බ්‍රෙෂ්ට්ගේ එපික් සගයා පිස්කා­ටර් | දිනමිණ

බ්‍රෙෂ්ට්ගේ එපික් සගයා පිස්කා­ටර්

කපිල කුමාර කාලිංග

‘අර්වින් පිස්කාටර් යනු, නාට්‍ය ක්ෂේත්‍රයේ සදාකාලික ශ්‍රේෂ්ඨයාය. අප සැමට භාවිතයට ගත හැකි දායාදයක්, ඔහු විසින් ඉතිරි කර තබනු ඇත.’

බර්ටෝල් බ්‍රෙෂ්ට් එසේ පැවසුවේ ඔහුට ද පරමාදර්ශයක් වූ ජර්මන් ජාතික නාට්‍යවේදී අර්වින් පිස්කාටර් (Erwin Piscator) පිළිබඳවය.

එපික් නොහොත් වීරාඛ්‍යාන නාට්‍ය ශෛලිය ලොව පුරා බෙදාහැරීමේ නියෝජිතයා වූයේ බ්‍රෙෂ්ට් බව සැබෑ වුවද, එහි නිර්මාතෘ ලෙස සැලකෙන්නේ පිස්කාටර් ය. ස්ටැනිස්ලව්ස්කි, මැක්ස් රෙයින්හාට් වැනි විශිෂ්ටයින් හා සමාන ප්‍රමුඛ පෙළේ නාට්‍යකරුවකු වූ පිස්කාටර්, ජර්මනියෙහි පමණක් නොව ප්‍රංශය, රුසියාව හා අමෙරිකාවෙහි ද නාට්‍ය කලා ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් ඉටු කළ කෙනෙකි.

පළමුවෙනි ලෝක යුද්ධයේදී හමුදාවට බැ‍ඳෙන පිස්කාටර්, යුද අගලෙන් පිටතට එන්නේ ‘නාට්‍යකරුවකු වන්නෙමි’ යන අදිටන ඇතිවය. යුද්ධයෙන් ලබන කටුක හා අමානුෂික අත්දැකීම් ඔහුගේ ජීවන දැක්ම මුවහත් කරයි. ලෝකය වෙනස් කළ යුතුය. මිනිසා ඔහු මුහුණපා සිටින ඛේදනීය හා අසරණ තත්ත්වයෙන් ගලවා ගතයුතුය. නාට්‍යය යනු ඒ සඳහා යොදාගත හැකි ශක්තිමත් ආයුධයකි. පසු කලෙක පිස්කාටර් පළකළ ‘The Political Theatre’ නමැති ග්‍රන්ථය තුළ ඔහු තම නාට්‍ය දර්ශනය මෙන්ම එය ප්‍රක්ෂේපණය කිරීම සඳහා යොදාගන්නා රංග රීතිය ද අන්තර්ගත ‍කළේය.

‘ඩාඩා’ (DADA) නමින් ප්‍රකට වූ පෙරළිකාර කලාකරුවන්ගේ ඇසුරට පත් පිස්කාටර්, 1918 දී ජර්මනියේ කොමියුනිස්ට් පක්ෂයට ද බැඳුණේය. 1920 දී පමණ බ්‍රෙෂ්ට් සමඟ වැඩ අරඹන ඔහු, වේදිකාව මත විවිධ අත්හදා බැලීම් කළේය. සිනමාව ද නාට්‍යයට බද්ධ කිරීමට උත්සාහ කළ පිස්කාටර් එමඟින් විවිධ සංකල්ප රූප හා පසුතල නිර්මාණය කළේය. මෙය, බ්‍රෙෂ්ට් දුටුවේ රංගයට, විශ්මයජනක දේ මුසු කිරීමක් (electryfying) ලෙසය.

පිස්කාටර් වේදිකාව යන්ත්‍රාගාරයක් (Machine shop) බවටත්, ප්‍රේක්ෂාගාරය රැස්වීම් ශාලාවක් (Meeting Hall) බවටත් පත් කළේ යැයි සමකාලීන විචාරකයකු සඳහන් කර ඇත.

