්තියක් වුණා. මේ හැමෝගෙම උපදෙස් මත ඉදිරියට යන්න තමා බලාපොරොත්තුව.

 ඉදිරියේදී මොනවගේ නිර්මාණද කරන්න අදහස් කරන්න ඉන්නේ ?

මට, මේ යන රැල්ලට යන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. මම එය චැලේන්ජ් එකක් විදියටයි භාර ගන්නේ. මගේම ශෛලියත් එක්ක,මගේ කටහඬ පරාසයත් එක්ක ගැළපෙන ගීත පමණයි ගායනා කරන්නේ.හැමෝටම හැම පරාසයකම ගීත ගායනා කරන්න බැහැනේ. මම මට පුළුවන් මට්ටමක ගීත ගායනා කරන්න අදහස් කරගෙන ඉන්නවා.

 ගායනය වගේම වාදනයත් පුළුවන ඇති නේද?

මට key Board එක හොඳටම වාදනය කරන්න පුළුවන්.මම Ear එකට play කරන කෙනෙක්.

 ළඟදි එන්න තියෙන නිර්මාණ මොනවද?

මගේ අලුත්ම ගීතය එන්න තියෙනවා. ඒ වගේම දර්ශන ජයශාන්ත ගේ ‘මගේ දෑසේ කදුළු’ කියන ගීතයේ මියුසික් වීඩියෝ එකේ රංගනයෙන් දායක වෙනවා. එතැනදී මට මනාලියක් විදියට හැඩවෙන්න අවස්ථාව ලැබුණා.

 සංගීත ක්ෂේත්‍රයේ දී, ඔබට තියෙන ලොකුම හීනය ගැන කිව්වොත්?

සම්මානයක් ලබා ගැනීම තමා.

 මේ ගමනේදී උදව් කළ ගොඩක් අය ඇති නේද?

ඔව්. ආනන්ද පද්මසිරි මහතා, සුනෙත් කැලුම් අයියා, සුදේශ් කරුණාතිලක, කුමාර තිරිමාදුර අයියා ගොඩක් ගෞරවයෙන් වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන, මගේ පළමුවැනි සිනමා නිර්මාණය සඳහා,මම වගේ ආධුනික ගායිකාවකට ගීත 2 ක් ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නු සිරිතුංග පෙරේරා මහතාට ගොඩක් ස්තුති වන්ත වෙනවා.

(නිලුපුලි නිසංසලා සඳකැලුම්)

නව අදහස දක්වන්න