රතුපස්වල සැකකරුවන් 7දා තෙක් රිමාන්ඩ් භාරයට | දිනමිණ

රතුපස්වල සැකකරුවන් 7දා තෙක් රිමාන්ඩ් භාරයට

 ගම්පහ සංචාරක නිමල් ජයසිංහ
ගම්පහ දිස්ත්‍රික් විශේෂ සිසිල ගුණතිලක

බැලුම්මහර රතුපස්වල ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විසින් පිරිසුදු පානීය ජලය ඉල්ලූ උද්ඝෝෂණයකදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු මරාදැමීම සම්බන්ධ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් තිදෙනා ලබන 07දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්පතිරණ මහතා 03 දින නියෝග කළේය.

2013.08.01 රතුපස්වල වැලිවේරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් හා පහරදීමකින් තිදෙනෙකු මිය ගිය අතර ඉන් දෙදෙනෙකු වෙඩි වැදීමෙන්ද එක් අයෙකු පහරදීමකින්ද මියගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගම්පහ අධිකරණයට වාර්තා කළහ.

දැනට අත්අඩංගුවට ගත් තිදෙනා වෙඩි තැබීම සිදු කළ බවට සැකකර අත්අඩංගුවට ගෙන ඇති බවත් පහරදීම් සම්බන්ධව තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකරන බවත් එම දෙපාර්තමේන්තු නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

 

නව අදහස දක්වන්න