ඔහු, බ්‍රෙෂ්ටත් වඩා දේශපාලනික විය. සෞන්දර්යවාදියකු වීමට වඩා ප්‍රචාරකයකු වීම ඔහුගේ ‘රංග ප්‍රතිපත්තිය’ විය. රංග භූමිය, යුගය පිළිබිඹු කරන කැඩපතක් නොව, එය වෙනස් කරන්නක් විය යුතු යැයි පිස්කාටර් පැවසුවේය. බ්‍රෙෂ්ට් ද ඊට සමාන අදහස් පවසමින් ඔහුගේ අනුගාමිකයකු බවට පත් විය.

පිස්කාටර් නාට්‍ය පුහුණුවීම් කළ තැන්වලට නිතර නිතර ගිය බ්‍රෙෂ්ට් ඉන් මහත් ආභාෂයක් ලැබුවේය. ඔවුන් දෙදෙනා අතර තිබුණේ එකඟතා මිස විරෝධතා නොවේ.

හිට්ලර් බලවත්ව සිටි සමයේ පිස්කාටර් ක්‍රියාත්මක වූයේ රුසියාවේ සිටය. එහිදී ඔහු ඇලෙක්සි ඩිකී නමැති නළුවා සමඟ එක්ව ‘Revolt of Fisherman’ නමින් චිත්‍රපටයක් නිපදවීය.

රුසියාවේ සිට ප්‍රංශය බලා යන පිස්කාටර් එහිදී මුණගැසෙන නාට්‍යාංගනාවක වන මරියා ලේ සමග විවාහ වෙයි. එම මංගල්‍යයේදී ‘මනාලයාගේ යහළුවා’ වූයේ බ්‍රෙෂ්ට් ය.

ප්‍රංශයේ සිට අමෙරිකාවට යන පිස්කාටර් එහිදී නාට්‍ය වැඩමුළු ගණනාවක් පවත්වයි. ‍ඊට සහභාගි වූවන්ෙගන් බොහෝ දෙනෙක් පසු කලෙක, ලෝක ප්‍රකට රංගන ශිල්පීන් බවට පත්වූහ. නාට්‍ය රචක ‍ෙටනසි විලියම්ස්, ආතර් මිලර් සහ ටෝනි කර්විස් ද, රොඩ් ස්ටයිගර්, ජුඩිත් මලියානා, මාලන් බ්‍රැන්ඩෝ වැනි නළු නිළියෝ ද ඒ අතර වූහ.

පිස්කාටර්ගේ දෙසුම් හා නාට්‍යකරණය පිළිබඳ මතවාද ඇසුරින් ඔහුගේ ප්‍රකට ශිෂ්‍යාවක මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක ද වන ජුඩිත් මලියානා ‘The Piscator Note Book’ නමින් ග්‍රන්ථයක් ද පළ කළාය.

මොහුගේ නාට්‍ය ජීවිතය තුළදී ලියෝ ටොල්ස්ටෝයි, මක්සිම් ගෝර්කි හා රොමේන් රෝලන්ඩ්ගේ කෘතීන් කීපයක් ඇසුරින් කළ නිර්මාණ වැදගත් සන්ධිස්ථාන බඳුය. ලියෝ ටොල්ස්ටෝයිගේ ‘යුද්ධය හා සාමය’ නවකතාව ඇසුරින් එනමින්ම කළ නාට්‍යය, 1955 සිට වසර ගණනාවක් ලෝකයේ රටවල් 16 ක රඟදැක්වුණි.

බර්ටෝල් බ්‍රෙෂ්ට් අනුවර්තනය කළ ‘The God Soldieve Schweik’ නමැති නාට්‍යය පිස්කාටර් විසින් වේදිකා ගතකෙරුණි. එහි මුල් කෘතිය චෙක් නවකතාවකි. පිස්කාටර්ගේ නාට්‍යය බ්‍රෙෂ්ට් විසින් හඳුන්වනු ලැබුවේ නවකතාවක් මොන්ටාජ් කිරීමක් ලෙසිනි.

1922 - 23 සමයේ බර්ලිනයේ ‘මහජන වේදිකාව’ නම් නාට්‍ය කණ්ඩායම සමඟ වැඩ කළ අවධියේ පිස්කාටර් නිර්මාණය කළ කාර්ල් මුවර්, ස්පීල්බර්ග් වැනි චරිත ට්‍රොස්කිවාදී අදහස් පැතිරවීමට යොදා ගැනුණි. මොවුන් චැප්ලින්ගේ සැරයටිය හා තොප්පිය භාවිත කිරීම ද සුලබ ලක්ෂණයක් විය.

ප්‍රේක්ෂකයා හුදු නරඹන්නකු නොව නිරීක්ෂකයකු විය යුතුය යන එපික් න්‍යාය, පිස්කාටර් ද තදින් ඇදහීය. ඔහුට මෙන්ම බ්‍රෙෂ්ට්ට ද අවශ්‍ය වූයේ නාට්‍යයට වසඟ වී බලා සිටින්නකු නොව එදෙස අවදියෙන් බලා සිටින්නෙකි. දුරස්ථතා රංග රීතියේ ආරම්භය ද එතැනය.

අමෙරිකාවේ සිට නැවත ජර්මනියට එන පිස්කාටර් එහිදී ‘Total Theatre’ (සාමූහික රංග පීඨය) නමින් හැඳින්වෙන සංගීතය, නැටුම් හා විශේෂ ප්‍රයෝග යොදාගැනෙන රංග රීතියක් අනුගමනය කරමින් නැවතත් නාට්‍යකරණයෙහි යෙදුණේය.

1966 මාර්තු 30 වෙනිදා පිස්කාටර් මිය යන විට වයස අවුරුදු 72 කි. ඔහුට රාජ්‍ය ගෞරව සහිත අවමංගල්‍යයකින් අවසන් ගෞරව දැක්වුණි.

ස්කොට්ලන්ත ජාතික මූර්ති ශිල්පි එඩ්වර්ඩෝ පාඕලසී විසින් පිස්කාටර්ට උපහාර වශයෙන් ඉදිකළ මූර්තියක් මධ්‍යම ලන්ඩනයේ ප්‍රදර්ශනය කෙරෙයි. ඔහුගේ කලා ජීවිතය පිළිබඳ සමරු එකතුවක් බර්ලිනයේ ‘ඇකඩමි ඔෆ් ආර්ට්ස්’ හිදී ද, අමෙරිකාවේ දකුණු ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේදී ද දැකගත හැකිය. පිස්කාටර්ගේ නමින් පිරිනැමෙන සම්මාන කීපයක් ද අමෙරිකාවේ හා යුරෝපයේ ක්‍රියාත්මක වෙයි.

පිස්කාටර්ගේ සිනමාව හා වේදිකාව බද්ධ කිරීමට ගත් ප්‍රයත්නය, වේදිකාවේ පමණක් නොව සිනමාවේද නිරතව සිටි ඇතැම් කලාකරුවනට ආස්වාදයක් මෙන්ම නිර්මාණාභාෂයක් ද ගෙන දුන්නේය.

ශ්‍රී ලාංකීය නාට්‍ය ක්ෂේත්‍රය තුළ නාට්‍ය හා සිනමා රූප එක්කිරීමට ගත් උත්සාහයක් ඩග්ලස් සිරිවර්ධනගේ ‘හිට්ලර්’ තුළ දක්නට ලැබුණි. එකල බොහෝ ප්‍රේක්ෂකයින් මෙන්ම නාට්‍යකරුවන් ද එය දුටුවේ නාට්‍ය වි‍රෝධී ලක්ෂණයක් ලෙසිනි. ‘හිට්ලර්’ නාට්‍යයේ ප්‍රධාන නළුවා මෙන්ම එම නිෂ්පා‍දනයේදී ඩග්ලස්ට විශාල සහායක් ලබා දුන් එච්. ඒ. පෙරේරා එම ප්‍රේක්ෂක විචාරක ප්‍රතිචාරය ගැන කනස්සල්ලට පත්වූ බව මගේ මතකයෙහි ඇත. ඔවුන් දැන හෝ නොදැන ක්‍රියාත්මක කර තිබුණේ අර්වින් පිස්කාටර්ගේ රංග රීතියේ එක් මූලධර්මයකි. 

නව අදහස දක්වන්න